සරසවිවල වසර ගණන් රැඳෙන සිසුන්ට සීමා බන්ධන

318

විශ්වවිද්‍යාලයකට වසර 04 ක උපාධියක් ලබා ගැනීම සඳහා ඇතුළත් වන සිසුන් වසර 04 කින් උපාධිය ලබාගෙන නොමැති නම් ඔවුන්ට විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටිය නොහැකි යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

වසර 04 ක උපාධියක් සඳහා සිසුන් ඇතුළත් වී වසර 04 කදී උපාධිය සම්පූර්ණ කර සියයට 90 ක පිරිසක් පිටවන බවත්, ඉතිරි පිරිසට තවත් වසර 03 ක් තුළ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය. එම ඉතිරි පිරිසට විශ්වවිද්‍යාලයේ රැඳී සිටිමින් උපාධිය සම්පූර්ණ කළ නොහැකි බවත්, ඔවුන් පිටත සිට විභාග ගාස්තු ඇතුළු සියලු වියදම් දරා විභාගයට පෙනී සිටිය යුතු බවත් අමරතුංග මහතා කීය.

විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන් සඳහා රජය මගින් නිදහස් අධ්‍යාපනය ලැබීමට වසර 04 කට නේවාසිකාගාර, ජලය, විදුලිය, ඉගැන්වීම් ඇතුළු පහසුකම් ලබාදෙන බවත්, ඉන් එහාට එම පහසුකම් ලබා නොදෙන බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

වසර 04 කින් පසුව උපාධිය ලබා ගෙන නොමැති නම් එම ශිෂ්‍යයන්ට ඉතිරි වසර 03 විශ්වවිද්‍යාලයට ඇතුළුවීම ඇතුළු අනෙකුත් පහසුකම් විශ්වවිද්‍යාලය තුළින් ලබාගත නොහැකි බවත්, එය තීරණය කිරීම එම විශ්වවිද්‍යාලවල පාලක මණ්ඩලය විසින් ගනු ලබන බවත් ඒ මහතා කීය.

විශ්වවිද්‍යාලවල පවතින ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වී තිබෙන බවත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කිසිදු විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වී නැති බවත් අමරතුංග මහතා කීය.

විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින් වශයෙන් පිළිගැනීමට ලක්වන්නේ වසර 04 ක කාලයකට බවත්, ඉන් පසු ක්‍රීඩා උත්සවයකටවත් වසර 04 ඉක්ම වූ සිසුන්ට විශ්වවිද්‍යාල සිසුන් ලෙස පෙනී සිටිය නොහැකි බවත් ඒ මහතා කීය. වසර 07 කින් උපාධිය සම්පූර්ණ නොකළ සිසුන් විශ්වවිද්‍යාලවලින් ඉවත්වීම සිදු වේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් වසන්ත මුදලිගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු නොවන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමරතුංග මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ වසන්ත මුදලිගේ වසර අටකට වැඩි කාලයක් විශ්වවිද්‍යාලයේ සිටින නිසා ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන්නට ඇති බවය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස වසර 07 කට පසු පිළිනොගන්නා නිසා ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන්නට ඇතැයි සිතෙන බව ද ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර විශ්වවිද්‍යාලවල වසර 07 කට වැඩි කාලයක් රැඳී සිටින සිසුන් සම්බන්ධයෙන් සිසුන්ට අලුතින් සීමා බන්ධන පැනවීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කළේය.

චමින්ද සිල්වා සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment