මහ බැංකුව ජාතියෙන් සමාව ගත යුතුයි – ගම්මන්පිල කියයි

79

ජනතාවට කැපකිරීම් කළ යුතු යැයි වැදිබණ කියන මහ බැංකුව සිය වැටුප් අධික ලෙස ඉහළ දමා ගෙන කකුළුවෙකු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මහ බැංකුව 93%කින් වැටුප් වැඩි කරගෙන වැඩි කලක් යෑමට පෙර නැවත වතාවක් 70%කින් වැටුප් ඉහළ දමාගෙන. අපි බොහෝ දෙනකුගේ වැටුප කියන්නේ දහස් ගණන්වලින්. මහ බැංකුවේ ඉන්න හැමෝගේම වැටුප් කියන්නේ ලක්ෂ ගණන්වලින්. ඒ වැටුප් වැඩි වීමේ යෝජනාව මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන්නේ ජනතාව කැප කිරීම් කරන්න ඕනෑ කියමින් වැදි බණ දෙසන මහ බැංකු අධිපතිතුමා විසින්.

මහ බැංකුව දැවැන්ත ලෙස වැටුප් වැඩි කර ගැනීම සාධාරණීකරණය කරන්න හේතු දෙකක් කියනවා. පළමුව බැංකුවේ නිලධාරීන් විදෙස් රැකියාවලට යෑම වළක්වන්න කියන එක. මේක මහ බැංකුව විතරක් නොවේ සමස්ත ලංකාවම මුහුණ දෙන ප්‍රශ්නයක්. එහෙම බැලුවාම සමස්ත ලංකාවේම වැටුප් වැඩි කරන්න ඕනි. එහෙම කළොත් උද්ධමනය තවත් ඉහළ ගිහින් තත්ත්වය මීටත් වඩා නරක් වෙන බව මහ බැංකුවට අමුතුවෙන් කියා දෙන්න ඕනෑ නෑනේ.

දෙවනුව කියන්නේ අපි වැටුප් වැඩි කර ගත්තේ ජනතාවගේ සල්ලිවලින් නොවේ. අපේ ලාභවලින් කියලා. මහ බැංකුව වාණිජ බැංකු වගේ තරගකාරි පදනමකින් වැඩ කරන ආයතනයක් නොවේ. ඒකාධිකාරියක් තිබෙන ආයතනයක්. මහ බැංකුව තමයි ආණ්ඩුවට කෙතරම් මුදලක් නෝට්ටු අච්චු ගහලා ණයට දෙනවද කියලා තීරණය කරන්නේ. මහ බැංකුවට තිබෙන්නේ තීන්ත වියදමයි කඩදාසි වියදමයි විතරයි. නමුත් නෝට්ටුවේ වටිනාකම ආණ්ඩුවෙන් අය කරනවා විතරක් නොවේ ඒකට වෙළෙඳපොළේ තිබෙන ගාණටම පොලියත් අය කරනවා. ඒ වගේම වාණිජ බැංකුවලට මහ බැංකුව ණය දෙන විට අය කරන පොලිය තීරණය කරන්නෙත් මහ බැංකුවමයි. අවසානයේ මේ සියල්ලේම බර පැටවෙන්නේ සාමාන්‍ය මහ ජනතාවටයි.

ඒ නිසා මහ බැංකු නිලධාරීන්ට වැඩි කළ වැටුප නැවත අඩු කළ යුතුයි වගේම කකුළුවා වගේ ජනතාවට එකක් කියලා තව එකක් කිරීම ගැන ජාතියෙන් සමාව ගත යුතුයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment