සීගිරිය ලෙෂර් පාර්ක් එකක්! සංචාරක ලේකම්ගේ නවතම සොයාගැනීමක්ද!

790

සීගිරිය බලකොටුවක් නොව, උද්‍යානයක් බවට පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා මහනුවර දී පැවසීය. සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සීගිරිය පිළිබඳ මුළු ලෝකය ම දන්නා මුත් සීගිරිය පිළිබඳ හරි දේ ලෝකයට ගොස් නැතැයි ද ඒ මහතා කීය.

සීගිරිය ලෝක පූජිත සංචාරක සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබුණත් මෙය හරි තැනට දැමිය යුත්තේ කෙලෙස ද යන්න සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ නිලධාරීන් හා සංස්කෘතික හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව කළ සාකච්ඡා ධනාත්මකව සිදු වූ බව ද සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.

සීගිරිය බලකොටුවක් යැයි සිතාගෙන හැම දෙනාම සීගිරිය නැරඹීමට යන බව පැවසූ ඒ මහතා සීගිරිය බලකොටුවක් වූවා නම් ලස්සන පොකුණු, ලස්සන මල්වතු තනා ඇත්තේ මන්දැයි විමසා සිටියේය.

ඇත්තට ම සීගිරිය බලකොටුවක් නොවන බවත්, සීගිරිය ලස්සන ලෙෂර් පාර්ක් එකක් බවත් පැවසූ ඒ මහතා පේරාදෙණිය වගේ ලස්සනට විවේකයෙන් ඉන්න ඒ කාලේ මෙය ඉදිකර ඇතැයි ද ඒ මහතා පැවසීය. මෙය රජතුමා විසින් හදපු ලෙෂර් පාර්ක් එකක් බවට හමු වූ සම්පූර්ණ සාධකවලින් සනාථ වී ඇතැයි ද සංචාරක අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ඉදිරියේදී නව මෘදුකාංගයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment