වැඩකට නැති රාජ්‍ය ආයතන වැහීමේ පමාවූ තීරණය!

189

ඵලදායිතාවයෙන් අඩු රාජ්‍ය ආයතන 100 ක් පමණ වසා දැමීමේ තීරණයකට රජය පැමිණ ඇත. බොහෝ දුරට ආණ්ඩුවේ පවතින ආර්ථික අපහසුතාවය මේ සඳහා ආසන්නම හේතුව ලෙස සඳහන් කළ හැක. විවිධ කාලවලදී ඇතිකරනු ලැබූ රාජ්‍ය ආයතන, ජනාධිපති කොමිෂන් සභා වැනි ආයතන බොහොමයක් වැඩක් නැති වුවත් ඔහේ තිබෙන්නට හැර ඇත්තේ බොහෝ දුරට දේශපාලන හේතුද සමගිනි. බොහෝ දෙනා පිළිගන්නා පරිදි, බොහෝ විවේචනයන්ටද භාජනය වූ කාරණාවක් වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් සුවිශාල බවයි. බොහෝදුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ණය දෙන ආයතන පවා රාජ්‍ය සේවය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ප්‍රතිනිර්මාණය කරන ලෙස බොහෝ අවස්ථාවලදී උපදෙස් දී තිබුණත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය එන්න එන්නම ප්‍රමාණයෙන් විශාල වූ අතර ගුණාත්මක භාවයෙන් පල්ලම් බැස ඇත. කෙසේ වුවද මෙම තත්ත්වය සමනය කර ගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ගැළපෙන රාජ්‍ය සේවයක් ගොඩනඟා ගැනීමට අප තවමත් ඉතාම ප්‍රමාද බවද කිව යුතුය.

රාජ්‍ය සේවය විශාල වීමට බලපාන ලද ප්‍රධානම කාරණය වන්නේ දේශපාලනයයි. රජයේ රැකියා ලබාගැනීම සඳහා පවතින ඉල්ලුම දේශපාලකයාටද වාසියක් වූ අතර පවතින ආයතනවලට දිගින් දිගටම සේවකයන් ඇතුළත් කිරීම සහ වෙනත් වෙනත් නම් වලින් ආයතන, කොමිෂන් සභා හා උපදේශන සභා ඇති කරමින් ඒ සඳහා තම හිතවතුන් පත්කර ගැනීම හා දේශපාලන වුවමනාවන් සඳහා විවිධ ආයතන හා කොමිෂන් සභා ආදිය සඳහා හිතුවතුන් පත්කර ගැනීම මේ සඳහා හේතුවිය.

● ආයතන වැසීමේ කඩිනම් වුවමනාව?

වර්තමානයේ රජය මුහුණදී ඇති මූල්‍ය අර්බුදය බොහෝ දුරට වියදම් සීමා කිරීමක් දක්වාද තල්ලුවී ඇත. එහි එක් පියවරක් ලෙස අනවශ්‍ය ආයතන හා කොමිෂන් සභා වසා දැමීමේ කැබිනට් තීරණයට රජය පෙළඹී ඇත. කෙසේ වුවද මෙම තීරණයද කොතෙක් දුරට කිසියම් ප්‍රතිසංස්කරණමය උපායමාර්ගයක් හෝ විචාරාත්මකව කරුණු ඇතිව කරන්නේද යන්න සැක සහිතය. ආයතන වසාදමා එම සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කිරීම තුළ රජයේ වියදම් සීමා කිරීම් කොපමණ ප්‍රමාණයකට අඩුවේද යන්න විමසා බැලිය යුතුය. සැබැවින්ම බැලූ බැල්මට රාජ්‍ය අංශයේ අනවශ්‍ය ආයතන ශාඛා මෙන්ම නිලතලද විශාල වශයෙන් පවතී. එක ආයතනයකට හෝ අමාත්‍යාංශයකට කළ හැකි දේ පිළිබඳ විචාරශීලීව වගකීම් පැවරීම් වෙනුවට තව තවත් අමාත්‍යාංශ හා ආයතන ආදිය නිර්මාණය කිරීමට පසුගිය කාලය තුළ විවිධ රජයන් පෙළඹී ඇත. මේවායේ අවශ්‍යතාවය සැබැවින්ම තක්සේරු කර ඒවා වසා දැමීම කාලෝචිතය. මේ මගින් අදාළ ආයතන නඩත්තුව සඳහා යන බොහෝ පරිපාලන වියදම් කපා දැමිය හැකිවේ. විවිධ පෞද්ගලික ගොඩනැගිලි කුලියට ලබා ගනිමින් වාහන හා වෙනත් නඩත්තු හා පරිපාලන වියදම් බර අවමකර ගැනීමට මේ මගින් හැකියාව ලැබීම මහා භාණ්ඩාගාරයට සහනයකි. රජය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්වූ කාලවකවානුවක මතුවූ අවස්ථාව අනුව රාජ්‍ය අංශය ප්‍රතිසංවිධානය කළයුතු කාර්යයකි. මෙයට අමතරව ආයතන මෙන්ම රාජ්‍ය අංශයේ මානව සම්පත් කළමනාකරණය සඳහාද ආර්ථික වශයෙන් අසීරුවූ කාලයක වැඩි අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය සඳහා ද අවධානය යොමු කළ හැක.

● රාජ්‍ය අංශය විශාල විය යුතුද?

ආර්ථිකය වාහනයක් නම් එහි ගියර් පද්ධතිය විය යුත්තේ රාජ්‍ය අංශයයි. එහි එන්ජිම ලෙස ක්‍රියාකළ යුත්තේ පෞද්ගලික අංශයයි. රාජ්‍ය අංශය බොහෝ ක්‍රියාත්මක කිරීමේ වගකීම සඳහා පෞද්ගලික අංශය යොදා ගැනීමේ ඉඩකඩ සොයා බලන්නේ නම් විශාල රාජ්‍ය අංශයක් නඩත්තු කිරීම රටකට අවශ්‍ය නොවේ. බොහෝ දියුණු රටවල රාජ්‍ය අංශයේ කටයුතු කරගැනීම සඳහා කොන්ත්‍රාත් ක්‍රමය යොදා ගනී (Contract Service). එහෙත් අපේ රටේ රාජ්‍ය අංශයේ කටයුතු සඳහා විවිධ ආකාරයේ රාජ්‍ය ආයතන පිහිටුවා ඇත. එම ආයතනයෙන් කෙරෙන හෝ කරවාගත යුතු සේවය පෞද්ගලික අංශයෙන් හෝ ඒ සඳහා හැකියාව ඇති වෙනත් ආයතනයකින් කරවාගත හැක. උදාහරණයක් ලෙස නිවාස අමාත්‍යාංශයේ පවතින ඉංජිනේරු අංශය හා සැලසුම් ශිල්පීය අංශයේ සිය ගණනක් ඉංජිනේරුවන් හා වෙනත් අදාළ ශිල්පීන් සේවයෙහි යොදවා ඇතත් ඔවුන් සියලුදෙනාට ප්‍රමාණවත් රාජකාරියක් නැත. එබඳු සේවාවන් අවශ්‍ය වන්නේ නම් අදාළ කාර්ය පෞද්ගලික ශිල්පියකුගෙන් හෝ පෞද්ගලික අංශයේ ආයතනයකින් මිල ගණන් කැඳවා ඉටුකරවා ගත හැක. බොහෝ දුරට රාජ්‍ය අංශයට අවශ්‍ය බෙහෝ වෘත්තීය සේවාවන් සඳහා අවශ්‍ය පරිදි කොන්ත්‍රාත් ක්‍රමයට හෝ පෞද්ගලික අංශයේ සේවය ලබා ගන්නේ නම් එබඳු අංශ නඩත්තු කිරීමක් අවශ්‍ය නොවේ.

බොහෝ කටයුතු සඳහා ආයතන තිබියදී එම කාර්යය භාවිතාකර ගැනීම සඳහා වෙනත් අතිරේක ආයතන නඩත්තුව සිදුවේ. රජයේ වැටුප් සඳහා උපදෙස් හා චක්‍රලේඛ නිකුත් කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගිනි. ඒ සඳහා කටයුතු කළ හැකි අංශයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේද පවතී. එයට අමතරව විශාල සේවකයන් සංඛ්‍යාවක් හා උපදේශකයන් ගණනාවක් සමග වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක්ද පවතී. මේවා බොහෝ දුරට හිතවත් විශ්‍රාමික නිලධාරීන් සඳහා දිමනා ගෙවීමේ ආයතන බඳු වේ. විශ්‍රාම ගිය පසු වසර ගණනාවක් එම කොමිෂන් සභාවල සේවය කරමින් අතිරේක වැටුප් හා දීමනා ලබා ගන්නා විශාල පිරිසක්ද රජය නඩත්තු කරයි. ග්‍රාම නිලධාරී කොට්ඨාස හෝ මැතිවරණ බලප්‍රදේශ සීමා නිර්ණය වැනි කටයුතු ද වසර ගණන් ගතකළ යුතු කාර්යයන් නොවූවත් ඒ සඳහා පූර්ණ කාලීන කොමිෂන් සභා අවශ්‍යතාවයන් පවතින්නේද යන්න විමසා බැලිය යුතුය.

නිසි විද්‍යාත්මක කරුණු සොයා බැලීමකින් අදාළ ආයතන රාජ්‍ය ආයතන වල විවිධ අංශ බොහොමයක් වසා දැමිය හැකි ඒවා වේ. එමෙන්ම සේවක පිරිස්ද විශාල වශයෙන් අවම කිරීමේ ඉඩකඩද පවතී.

දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලන විෂය යටතේ ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන හා පාර්ලිමේන්තු කටයුතු ආදී විෂයන් ඒකාබද්ධව පැවතිනි. ස්වදේශ කටයුතු අංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තනි මහලක ක්‍රියාත්මක වූ අතර එහි වූ සේවක සංඛ්‍යාව 80 ක් පමණ විය. එය තවදුරටත් අවම කරමින් 45ක පමණ සේවක පිරිසකගෙන් ස්වදේශ කටයුතු අංශය ක්‍රියාත්මක විය.

ඒ මගින් සිදුවූයේ සම්බන්ධීකරණ කාර්ය භාරයන් පමණි. කෙසේ වුවද දේශපාලන අවශ්‍යතා මත ස්වදේශ කටයුතු අමාත්‍යාංශයක් වෙනම ඇති කිරීමෙන් විශාල ගොඩනැඟිල්ලක් ඉදිකරමින් අතිරේක කාර්ය මණ්ඩල ආදිය මගින් සුවිශාල අමාත්‍යාංශයක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බිහිවිය. කාලයකදී එක් අතිරේක ලේකම් වරයකු විසින් ඉටුකරනු ලැබූ කාර්යයන් සඳහා වෙනම අමාත්‍යාංශයක්, ලේකම්වරයකු හා තවත් අතිරේක ලේකම්වරු ගණනාවකින් අතිරේක වැය බරක් රජයට දැරීමට සිදුවිය.

● රාජ්‍ය සේවය කුඩා කිරීම

රජ්‍ය සේවය අවශ්‍ය ප්‍රමාණයට සංකෝචනය කිරීම අත්‍යාවශ්‍ය වූ ඉදිරි ප්‍රතිසංස්කරණයකි. මේ සඳහා සැබැවින්ම වගකීම් නැවත ප්‍රතිසංශෝධනය කිරීම සිදු කළ යුතුවේ. වියදම අවමකර ගැනීමට ඉවක් බවක් නොමැතිව ආයතන වසා දැමීම අතීසාරයට අමුඩය ගැසීමක්ද විය හැක. බොහෝ දියුණු රාජ්‍යයන්හි රාජ්‍ය සේවය අවශ්‍ය ප්‍රමාණයට තබා ගැනීම වඩා ඵලදායී ප්‍රවේශය හා ක්‍රමෝපාය ලෙස සැලකන්නේ ඉහළ හැකියාවෙන් යුත් කළමනාකරුවන් හා කාර්ය මණ්ඩල ස්ථාපිත කිරීමයි. අදාළ ආයතනය ලාබ ලැබීමට හෝ ඉතා අවම පිරිවැයක් පවත්වාගෙන යෑමේ වගකීම ආයතන කළමනාකරු සතු වන්නේ නම් ඔහුගේ ප්‍රධාන වගකීමක් වන්නේ දක්ෂ කාර්ය මණ්ඩලයක් හඳුනාගැනීමයි. දුම්රිය, විදුලිබල මණ්ඩලය, තැපැල් සේවාව වැනි සේවාවන් කාර්යක්ෂමව කිරීමට ඇති වගකීම් සමග ඉතා දක්ෂ කළමනාකරුවන් පත් කරන්නේ නම් ඔවුන්ගේ ප්‍රධාන වගකීමක් වන්නේ ලාබ ලැබීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සහිතව ආයතනය පවත්වාගෙන යෑමයි. ලාබ ලැබීම හෝ කාර්යක්ෂමතාවය පෙන්වීම ඔහුගේ වගකීමක් නම් ඔහු අවශ්‍ය ප්‍රමාණයට මානව සම්පත් කළමනාකරණය කරනු ඇත. එබදු වගකීමක් හෝ කාර්ය සාධනය මැනීමක් සිදු නොවන්නේ නම් ඔහු පාඩු ලබන ආයතන කළමනාකරුවකු වනු ඇත. ආයතනය වසා දමා ඒවායේ වගකීම දුර්වල රාජ්‍ය කළමනාකරුවකු වෙත පවරන්නේ නම් රජයේ බලාපොරොත්තු අරමුණු ඉටු නොවේ. ආයතන වසා දැමීම හෝ සංකෝචනය සමඟ සංකෝචනය වූ රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට නොහැකිවනු ඇත. රාජ්‍ය ආයතන වැසීමෙන් සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල වළක්වාගැනීම සඳහා ප්‍රධාන කළමනාකාරී වගකීම් පිළිබඳ අවධානය යොමු නොකරන්නේ නම් එකක් කඩතොළු වසාගන්නට ගොසින් ගොඩක් කඩතොළු හදාගත් ඉදුරුවේ ආචාරියාට සිදුවූ දේ රජයට සිදුවනු ඇත. අනවශ්‍ය ආයතනවල පැවැත්ම අනවශ්‍ය ආයතන වසා දැමීමේ ක්‍රියාමාර්ග බොහෝ දුරට පවතින ආයතන වසාදමා වෙනත් නමකින් නැවත ආයතන බිහිකිරීම සඳහා පසුබිම සකස්කර ගැනීමක්ද විය හැක. රජයේ යම් යම් විශේෂිත කාර්යයන් ඉටුකර ගැනීමට පත්කරනු ලබන කොමිෂන් සභා උපදේශන සභා ආදිය අදාළ කාර්යය කරගත් පසුද පවතින්නේ ඒවා කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදුවන බැවිනි. මේවාට පත්කරනු ලබන බොහෝ නිලධාරීන් විශ්‍රාමික නිලධාරීන් වේ. ඔවුන් බොහෝ දුරට අදාළ කාර්යයට අමතරව අදාළ ඇමැතිවරයාගේ න්‍යායපත්‍රයද ක්‍රියාත්මක කරයි. විශේෂිත කාර්ය ඉතා කෙටි කලකින් කළ හැකි වුවත් විවිධ හේතු දක්වමින් කිසියම් අමාත්‍ය මණ්ඩල තීරණවලින් තම කාලය දික්කර ගැනීමද සාමාන්‍ය දෙයකි. මෙම විශේෂිත කොමිෂන් සභා හා උපදේශක සභා සඳහා රජයේ දැනට සේවය කරනු ලබන අය පත්වන්නේ නම් ඔවුන්ද තම කාලය දික්කර ගනිමින් අමාත්‍යවරයාට කරණු කියමින් සැලකිය යුතු කාලයක් එම කාර්යය ඇදගෙන යෑමට මාන බලයි. ඒ සඳහා හේතුවන්නේ තම සේවයේ නියුතු වැටුපට අමතරව වෙනත් දීමනා හෝ වරප්‍රසාද අදාළ අතිරේක රාජකාරියටද ලබාගත හැකි බැවිනි. හරස් කඩක් ලෙස මෙම විශේෂ කොමිෂන් සභා හා උපදේශන සභා විග්‍රහ කරන්නේ නම් මේවා තුළ සේවය කරන්නේ බොහෝ දේශපාලන හිතවත්කම් සහිත විශ්‍රාම ගිය නිලධාරීන් හෝ දැනට සේවයේම නියුක්ත දේශපාලන හිතවත්කම් සහිත නිලධාරීන් වේ. ඔවුන් බොහෝ දුරට ඇමැතිවරයාගේ සුවච කීකරු ගෝලයන් වන බැවින් ඔවුන්ට සැලකීම සඳහා කාලය දික්කර ගනිමින් පැවැත්ම තහවුරු කර ගැනීම සාමාන්‍ය දෙයක් වී ඇත. විශ්‍රාම ගිය පසුද විශ්‍රාම වැටුපට අමතරව දීමනා හා වරප්‍රසාද ලබා ගැනීමට පවතින හැකියාවත්, සේවය කරමින් තවත් දීමනා හා වරප්‍රසාද ලබා ගැනීමට හැකිවීමත් මෙම අනවශ්‍ය ආයතන පැවැත්ම සඳහා ප්‍රධාන වශයෙන් බලපායි.

● ව්‍යවස්ථාපිත ස්වාධීන කොමිෂන්?

ව්‍යවස්ථාපි ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවද පවත්නා සමාජ ආකල්පය සුබවාදී නොවන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමාජය විමසිල්ලෙන් සිටීම නිසා වේ. එම කොමිෂන් සභා සැබැවින්ම ස්වාධීනද යන තර්කය බොහෝ කොමිෂන් සභා සමඟ පවතින දේශපාලන සබඳතාවයන් හේතු වේ. කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීම එක්තරා දුරකට දේශපාලන නිර්දේශ මත සිදුවේ. ඔවුන් පවතින රජයේ න්‍යායපත්‍රය යටතේ කටයුතු කරනු ඇත යන්න රජයේද අභිප්‍රායයි. එසේ නොවන්නේ නම් කොමිෂන් සභා සඳහා රජය බලපෑම් කිරීම කරනු ඇති බව වර්තමාන ස්වාධීන කොමිෂන් සභා සඳහා කරනු ලබන බලපෑම් වලින් පැහැදිලිය. මැතිවරණ කොමිෂන් සභාව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආදිය සමග රජය පවත්වන සබඳතාවය හා ඇඟිලි ගැසීම් ආදියෙන් එය පැහැදිලි වේ.

බොහෝ දුරට කොමිෂන් සභා පරිපාලන මය කාර්යයන් තුළ හිරවී ඇත. උදාරහණයක් ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉටු කරන්නේ යම් යම් තනතුරු සඳහා නිර්දේශ අනුමත කිරීම, මාරුවීම් අනුමත කිරීම, උසස්වීම් අනුමත කිරීම වැනි දෛනික ක්‍රියාමාර්ගයන් වන අතර, එම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හෝ වෙනත් ආයතනයකින් ලැබෙන ඒවා වේ. ඒවා එලෙසම අනුමත කිරීම හෝ සුළු වෙනස්කම් සහිතව අනුමත කිරීම කොමිෂන් සභාවේදී තීරණය වේ. පත්කිරීමේ බලධාරියා රාජ්‍ය සේවා කොමිෂන් සභාවුවත්, නිර්දේශකයා සැබැවින්ම තිරය පිටුපස සිටින දේශපාලකයා හෝ ඇමැතිවරයා වේ. ප්‍රාදේශීය ලේකම්වරයකු හෝ අතිරේක ලේකම්වරයකු පත්කිරීම පවා තිරය පිටුපස නිර්දේශයට අනුමැතිය දීම රාජ්‍ය සේවා කොමිෂම විසින් ඉටු කළ පසු එම දේශපාලන පත්වීම් සඳහා අපූරු ආරක්ෂිත අනුමැතියක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ලැබේ.

● අවශ්‍ය වන්නේ කුමක්ද?

රාජ්‍ය සේවය කොමිෂන් සභා හෝ අනවශ්‍ය ආයතන වෙනස් කිරීමට හෝ ප්‍රතිසංස්කරණය සඳහා වඩා විද්‍යාත්මක කළමනාකරණ ප්‍රවේශයන් තුළ රජය ක්‍රියාකිරීම අවශ්‍ය වන්නේය. එබඳු න්‍යාය පත්‍රයක් දේශපාලන අභිමතාර්ථවලින් බැහැර විය යුත්තේය. කලින් ආණ්ඩු පත් කළ ආයතන හෝ කොමිෂන් සභා නැතිකොට ඒ සඳහා වෙනත් ඒවා හෝ තමාට කීකරු ඒවා හෝ දේශපාලන හෙන්චයියන් පත්කිරීම සඳහා වූ කපටි න්‍යාය පත්‍රවලින් රජය බැහැර විය යුත්තේය. ඒ සඳහා වූ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්‍රතිසංස්කරණ මණ්ඩලයක හෝ කළමණාකරන කමිටුවක සහාය රජය ලබාගත යුතු වන්නේය.

ඒ අනුව පළමුව කළ යුත්තේ ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් රාජ්‍ය කළමනාකරුවන්, ලේකම්වැන් හඳුනාගැනීමේ ප්‍රවේශයකට ප්‍රමුඛව අවතීර්ණවීමය. සිංගප්පූරුව ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් යුත් රාජ්‍ය අංශයක් ප්‍රතිනිර්මාණය ආරම්භ කළේ එම ප්‍රවේශයෙනි. එංගලන්තයේ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සභා මූලික ක්‍රියාදාමයන් ඉටුකළ මාර්ග්‍රට් තැචර්ද ආරම්භ කළේ එබඳු ප්‍රවේශයකි. පහළ මට්ටම වෙනස් කිරීමට ඉහළ කළමනාකාරීත්වය අතිශයින්ම දක්ෂ හා කණ්ඩායමක්වීම අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ඒ අනුවය.

වගකීම් හා ඉලක්ක පැවතීම තුළ අවශ්‍ය යෝජනා ඉහළ කළමනාකාරීත්වයෙන් ලබාගෙන එබඳු වඩා ඵලදායිතා යෝජනා මත ක්‍රියාත්මක වීම වඩා යහපත් දෙවැනි ප්‍රවේශය වේ. ඒ අනුව ඉතා ඉහළ විනිවිධ භාවයෙන් යුත් රාජ්‍ය අංශ ප්‍රතිසංස්කරණය හා ප්‍රතිනිර්මාණ ක්‍රියාවලියකින් ජනතාවට හා භාණ්ඩාගාරයට සහන ලබාදිය හැකි වනු ඇත.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment