වම් වකුගඩුව තියනවා – දකුණු එක ලැබුණේ නෑ

588

විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න සාක්ෂි දෙයි

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි දරුවාගේ වම්පස වකුගඩුව පමණක් තම අංශය භාරයේ සුරක්ෂිතව තබා ඇති බවත් නිරෝගී තත්ත්වයේ තිබූ බව කියන දකුණු වකුගඩුව තම අංශයට නොලැබුණු බවත් එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න මහත්මිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (8) පැවසුවාය.

එම දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විමසීම ඊයේ අධිකරණය හමුවේ පැවති අතර එහිදී බොරැල්ල පොලිසිය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

තම අංශය වෙත එවූ එම දරුවාගේ වම්පස වකුගඩුව ඇමෝනියා වතුරේ ගිල්වා තම අංශයේ සුරක්ෂිතව මේ වන විට තබා ඇති බවද ඇය සාක්ෂි දෙමින් පැවසුවාය.

රෝහලට ඇතුළත් කෙරූ එම දරුවාගේ දකුණු වකුගඩුව කිසිදු අසමානතාවයකින් තොරව නියමිත ස්ථානයේ තිබූ බව දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ මහතා මීට පෙර සාක්ෂි ලබාදෙමින් අධිකරණය හමුවේ කීවේය.

දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සීයයට නමයක් ලෙසත්, දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සීයට අනූ එකක් ලෙසත් ක්‍රියාත්මකව තිබූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා සිය සාක්ෂිය මඟින් වැඩිදුරටත් කියා තිබුණි.

ශල්‍යකර්මයේදී සිදු වූ අත්වැරදීමක් හේතුවෙන් දරුවාගේ එක් වකුගඩුවක් ඉවත් ව ඇති බවට රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන නමුත් එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන්ව තිබීම අපැහැදිලි කාරණයක් බවද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි වෛද්‍යවරයකු මෙන්ම නීතිඥවරයකු වන වයි.එල්.එම්. යූසුප් මහතා මීට පෙර නඩු වාරයකදී අධිකරණය හමුවේ පවසා තිබුණි.

කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි ෆස්ලිම් නමැති තෙහැවිරිදි දරුවකු එසේ මියගොස් ඇති අතර තම දරුවාගේ මිය යෑම සැකසහිත බවට ඔහුගේ මවුපියන් බොරැල්ල පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගැනේ.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment