ගෙවල් බිඳුම්-කොල්ලකෑම් වාහන පැහැරගැනීම් බල අපරාධ මැඬලන්න පොලිසියේ 60%ක් මහ පාරට

239

රට පුරා සිදුවන ගෙවල් බිඳුම්, කොල්ලකෑම්, වාහන පැහැර ගැනීම් ඇතුළු බල අපරාධ මර්දනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් 60% ක් යොදවා මාස 03ක දැවැන්ත මෙහෙයුමක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (16දා) කියා සිටියේය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස්කර ලබන මැයි මස 01 වැනිදාට පෙර එය තමා වෙත භාරදෙන ලෙස පොලිස්පතිවරයා පොලිස් කොට්ඨාස 45ක කොට්ඨාස භාර නිලධාරීන්ට ඊයේ නියෝග කළේය.

රටේ සිදුවන අපරාධවලින් 32%ක් බල අපරාධ ගණයට අයත් වන අතර එය මර්දනය කර මහජනතාවට බියෙන් සැකයෙන් තොරව සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස්කර දීම මෙම මෙහෙයුමේ අරමුණ බවද පොලිස්පතිවරයා පවසයි.

අලුත් අවුරුදු උත්සවයෙන් පසුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ සූම් තාක්‍ෂණය ඔස්සේ පොලිස් ස්ථාන 640ක ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට එකම අවස්ථාවක අමතා තිබිණි.

එහිදී පොලිසියේ අනාගත සැලසුම් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය. මෙම දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් පොලිස්පතිවරයා උසස් නිලධාරීන්ට මෙසේ කියා සිටියේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ දැක්ම අපරාධවලින් තොරව සැකයක් බියක් නොමැතිව මහජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කරදීම වුවද එය මේ වනවිට ක්‍රියාත්මක නොවන බවද පොලිස්පතිවරයා පවසා ඇත.

පොලිසිය වර්තමානයේ කරන්නේ මහජනයාගේ ආරක්‍ෂාව ගැන සොයාබැලීමට මූලිකත්වය ලබා නොදී වෙනත් රාජකාරි සඳහා මූලිකත්වය ලබාදීම බවද තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

ඒ නිසා මින් ඉදිරියට පොලිසිය තම දැක්ම ක්‍රියාත්මක කර මහජනතාවට ඔවුන්ගේ දේපළ ආරක්‍ෂා කර සැකයෙන් බියෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් සකස්කර දීමට මූලිකත්වය ලබාදිය යුතු බවද පොලිස්පතිවරයා සියලුම උසස් නිලධාරීන් දැනුවත් කරමින් කියා සිටියේය.

රටේ මහජනතාවට මහා හිසරදයක් බවට පත් වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේ යුක්තිය මෙහෙයුම නොනවත්වා ක්‍රියාත්මක කරන බව පැවසූ තෙන්නකෝන් මහතා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන බවද කීය.

පාතාල අපරාධකාරයන් මිනිස් ඝාතන සිදුකර පලායද්දී ඔවුන් ලුහුබැඳ ගොස් ප්‍රහාර එල්ල කර එම අපරාධකාරයන් විනාශ කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ දක්‍ෂ නිලධාරීන් සියදෙනෙකුගෙන් සමන්විත විශේෂ යතුරුපැදි ඒකකයක් මේ සතිය අවසානය වන විට මෙහෙයුම් සඳහා අනුයුක්ත කරන බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

එම නිලධාරීන් මේ වනවිට පුහුණුව නිමකර සිටින අතර ඔවුන්ට මෙම ප්‍රහාරක ඒකකය සඳහා විශේෂ නිල ඇඳුමක් නවීන අවි ආයුධ මෙන්ම අධිවේගී ටේ්‍රල් යතුරුපැදි 50ක්ද ලබාදීමට පියවර ගෙන ඇත.

එමෙන්ම පාතාල මර්දනය සඳහා යොදවා තිබූ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු අනෙකුත් බුද්ධි ඒකක නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් ඒකක 20 තවදුරටත් ශක්තිමත් කර, එය ඒකක 30ක් දක්වා වැඩි කිරීමටද කටයුතු කරන බව පොලිස්පතිවරයා කියා සිටියේය.

මේ අතර අපරාධ මර්දනය සඳහා කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතන සහ නිවාසවල සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරා 2000ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සමග ඒකාබද්ධ කිරීමටද කටයුතු කරන බව තෙන්නකෝන් මහතා උසස් නිලධාරීන් අමතමින් කියා සිටියේය.

මෙම ක්‍රමය අත්හදා බැලීමක් ලෙස කොළඹ නගරය තුළ මුලින් ක්‍රියාත්මක කරන අතර පසුව එය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පොලිස්පතිවරයා පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment