තෙවරප්පෙරුමගේ මරණ සහතිකය උසාවියෙන් ඉල්ලයි

106

2018 වසරේ නොවැම්බර් මස කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති විරෝධතා ව්‍යාපාරයකදී නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට අතින්, පයින් පහර දී සුළුතුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම් කොට තිබූ හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණ සහතිකයේ සහතික පිටපතක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (25දා) කොල්ලුපිටිය පොලිසියට නියෝග කළේය.

එම නඩුවේ අනෙක් සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඊයේ (25දා) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සැසියකට සහභාගි වන බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. එම සැකකාර මන්ත්‍රීවරයා ඊයේ (25දා) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ බව තහවුරු කිරීමට අවශ්‍ය ලිපියක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම නඩුව ලබන ජුනි 24 වැනිදා දක්වා කල්තැබිණි. ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ කොල්ලුපිටිය පොලිසිය සැකකාර මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන 2018.11.05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට නියම කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment