පූසා හඹා ගිය අච්චාරු බල්ලා සොයාගත් රිමෙට් කුසලානය

303
ජූලස් රිමෙට් කුසලානය

ජූල්ස් රිමෙට් (Jules Rimet) යනු (1873-1956) ප්‍රංශ පාපන්දු පරිපාලකවරයෙකි. 1921 සිට 1954 දක්වා ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපතිවරයා වූ ඔහු එහි දීර්ඝතම සභාපතිවරයා විය. ඒ අතර 1919 සිට 1942 දක්වා ඔහු ප්‍රංශ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය. රිමෙට්ගේ මූලිකත්වයෙන් 1930 දී ලෝක කුසලාන පාපන්දු තරගය ආරම්භ විය.

ජයග්‍රහණය ලබන කණ්ඩායමට ලබාදෙන කුසලානය ‘වික්ටරි’, ලෝක කුසලානය ලෙසත් ප්‍රංශ බසින් ‘කුපේ ඩූ මොන්ඩේ’ ලෙසත් හැඳින්විය. මෙම කුසලානය පළමුවරට හිමිකර ගත්තේ 1930 ලෝක පාපන්දු තරගයෙන් ජයගත් උරුගුවේ රටේ කණ්ඩායමය.

මෙම කුසලානය 1946 දී ‘රිමෙට් කුසලානය’ නමින් ස්ථිරව නම්කරන ලද්දේ 1929 දී ලෝක පාපන්දු තරගයක් පැවැත්වීමට ඡන්දයක් කැඳවා එය සම්මත කරගත් FIFA සභාපති ජූල්ස් රිමෙට් ට ගෞරවයක් දැක්වීම සඳහාය. මෙම කුසලානය නිර්මාණය කරන ලද්දේ ප්‍රංශ මූර්ති ශිල්පී ආබෙල් ලෆ්ලර් විසින් එය පුරාණ ග්‍රීක දේව කතාවලට අනුව ග්‍රීක ජයග්‍රහණයේ දේවතාවිය වන (Nike) ‘නයික්’ ගේ රුව නියෝජනය කරන පියාපත් සහිත දෙවඟනයේ රූපය සහිත දශ කෝණාශ්‍රාකාර කුසලානයකින් සමන්විත විය. රන් ආලේපිත රිදීවලින් සාදන ලද එහි අර්ධවටිනාකමකින් යුත් මැණික් ගල් කීපයක්ද අල්ලා තිබුණි. කුසලානය සෙන්ටි මීටර් 35 ක් (අඟල් 14) උසකින් යුක්ත අතර කිලෝ ග්‍රෑම් 3.8 (රාත්තල් 8.4) බරින් යුතු විය. පාදමේ සතරැස් රන් තහඩු හතරක් සවිකර තිබුණි. ඒවායේ කුසලානය දිනාගත් කණ්ඩායම්වල නම් සටහන් කර තිබුණි.

පූසා හඹා ගිය අච්චාරු බල්ලා සොයාගත් රිමෙට් කුසලානය
ජූල්ස් රිමෙට්

දෙවන ලෝක මහා යුද්ධය නිසා වසර 12ක් ලෝක කුසලාන පාපන්දු තරගය පැවැත්වූයේ නැත. 1938 වර්ෂයේදී තරගයෙන් ඉතාලිය ජයග්‍රහණය කරගත් අතර යුද සමයේදී කුසලානය තිබුණේ ඉතාලියේය. මේ වනවිට FIFA හි ඉතාලියේ උප සභාපති ආචාර්ය ඉන්ග් ඔටෝරිනෝ බරස්සි විසින් රෝමයේ බැංකුවක තැන්පත් කර තිබූ කුසලානය රහසිගතව තම නිවසට ගෙන ගොස්, ඉතාලියේ සිටි නාසි හමුදාව එය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඔහුගේ ඇඳ යට සපත්තු පෙට්ටියක සඟවා තැබීය.

1958 දී ස්වීඩනයේ පැවැති තරගයේදී ඡායාරූප ශිල්පීන්ට කුසලානය තම ඡායාරූපවලට හසුකර ගැනීමට රැස්ව සිටි රසිකයන් නිසා අසීරු විය. ජයග්‍රාහී බ්‍රසීල කණ්ඩායමේ නායක හිල් ඩරල්ඩෝ බෙලනිට ඡායාරූප ශිල්පීන්ගේ මැසිවිලි අසන්නට ලැබුණි. එවිට බෙලනි කුසලානය අහසට ඔසවාගෙන සිටියේ ඡායාරූප ශිල්පීන්ට උදව් වීමටය. එතැන් සිට සෑම ජයග්‍රාහී කණ්ඩායමකම නායකයා කුසලානය තම දෑතින් අහසට ඔසවාගෙන සිටීමේ අභිනය නැවත නැවත කරයි.

1966 දී එංගලන්තයේ පැවැති FIFA ලෝක කුසලාන තරගයට මාස හතරකට පෙර 1966 මාර්තු 20 වැන් දින, වෙස්ට් මිනිස්ටර් මධ්‍යම ශාලාවේ පැවැති මහජන ප්‍රදර්ශනයකදී මෙම ‘රිමෙට්’ කුසලානය සොරකම් කරන ලද්දේ එය තබා තිබූ වීදුරු කැබිනෙට්ටුව කඩා දමාය. පසුව වේල්ස්හි පාපන්දු සංගමයේ සභාපති ජෝ මියසර්හට ජැක්සන් නම් පුද්ගලයෙක් දුරකතන ඇමතුමක් ලබාදී කුසලානය දෙන්නම් ඒ වෙනුවට පවුම් 15000ක කප්පමක් ඉල්ලා සිටියේය. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත් නමුත් අතරමැදියකු බවට හෙළිවිය. සැබෑ වැරදිකරු වූයේ ‘ධ්‍රැව’ නමින් පෙනී සිටි එඩ්වඩ් බෙච්ලි නම් පුද්ගලයෙකි. තර්ජනය කර මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට වසර දෙකක සිරදඬුවම් නියම විය.

රිමෙට් කුසලානය අතුරුදන්වී හරියටම දින 7කට පසුව මාර්තු 27 වැනි ඉරිදා කුසලානය සොයා ගැනීමට හැකි විය. එය සොයා ගත්තේ සිව් හැවිරිදි කළු සුදු මොන්ග්‍රල් බල්ලෙකු විසිනි. ඌ නමින් ‘පිකල්ස්’ (Pickles – අච්චාරු) නමින් හඳුන්වයි. පිකල්ස් උගේ ස්වාමියා වූ ඩේවිඩ් කෝබට් සමග ඇවිදිමින් සිටියදී මෝටර් රථයක ඉදිරි රෝදය අසල ගෙවත්තක වැටක් පාමුල පත්තර කොලයකින් ඔතා තිබූ කිසියම් දෙයක් ඉවකර පහුරු ගෑවේය. එය රිමෙට් කුසලානය විය. පිකල්ස්ට ජාතික සුනඛ ආරක්‍ෂක ලීගයෙන් රිදී පදක්කමක් පිරිනමන ලදි. උගේ ස්වාමියා වූ කෝබට්ට පවුම් 5000 ක් ත්‍යාග වශයෙන් ලැබුණි. මෙම සිද්ධිය නිසා පිකල්ස් බල්ලා ජනප්‍රිය වූ අතර ඌට චිත්‍රපටවල සහ රූපවාහිනී නාට්‍ය මාලාවල රඟපෑමට ද ආරාධනා ලැබුණි. 1967 දී පිකල්ස් තම නිවස අසල බළලෙකු පසුපස හඹා යනවිට උගේ කරපටිය ගසක අත්තකට සිරවී ගෙළ සිරවීමෙන් මිය ගියේය. හිමිකරු ඌව තම වත්තේ වළ දැමූ අතර උගේ ගෙල බැඳි කරපටිය මැන්චෙස්ටර්හි ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ පිකල්ස්ගේ ඡායාරූපයක්ද සහිතවය.

පූසා හඹා ගිය අච්චාරු බල්ලා සොයාගත් රිමෙට් කුසලානය
පිකල්ස් බල්ලා

මේ සිද්ධියෙන් පසුව ආරක්‍ෂක පියවරක් ලෙස පාපන්දු සංගමය මගින් කුසලානයේ මුල්පිටපතේ අනුරුවක් සාදා ප්‍රදර්ශන සඳහා එම අනුරුව භාවිත කරන ලදී. මෙම අනුරුව දැන් මැන්චෙස්ටර් කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

1970 FIFA ලෝක පාපන්දු ශූරතා තරගයෙන් ජය ගත්තේ බ්‍රසීල පාපන්දු කණ්ඩායමය. ඔවුන් මීට පෙර 1958 සහ 1962 වර්ෂවලදී ජය ලබා තිබූ නිසාත් 3 වරක් ජයගත් නිසාත් රිමෙට් කුසලානය 1970 සිට සදාකාලිකවම තබාගැනීමට බ්‍රසීලයට හැකිවිය. කුසලානය බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ බ්‍රසීල පාපන්දු සම්මේලනයේ ගොඩනැඟිල්ලේ වෙඩි නොවදින වීදුරු සහිත කැබිනෙට්ටුවක තැන්පත් කර තිබුණි. 1983 වර්ෂයේ එක් දිනක රාත්‍රියේදී ගොඩනැඟිල්ලට ඇතුළු වූ ෆ්‍රැන්සිස්කෝ රිවේරා සහ ලුයිස් වියේරා නම් පුද්ගලයන් දෙදෙනකු මුරකරු අකර්මන්‍යකර රිමෙට් කුසලානයත් තවත් කුසලාන දෙකකුත් සොරකම් කරගෙන ගියේය. මෙහි මහ මොළකරු වූයේ පෙරල්ටා නමැත්තෙකි. පොලිසිය මොවුන් අත්අඩංගුවට ගත් නමුත් ඒ වනවිටත් කුසලානය උණුකර තිබුණි. එය උණු කළ රන් වෙළෙන්දෙකු වූ ජුවාන් කාලෝස් හනරාණ්ඩස් ද අත්අඩංගුවට ගත්තේය. එහෙත් පසුව ඔවුන් සියල්ලෝම පලා ගියේය. රිමෙට් කුසලානය කිසි විටෙකත් ආපසු ලැබුණේ නැත. ඒ වෙනුවට ජූල්ස් රිමෙට් කුසලානයේ අනුරුවක් 1948 දී බ්‍රසීලියානු හමුදා ජනපති ෆිගුරේඩෝ වෙත ලෝක පාපන්දු සම්මේලනය FIFA විසින් පිළිගන්වන ලදි. අද බ්‍රසීලයේ ප්‍රදර්ශනයට ඇත්තේ එම රිමෙට් කුසලාන අනුරුවයි.

රුවන් තරස්වින්

advertistmentadvertistment
advertistmentadvertistment