විශ්‍රාම වැටුප ගන්න වසර 05යි

ජනාධිපතිගේ පෙන්ෂන් එක රු.79,841.66

හිමිවරුන්ටත් Pension

රටක පුරවැසියන් ලෙස ඡන්දය භාවිත කිරීමේදී කෙතරම් බුද්ධිමත් විය යුතු ද යන්න පැහැදිලි කෙරෙන තවත් එක් වැදගත් අවස්ථාවක් සාකච්ඡා කළ යුතු කාලය එළඹ තිබේ. 2024 මැතිවරණ වර්ෂයක් වන බවට දැන් සැකයකින් තොරව කතා කළ හැකි වන්නේ පෙරහැරට පෙර හඬ අවදි කරන කස පහර වැනි දේශපාලන තතු විත්තිවල දෝංකාරයෙනි. ඒ නිසා මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉතා පහසුවෙන්ම ඔබ විසින් උරුම කරදෙන විශ්‍රාම වැටුප් වර ප්‍රසාදය ගැන දැන සිටීම අත්‍යවශ්‍ය කරුණකි.

‘මන්ත්‍රීවරයෙකු වසර 5න් විශ්‍රාම යෑම’

නිදහස් අධ්‍යාපනයෙන් නිසි ඵල ලබා ඉන් අනතුරුව බොහෝ කැපකිරීම් කොට වසර 25, 30 ආදී වශයෙන් රාජ්‍ය සේවයේ නිරත වී අවුරුදු 60 පනින තුරු විශ්‍රාම වැටුප ලබා ගැනීමට සිය ජීවිතය කැප කරන්නන් සිටින අප රටේ මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වන නියෝජිතයෙකුට ඉතා ඉහළ විශ්‍රාම වැටුපක් ජීවිත කාලයටම ලැබීමට අවශ්‍යවන්නේ මාස 60ක පාර්ලිමේන්තු සේවා කාලයක් පමණකි. අඛණ්ඩ ජීවන අරගලයට මැදිව පෙන්ෂන් එක වෙනුවෙන් සිය රැකියාවේ සියලු තාඩන – පීඩන ඉවසමින්, ජීවිතයේ විශ්‍රාම වැටුපක් වෙනුවෙන් රැකියා බර උසුලන අපේ රටේ අසරණ විශ්‍රාමිකයන් මාස්පතා තැපැල් කන්තෝරුවල පෝලිම් ගැසී සිටින විට මන්ත්‍රීවරු වසර 5ක් සියලු වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තු ගොස් සිය විශ්‍රාම වැටුප බැංකු ගිණුමට බැරකර ගනිති.

‘විශ්‍රාම වැටුප සමඟ ජීවන වියදම් දීමනාව’

1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාළ පනත හා එහි සංශෝධන අනුව මෙම වැටුප් පරිමා තීරණය වේ.

එක් එක් මන්ත්‍රීවරුන් සිය පාර්ලිමේන්තු ධුර කාලය නිමකළ විට ඒ වනවිට තමන් ලැබූ මන්ත්‍රී ධුරයට නියමිත වැටුපෙන් 1/3ක ප්‍රමාණයක් සමඟ අනුමත ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප ලෙස ලැබේ. මේ සඳහා සපුරා ලිය යුතු අවම සුදුසුකම වසර 5ක පාර්ලිමේන්තු නියෝජනය පමණක් වීම ඔවුන් ලද විශේෂ භාග්‍යයක් වේ. වසර 15කට වඩා වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් නම් වැටුපෙන් 2/3ක් ද අනුමත දීමනා ද හිමි වේ. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අයකුගේ අවම මන්ත්‍රී වැටුප රු.54,285.00කි. එයින් තුනෙන් එකකට ආසන්න අගය ලෙස රු.18,095/-ක් ද දැනට ලබාදෙන විශ්‍රාම වැටුප් හිමියන්ගේ ජීවන වියදම් දීමනාව වූ රු.37,175.00 මුදල ද එකතු වූ විට මේ පාර්ලිමේන්තුව මුල්වරට නියෝජනය කරන අනාගත මන්ත්‍රීවරයෙකුගේ අවම විශ්‍රාම වැටුප රු.55,270/-ක් වනු ඇත. එවැනි විශ්‍රාම වැටුපක් වසර 5ක සේවා කාලයක් සැපිරීමෙන් ලැබීමට සමත් වෙනත් කිසිදු රැකියාවක් හෝ සේවාවක් මෙරට තවත් නැත.

වසරකට කෝටි 19ක්

2024 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 255 දෙනෙකුට රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂ අසූඑක් දහස් හත්සිය අනූනවයයි ශත හතළිස් හයක් (16,181,799.46) විශ්‍රාම වැටුප් ලෙස ගෙවා තිබේ.

ඒ අනුව වසරකට කෝටි 19 ඉක්ම වූ විශ්‍රාම වැටුපක් වාර්ෂිකව මහජන බදු මුදලින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් සඳහා වෙන් කිරීමට සිදුවී ඇත.

වැන්දඹු හා යැපෙන්නන් සඳහා (මසකට) හිමිවන වැටුප්

168 දෙනෙකුට රු. ලක්ෂ 92ක් ඉහත ගෙවීම්වලට අමතරව ඉහත විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ වැන්දඹුවන් හා යැපෙන්නන්ට ද අදාළ දීමනා උරුම කර දීමට ප්‍රතිපාදන සපයා තිබේ.

ඉකුත් පෙබරවාරි මාසයේ වැන්දඹු හා යැපෙන්නන් 168 දෙනෙක් සඳහා රු.අනූදෙලක්ෂ පනස් තුන්දහස් එකසිය තිස්හයයි ශත 26ක් (9,253,136.26) ගෙවා ඇති අතර ඒ අනුව වර්ෂයකට රුපියල් කෝටි 11කට අධික පිරිවැයක් දැරීමට සිදු වේ.

ජනාධිපතිගේ විශ්‍රාම වැටුප

වර්තමාන ජනාධිපතිතුමා වන රනිල් වික්‍රමසිංහ මහතා රු.79,841.66 විශ්‍රාම වැටුපක් ලබන අතර ජනාධිපති ධුරය හොබවමින් සිටියදීම මෙලෙස විශ්‍රාම වැටුපක් ලැබීම කෙතරම් දුරට නීත්‍යනුකූල හා යුක්ති සහගත වන්නේ දැයි ප්‍රශ්නාර්ථයක් මතු වේ. වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අගමැති, කථානායක හෝ හිටපු ජනපතින්, කථානායකවරු නොමැති මෙම වැටුප් ලේඛනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නමට අඛණ්ඩව විශ්‍රාම වැටුප් බැර කරනු ලැබේ.

පාර්ලිමේන්තුවෙන් පෙන්ෂන් ගිය ඇත්තොන්ගේ පෙන්ෂන් එක!

බැසිල් රාජපක්ෂ – රු. 61,804.23

රවි කරුණානායක – රු. 73,365.00

රුවන් විජේවර්ධන – රු. 63,885.19

අකිල විරාජ් කාරියවසම් – රු. 73,365.00

තිලංග සුමතිපාල – රු. 63,865.11

සජින් වාස් ගුණවර්ධන – රු. 55,661.94

සාගල රත්නායක – රු. 70,922.01

රංජිත් අලුවිහාරේ – රු. 70,922.01

රෝහිත බෝගොල්ලාගම – රු. 64,342.42

ලක්ෂ්මන් නිපුනආරච්චි – රු. 56,963.83

විජය දහනායක – රු. 57,625.43

නිරූපමා රාජපක්ෂ – රු. 73,365.00

මර්වින් සිල්වා – රු. 70,318.78

නවීන් දිසානායක – රු. 78,112.71

එස්.බී. නාවින්න – රු. 80,508.32

සරත් අමුණුගම – රු. 80,092.81

තිලක් මාරපන – රු. 60,100.34

සුජීව සේනසිංහ – රු. 63,885.19

ෆයිසර් මුස්තාපා – රු. 73,365.00

වසන්ත සේනානායක – රු. 63,885.19

රංගෙ බණ්ඩාර – රු. 73,365.00

නිශාන් මුතුහෙට්ටිගම – රු. 63,885.19

පී. හැරිසන් – රු. 73,365.00

කරු ජයසූරිය – රු. 73,365.00

පාලිත කුමාර තෙවරප්පෙරුම – රු. 63,885.19

ලක්ෂ්මන් යාපා අබේවර්ධන – රු. 74,224.93

හේමකුමාර නානායක්කාර – රු. 72,550.60

ජෝන් අමරතුංග – රු. 75,909.98

ලක්ෂ්මන් සෙනෙවිරත්න – රු. 73,365.00

එස්.බී. නාවින්න – රු. 80,508.32

තිලක් මාරපන – රු. 60,100.34

ජනක බණ්ඩාර – රු. 55,596.68

මහීපාල හේරත් – රු. 58,241.68

මිලින්ද මොරගොඩ – රු. 59,599.82

අනෝමා ගමගේ – රු. 63,799.66

මිල්රෝයි ප්‍රනාන්දු – රු. 80,508.32

නාවලගේ බෙනට් කුරේ – රු. 57,225.08

මහින්ද සමරසිංහ – රු. 86,056.76

සුනේත්‍රා රණසිංහ – රු. 73,947.87

උදිත් ලොකු බණ්ඩාර – රු. 55,661.94

නියොමාල් පෙරේරා – රු. 72,138.39

අජිත් පී. පෙරේරා – රු. 63,885.19

ජූප්‍ය පක්ෂයටත්

ධර්ම රාජ්‍යයක් උදෙසා පාර්ලිමේන්තු ගිය හිමිවරු අද වනවිට විශ්‍රාම සුවය විඳීම සඳහා වැටුප් ලබන්නේය. ඒ අනුව භික්ෂුන් හැර වෙනත් කිසිදු ආගමික නායකවරු පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් නොලබයි.

අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි – රු. 56,963.83

කොටපොළ අමරකීර්ති හිමි – රු. 56,963.83

අක්මීමන දයාරතන හිමි – රු. 57,029.09

එල්ලාවල මේධානන්ද හිමි – රු. 61,302.89

උඩුවේ ධම්මාලෝක හිමි රු. 56,963.83

මෙලෙස ගත්තු ගමන් පෙන්ෂන් එපා කියන

ජවිපෙටත්

නිහාල් ගලප්පත්ති – රු. 73,365.00

කේ.ඩී. ලාල්කාන්ත – රු. 60,894.47

නන්දන ගුණතිලක – රු. 62,844.72

බිමල් රත්නායක – රු. 70,675.84

සුනිල් හඳුන්නෙත්ති – රු. 73,365.00

නාමල් කරුණාරත්න – රු. 56,963.83

සමන්ත විද්‍යාරත්න – රු. 56,963.83

යුද්ධ කරලා පාර්ලිමේන්තුවට ආ

කරුණා අම්මාන්ටත්

විනයාගමූර්ති මුරලිදරන් – රු.60,562.77

පාර්ලිමේන්තුවෙන් පෙන්ෂන් ගත් ක්‍රිකට් පුරාවෘත, රූප රැජිණියෝ, නළු නිළියෝ, මාධ්‍යවේදියෝ හා විද්වත්හු

ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග – රු.73,365.00

සනත් ජයසූරිය – රු.55,661.94

හෙළයේ මහා නිළි මාලනි ෆොන්සේකා – රු.55,596.68

උපේක්ෂා ස්වර්ණමාලි – රු.55,666.94

රන්ජන් රාමනායක – රු.63,880.17

ජීවන් කුමාරතුංග – රු.80,508.32

රෝසි සේනානායක – රු.55,661.94

ඩිව් ගුණසේකර – රු.65,914.52

ජේ.ආර්.පී. සූරියප්පෙරුම – රු.55,596.68

මොහාන් ලාල් ග්‍රේරෝ – රු.63,885.19

ආචාර්ය සරත් අමුණුගම – රු.80,092.81

මාධ්‍යවේදී ජේ. ශ්‍රී රංගා – රු.55,661.94

ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු – රු.62,960.37

රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහමඟ උද්ඝෝෂණ කරමින් අරගල කරති. සිය ශ්‍රමය විකුණන ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ශ්‍රමිකයෝ ජීවිතයේ සැඳෑ කාලය අවිනිශ්චිතව ගෙවති. ඇඟලුම් කර්මාන්තවල දහදුක් විඳින සේවක සේවිකාවන් ගේද තත්ත්වය ද එයමය. රාජ්‍ය සේවකයෝ හා විශ්‍රාමිකයෝ රටට බරක් වී තිබෙනවා මෙන්ම ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවල ද විශාල ගැටලු අදටත් පවතී. ඡන්දය භාවිත කරන මහජනතාවට තම ජීවිතයේ සැඳෑකාලය, සුවෙන් හා සැපෙන් ගෙවීමට අවස්ථාව නැතත් එම ඡන්දයෙන් තේරී පත්වන අයට හා ඔවුන්ගෙන් යැපෙන්නන්ට එම ආරක්ෂාව ලබාදීමට නම් අපේ රට පුදුම දේශයක් වී තිබේ.

වෙනස් කළ යුත්තේ සැමවිටම පාර්ලිමේන්තුව නොවේ. ප්‍රගතිශීලි හා බුද්ධිමත් ජනතාවක් ලෙස නොසිතා කටයුතු කිරීමේදී දක්වන පසුගාමීත්වයයි.

ඉහත ආකාරයේ විශ්‍රාම වැටුප් ලබන අති බහුතරයට ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදලින් සිය විශ්‍රාම වැටුප් ලබා ජීවිතය ගෙනයෑමට තරම් ආර්ථික අහේනියක් හෝ ජීවිත අනාරක්ෂිත භාවයන් නැත්තේය. එබැවින් වරක්, දෙවරක්, තෙවරක් නොව 100 වරක් සිතා ඡන්ද පෙට්ටියට මනාපය යොමු කිරීමට බුද්ධිමත් වන්න.

නොඑසේ නම් ඔබ ජීවන අරගලයට යටවී මහ පාරේ සිඟමන් යදින විට කවදා හෝ දිනෙක ගසන යාචක බද්දෙනුත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට සිදුවනු ඇත.

ජනක බෝකුඹුර

advertistmentadvertistment
advertistmentadvertistment