ජංගම දුරකථනය වැඩිවේලාවක් භාවිතයෙන් ඇසට සිදුවන හානි

440

දුරකථන ඇමැතුම් ගැනීමට අමතරව ජංගම දුරකථනයක ඇති අනෙකුත් අන්තර්ජාල පහසුකම් නිසා අද බොහෝ දෙනාගේ ජීවිතයේ අත්‍යවශ්‍ය උපාංගයක් බවට ජංගම දුරකථනය පත්ව ඇත. එනිසා ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන රටේ ජනතාව අතර භාවිතා වේ. මෙම ජංගම දුරකථන භාවිතය ඇතැම් දෙනා අතර ඇබ්බැහිවීමක් බවටද පත්ව තිබේ. එනිසා උදෑසන අවදිවූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තුරුම ජංගම දුරකථනය සමඟ කාලය ගත කරති. මෙම පිරිස අතර පාසල් වියේ පසුවන දරුවන්ද තරුණ තරුණියන්ද වැඩි වශයෙන් සිටිති.

මෙලෙස දවසේ දිගු කාලයක් ජංගම දුරකථන භාවිතය නිසා ඇස්වල පෙනීමේ දුර්වලතා හට ගැනීමද ඉහළ ගොස් තිබේ. ඇස් දෙකට සමීපව මෙම දුරකථන භාවිතය නිසා ඔවුනට දුර පෙනීමේ දුර්වලතා හටගනී.

ජංගම දුරකථන භාවිතය නිසා ඇතිවන අක්ෂි ආබාධ

අපට යමක් දැකගත හැක්කේ ඇස තුළට ගමන් කරනා ආලෝක කිරණ මගිනි. ඒ අනුව ජංගම දුරකථනයක තිරය ඔස්සේ අපට යමක් පෙනීමේදී එම දුරකථනයෙන් පිටවන ආලෝක කිරණ (Blue Light) අපගේ ඇස තුළට ගමන් කරනු ලබයි. අප වැඩි කාලයක් ජංගම දුරකථනයක් භාවිතා කිරීමේදී සිදුවන්නේ එම ආලෝක කිරණ වැඩිවේලාවක් ඇසට ගමන් කිරීමයි. එය ඇසට අහිතකරය. එසේම අප ජංගම දුරකථනය ඇසට සමීපව තබාගෙන වැඩි වේලාවක් බැලීම නිසා ඇසේ මාංශ පේශීන්ද ළඟ පෙනීම සඳහා පමණක් වැඩි කාලයක් ක්‍රියාකරයි. එවිට දුර පෙනීමේ දුර්වලතා හෙවත් අවිදුර දුෂ්ඨිකත්වය (myopia) හටගනී.

ජංගම දුරකථනය වැඩිවේලාවක් භාවිතයෙන් ඇසට සිදුවන හානි

එසේම ඇසිපිය ගසන ප්‍රමාණයද අඩුවේ. (අපගේ ඇස ළඟ බැලීම, දුර බැලීම සහ විනාඩියට ඇසිපිය ගැසීම 20 වාරයක් පමණ සිදුකිරීමට ආදී ලෙස හුරුව ඇත.

අප එක දිගට පැය ගණනාවක් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් සමඟ කටයුතු කිරීමේදී ඇසේ මාංශ පේශි එකම ඉරියව්ව කින් වැඩි කාලයක් ක්‍රියාකිරීම නිසා තදවීමකට ලක්වේ. ඇසිපිය ගසන වාර ගණනද අඩුවේ. එවිට ඇස් දෙකෙහි වේදනාවක් හටගනී. කඳුළු ගැලීමක් සිදුවේ.

ඇස්වල කඳුළු යනු ඇසට පෝෂණය ලබාදෙන මාධ්‍යයකි. අප එක දිගට එකම ඉරියව්වක් ඔස්සේ ඇස් දෙකින් යමක් දෙස බලා සිටීමේදී ඇසිපිය ගසන වාර ගණන අඩුවේ. විනාඩියකට ඇසිපිය ගසන වාර ගණන 15 කට පමණ අඩුවූ විට ඇස තුළ කඳුළු ගලායාම අවහිරවී ඇසින් කඳුළු පිටවේ.

ඇස තුළ නිසි ලෙස කඳුළු ගමන් නොකිරීම නිසා ඇස වියලි තත්ත්වයට පත්වේ. (Dry Eye) ඇසෙහි කළු ඉංගිරියාවට පෝෂණය ලැබෙන්නේ කඳුළු මගිනි. එයට නිසි ලෙස පෝෂණය ගමන් නොකළ විට කළු ඉංගිරියාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වේ. එවිට ඇසේ පෙනීමේ දුර්වලතා හටගනී. එසේම අපගේ ඇස් දෙකට විෂ බීජ ඇතුළුවීම වළක්වාලමින් ආරක්‍ෂා කරන්නේද කඳුළු මගිනි. එනිසා ඇස වියළි තත්ත්වයට පත්වුවහොත් ඇසේ ආරක්‍ෂාවටද බලපෑමක් මතුවේ.

ජංගම දුරකථන සහ පරිගණක ඔස්සේ පිටවන ආලෝක කිරණ ඇස තුළට වැඩි කාලයක් ගමන් කිරීම නිසා දෘෂ්ඨි විතානයට හානි සිදුවී ඇසේ පෙනීමේ දුර්වලතා ඇතිවීමට පමණක් නොව මොළයේ ක්‍රියාකාරිත්වයටද බලපෑම් ඇති කරයි.

ඇසට ඇතිවන බලපෑම පාලනය කිරීම

ජංගම දුරකථන සහ පරිගණක භාවිතා කිරීමේදී එක දිගට පැය ගණනාවක් එය දෙස බලා නොසිට ඇස ඉන් ඉවතට ගෙන තත්ත්පර කිහිපයක් දුර බැලීමට යොමුවිය යුතුය. මෙය විනාඩි පහකට වරක්වත් සිදුකළ යුතුය. එසේම ජංගම දුරකථන සහ පරිගණක භාවිතයේදී ඉන් පිටවන ආලෝක කිරණ පාලනය කළ හැකි කණ්ණාඩි දෙකක් පැළඳීම වඩාත් සුදුසුය.

එවිට එම ආලෝක කිරණ මගින් දෘෂ්ඨි විතානයට සිදුවන හානිය වළක්වා ගත හැකිය. ජංගම දුරකථන සහ පරිගණක මගින් වැඩිපුරම පිටවන්නේ නිල් ආලෝකකිරණය. (Blue Light) මෙය ඇසට අහිතිකරය. නමුත් එම කිරණ යම් ප්‍රමාණයක් මොළයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍යය. එනිසා නිල් ආලෝක කිරණ පාලනය සඳහා කණ්ණාඩි පළඳින විට නිවැරදි කාච සහිත කණ්ණාඩි භාවිතා කළ යුතුය. නිල් කිරණ ඇසට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම හොඳ නැත.

ජංගම දුරකථන සහ පරිගණක සමඟ වැඩි වේලාවක් කටයුතු කරන විට ඇස්වල වේදනාවක් හටගත් විට ඇස් දෙකට විවේකයක් ලබාදිය යුතුය. ඇස්වලින් වේදනාවක් මතුවීම යනු ඇස් වෙහෙසකර බවට පත්ව තිබීමය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0112682277 ඇමැතිය හැකිය.

ජංගම දුරකථනය වැඩිවේලාවක් භාවිතයෙන් ඇසට සිදුවන හානි

අයිකෙයාර් දෘෂ්ඨි විශේෂඥ විදුහලේ
අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ දෘෂ්ඨි විශේෂඥ
නරේෂ් ප්‍රදාත්
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment