කන්න බොන්න නැති අපේ වකුගඩුවත් හොරෙන් ගන්න මහත්වරුනි!

233

කොළඹ ප්‍රධාන රෝහලක වකුගඩු ජාවාරමක්

මේ අබුද්දස්ස යුගයකි. සියලු දුසිරිත්වලින් පිරි මේ රට කලක් ධර්මද්වීපය වී තිබූ එකකි. දේශපාලනඥයන් ද ඔවුනගේ ගෝල බාලයන් ද ඊට පසුව රජයේ ඉහළ සිට පහළ ම සේවකයා දක්වා සියලු දෙනා හොරකම අල්ලසට යටවී රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් කා විනාශ කර හමාරය. රට බංකොලොත් වී ඇත්තේ ඒ හේතු නිසාය.

කුලියට මිනී මරණ කන්ටේනර් පිටින් මත් කුඩු බෙදන, ශ්‍රී ලාංකික කුල කාන්තාව ගණිකා වෘත්තියේ යෙදවීමට රට පටවන සංවිධානාත්මක පිරිස් සිටින රටක හෙට දවස මහ අඳුරක බව ඉතා පැහැදිලිය.

අද අප මේ හෙළි කරන්නට යන්නේ සියලු දුසිරිත්වලින් පිරි මෙසිරිලක කොළඹ, රාජගිරිය කේන්ද්‍ර කරගෙන කරගෙන යන මිනිස් අවයව ගලවා විකිණීමේ ජාවාරමක සුලමුලය. මිනිස් අවයව ජාවාරමට ප්‍රසිද්ධ රට ඉන්දියාවය. තව ටික කලක් යනවිට එහි අංක එකට ශ්‍රී ලංකාව පත් වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. රාජගිරිය නගරයේ පිහිටි මෙකී අවයව ජාවාරම සිදුවන ස්ථානය පෞද්ගලික රෝහලකි. මේ රෝහලේ සේවය කරන කාන්තාවන් දෙදෙනකු විසින් මිනිස් අවයව විකුණන පිරිස සොයා ඔවුනගේ වකුගඩු ගලවා අලෙවි කරන බවට මේ වනවිට තොරතුරු හෙළි වී ඇත.

රටේ වත්මන් ආර්ථික අර්බුදය නිසා මිනිසුන් ජීවත් වන්නේ පුදුමාකාර අසීරුතා මැදය. තුන් වේල කා දරුවන් පාසල වෙත යවා ගැනීමට නොහැකි පිරිස දිනෙන් දින ඉහළ යන බවද නොරහසකි. මිනිස් අවයව ජාවාරම්කරුවන්ගේ කරල පැසෙන්නට එයද හේතුවකි.

ඔයාගේ වකුගඩුවක් දුන්නොත් අපි රුපියල් ලක්‍ෂ 50ක් 60ක් ගෙවනවා. එක වකුගඩුවක් හොඳට ම ඇති රාජගිරියේ පිහිටි මෙකී පුද්ගලික රෝහලේ තැරැව්කරුවන් අහිංසක මිනිසුන්ව කොටුකර ගන්නේ ආර්ථික අමාරුකම්වලට කදිම විසඳුමක් දෙමිනි. ඒ අනුව මේ වනවිට සැලකිය යුතු පිරිසක් මෙයාකාරයට වකුගඩු අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇත. මේ වනවිටත් පොලිසිය වෙත සිව්දෙනෙක් මේ පිළිබඳ පැමිණිලි ලබාදී ඇත.

කොළඹ, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශවල සිව්දෙනකු මේ අතර සිටිති. මගෙ අම්මට සනීප නෑ. අපට ජීවත් වෙන්න විදිහකුත් නෑ, එක දවසක් මට කෙනෙක් කීවා වකුගඩුවක් ලක්‍ෂ හැටකට ගන්න තැනක් තියෙනවා කියලා. ඒ අනුව තමයි මම රාජගිරියේ අහවල් පුද්ගලික රෝහලට ගියේ. මට ඒ අය උපදෙස් දුන්නෙ වකුගඩු විකුණනවා කියලා කිසිවකුට කියන්න එපා කියලා. ඒ අනුව ව්‍යාජ ලේඛනවලට මගෙන් අත්සන් ගත්තා. මගෙ නම වෙනුවට ඒ කොලවල තිබ්බෙ වෙනත් අයකුගෙ නමක්. ලිපිනයත් වෙනස්. ග්‍රාමසේවා සහතික පවා හදපුවා. වකුගඩු පරිත්‍යාග කරන බවට සඳහන් ලියවිල්ලකට අත්සන් ගත්තා මේ වකුගඩු ජාවාරමට හසු වූ අයකු සිද්ධිය විස්තර කළේ එලෙසිනි.

මෙලෙස වකුගඩුවක් පරිත්‍යාග කළ බොහෝ අයට පොරොන්දු වූ ලක්‍ෂ පනහ, හැටක මුදල් ද ගෙවා නැත. මුදල් ඉල්ලා ගිය අයට එක්තරා පොලිස් නිලධාරියකු දමා බැන එලවා දමන බවට ද තොරතුරු හෙළි වී ඇත. රුපියල් ලක්‍ෂ පනහක්, හැටක් ලබාදෙන බව කියමින් ගලවා ගනු ලබන වකුගඩු රුපියල් කෝටියකට වැඩි මුදලකට විකුණා ඇතැයි ද මූලික පරීක්‍ෂණවල දී හෙළි වී ඇත. වකුගඩු විකුණූ බොහෝ අයගේ සත්‍ය තොරතුරු වෙනුවට ව්‍යාජ තොරතුරු ලියකියවිලි වල තිබෙන නිසා මුදල් නොලැබුණ අය මහ අමාරුවක වැටී ඇත.

රාජගිරියේ පිහිටි මෙම පුද්ගලික රෝහල පිළිබඳ හෙළි වී තිබෙන තොරතුරුවලට අනුව එහි සිදු කරනු ලබන අවයව බද්ධ කිරීම් තාවකාලිකව තහනමකට ලක්කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව වෙනම පරීක්‍ෂණයක් ද ආරම්භ කර ඇත. පොලිසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා තිබිණි.

මේ සැත්කම් සිදු කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද සහාය ලබාගෙන ඇත. එම වෛද්‍යවරු මේ ජාවාරමේ සුල මුල නොදැන මේවාට එක්වී ඇද්දැයි අපි නොදනිමු. වෛද්‍යවරු ලක්‍ෂ දහය විස්සක මුදලක් අයකර ගනිමින් දැන හෝ නොදැන මේ ජාවාරමට දායක වී ඇත. වකුගඩුවක් පරිත්‍යාග කර පිනක් ලබාගැනීම සම්බන්ධව ප්‍රශ්නයක් නැත. අහවල් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි කියමින් පුවත්පත් දැන්වීම් මෙන්ම ප්‍රවෘත්ති පළවූ බව අපි දනිමු. අන්තර්ජාලයේ ෆේස් බුක් මගින් ද වකුගඩු ඉල්ලන පෝස්ට්‍ර අපි දැක ඇත්තෙමු. නමුත් ශ්‍රී ලංකාව තුළ මිනිස් අවයව විකුණන ජාවාරමක් ක්‍රියාත්මක බවට හෙළිවීම නම් අතිශය භයානකය. මේ පිළිබඳ විධිමත් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් අවැසිය. තරාතිරම නොබලා ඒ ජාවාරමට ගෑවී සිටින උන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

මිනිස් අවයව ගලවා විකිණීම මේ ආකාරයට රට පුරා පැතිර ගියහොත් රට අපායක් බවට පත්වනු නිසැකය. ලෝකයේ ජාත්‍යන්තර මත්කුඩු බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාවය. ගණිකා වෘත්තියට කුල කතුන් රට පටවන ජාවාරමක් පැත්තකය. රටට අඩුවක් තිබූ මිනිස් සිරුරේ කොටස් ගලවා විකිණීමේ ජාවාරමක් ද හෙළිවී ඇත. දැනට හෙළි වූ එකම මධ්‍යස්ථානය මෙය වුවත් තව තවත් මෙවැනි මධ්‍යස්ථාන රටපුරා තිබිය හැකිය.

ගම්වල කසිප්පු ජාවාරම මැඬපවත්වාගත නොහැකිව සිටින ශ්‍රී ලංකා පොලිසියට මත් කුඩු ජාවාරම පාලනය කරගත නොහැකිව ඇති බව අපි දනිමු. මෙයාකාරයට මිනිස් අවයව ගලවා විකුණන මධ්‍යස්ථාන රටපුරා ඇති වී ගියහොත් වේලක් දෙකක් කා ජීවිතේ යාන්තමින් ගැටගසා ගන්නා අයට අවසන් හුස්ම පොද හෙළන්නට වන්නේ මේ ජාවාරමුන් ඉදිරියේදීය.

රාජගිරියේ මෙකී පුද්ගලික රෝහලේ සිදුවී ඇති බව කියන වකුගඩු ජාවාරමට ද පොලිස් රැකවරණ හිමි වී ඇත. තුන් වරක් වැඩ තහනමකට ලක් වූ මෙකී පොලිස් රැකවලා පොලිස් පරීක්‍ෂකවරයෙකි. පොලිස් ආරක්‍ෂාව නොමැති නම් මේ රටේ කිසිදු ජාවාරමක් කරගෙන යා නො හැකිය. සෑම ජාවාරමකටම රැකවරණය සලසන පොලිස් නිලධාරීහු සිටින බව කීම පිළිබඳ තර්කයක් ද නැත.

අනේ අපි අමාරුවේ වැටුණේ වකුගඩුවත් නෑ. සල්ලි ලැබුණෙත් නෑ, රුපියල් ලක්‍ෂ පනහක්, හැටක් අතට ගන්න හිතාගෙනයි වකුගඩුවක් විකුණු වේ. අපි අසරණ දුප්පත් මිනිස්සු මහත්තයෝ. දරුවන්ගෙ හෙට දවස ගැන හිතලයි මේ තීන්දුව ගත්තෙ. අපිට සාධාරණයක් ඉටුකරලා දෙන්න. වකුගඩු ජාවාරමට ගොදුරු වූ පිරිස් දැන් කියන්නේ ඒ ටික පමණි.

රාජගිරියේ මෙකී පුද්ගලික රෝහලේ සිදුවී ඇත්තේ කුමක්ද? වකුගඩු ජාවාරමක් වී තිබේ නම් ඊට එරෙහිව ගන්නා පියවර කවරේද? ධනවතුන් බලවතුන් ඉදිරියේ බොහෝ අපරාධ කාලයේ වැලි තලාවට යටව ගොස් ඇති රටක මේ ජාවාරම්කරුවන් ටිකත් බේරී පලා ගියහොත් රට ඊළඟට යන්නේ වළපල්ලට නොව, නිරයකට බව අපි ලියා තබමු.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment