තීරණාත්මක තරගයේදී කුසල් ජනිත් වෙනුවට ධනංජයට අවස්ථාවක්!

591

අද පැරදුණොත් තරගාවලිය පරාදයි

සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දු වාර 20-20 තරගාවලියේ ජයග්‍රාහකයින් තීරණය කෙරෙන අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (18 වැනිදා) රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

පසුගිය තරග දෙකේදී අසාර්ථක වූ අංක 03 පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද තරගයට කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

කුසල් එම තරග දෙකෙන් පළමු තරගයේදී ලකුණු 17 ක් ලබා ගත්තද දෙවන තරගයේදී මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.

දකුණතින් දඟ පන්දු යැවීමට හැකියාව ඇති ධනංජය ද සිල්වා අතිරේක පන්දු යවන්නෙකු ලෙසත් අංක තුන පිතිකරු ලෙසත් කණ්ඩායමට එක්වීමට නියමිතව ඇත. ධනංජය අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු වාර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නවසීලන්තයට එරෙහිවය.

දෙරට අතර පැවැති තරග දෙකෙන් පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්ත ද දෙවැනි විස්සයි20 තරගයෙන් සිම්බාබ්වේ පිල පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 4ක ජයක් වාර්තා කළේය.

මේ හේතුවෙන් තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයකට පත් වූ අතර, අද පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි20 තරගය එම නිසා දෙපිලටම තීරණාත්මක වී තිබේ.

පෙරේදා පැවති තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී ලකුණු 173ක් වාර්තා කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ සිම්බාබ්වේ පිල කඩුලු 6කට ලකුණු 178ක් ලබා ගත්තේය.

තරගය පරාජයෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක වනිදු හසරංග පැවසූයේ එම තරගය දිනන්නට ශ්‍රී ලංකාවට හැකියාව තිබූ බවත් ඒ නිසා නිදහසට කාරණා කීමට තමන් කැමති නැති බවයි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පවර් ප්ලේ අවස්ථාවේදී කඩුලු 4ක් දැවී ලකුණු 31ක් වාර්තා වූ අතර, මෙයට පෙර පැවති පළමු විස්සයි20 තරගයේදී ද ඉදිරිපෙළ කඩා වැටීම හේතුවෙන් මුල් ඕවර 6දී කඩුලු 3ක් දැවී ලකුණු 40කට සීමා විය.

එසේම උඩපන්දු රැකීමේදී තීරණාත්මක අවසන් පන්දුවාරයේදී ඉතා පහසු උඩ පන්දුවක් මහීෂ් තීක්ෂණ අතින් ගිලිහී යන අයුරුද දක්නට ලැබිණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment