අල්ලාහු අක්බර්

1104

ලොව පුරා වෙසෙන බිලියනය ඉක්මවූ ඉස්ලාමීය බැතිමතුන් විසින් අති මහත් භක්තියෙන් සහ උත්සව ශ්‍රීයෙන් සමරන ඉද් උල් පිතර් දිනය අදය. ඉස්ලාමීයයන් විසින් පුණ්‍ය මාසයක් ලෙස හඳුන්වන රමදාන් කාලය ඊයේ නිමාවට පත්විය. රමදාන් කාලය ඉස්ලාමීයයන් නොවන අය විසින් අදහනු ලබන්නේ උපවාස කාලයක් ලෙස පමණි. එහෙත් උපවාසය ඉක්මවා යන පුණ්‍ය කටයුතු රැසක් එම කාලයේදී සිදුවෙයි. එසේම කුසගින්න පිළිබඳ ප්‍රයෝගික හැඟීම උපවාසය මගින් උගන්වනු ලබන්නේ ද රමදාන් සමය තුළය. වසර 610 දී ගේබි්‍රයල් නමැති දේව දූතයා මහම්මත්තුමා හමුවූ බවත් ශුද්ධ වූ කුරානයේ අන්තර්ගතය දේශනා කරන ලද බවත් කියනු ලැබේ. කුරානය ලියනු ලබන්නේ ගේබි්‍රයල් දේව දූතයා ගේ දේශනාවෙන් බව මේ අනුව අපට සිතා ගැනීමට පුළුවන. රමදාන් කාලයට අවුරුදු 1398 ක ඉතිහාසයක් ඇත. ලෝකයේ පළමු රමදාන් සමය වර්ෂ 624 දී නූතන සෞදි අරාබියේ මදීනා නුවරදී සමරන ලදී. එතැන් පටන් සෑම අවුරුද්දකම මහත් සේ ආගමිකවත් මහත් සේ ත්‍යාගශීලීවත් ඉස්ලාමීයයෝ මේ කාලය ගත කරති. ඉහත සඳහන් අවුරුදු සහ වකවානු සඳහන් කර ඇත්තේ ග්‍රෙගරි පාප්තුමා විසින් පිළියෙල කර විටින් විට සංශෝධනය කර අද අපේ බිත්තිවල එල්ලා ඇති සාමාන්‍ය කැලැන්ඩරයට අනුවය. ලොව තිබෙන වෙනත් දින දර්ශන ක්‍රමවේදවලට අනුව ඉහත කී ගණනය කිරීම් වෙනස් වීමට ඉඩ තිබේ.

 මේ රටේ ඉතිහාසයේ නරකම ඉද් උල් පිතර් දිනය එළඹෙන්නේ පාස්කු බෝම්බයෙන් පසුවය. ‘යකාගේ ආගම’ ඉස්ලාම් ආගම ලෙස වරදවා වටහාගෙන සිටි මෝඩ බළල් අත් කිහිපයක් විසින් කිසියම් පාර්ශ්වයක පෙලඹවීම මත ත්‍රස්තවාදයේ කොස් ඇට බාන්නට යෑමේදී පාස්කු බෝම්බය පුපුරා ගියේය. එය සිදුවන්නේ මීට අවුරුදු තුනකට පෙර එළඹී රමදාන් සමයේදීය. බෝම්බ සිද්ධියෙන් පසු බැතිමත් ඉස්ලාමීයයෝ මහත් කනගාටුවෙන් නිහඬ ජීවිත ගතකොට වඩාත් නිහඬ ඉද් උල් පිතර් දිනයක් සැමරූහ. මේ සිද්ධියෙන් පසු රට නැවත යම් ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්වූ අතර ඊළඟ අවුරුද්දේදී කොරෝනා වසංගතයට මුවාවී රමදාන් උපවාස කාලය ගත කිරීමට ඉස්ලාම් බැතිමතුන්ට සිදුවිය. පාස්කු බෝම්බයෙන් පසු ඉස්ලාම් බැතිමතුන් ගතකරන නරකම රමදාන් කාලය මෙවර එළඹී එම කාලය බව අපගේ විශ්වාසයයි. මේ තරම් දේශපාලන වියවුල් පැවති කාලයක් 1970 න් පසු තිබූ බව අපට මතක නැත. මෙවර රමදාන් උපවාස කාලය සමරන ලද්දේ ඉස්ලාමීය බැතිමතුන් පමණක් නොවිය යුතුය. හාල් කිලෝව රුපියල් 500 දක්වා යන ගමනක් අරඹා තිබෙන, පරිප්පු කිලෝව රුපියල් 500 ඉක්මවා ඇති, කරපිංචා මිටියක් රුපියල් 25 ක් වන පලා මිටියක් රුපියල් 50 ක් හෝ 60 ක් වන මේ යුගයේදී රටේ දුප්පතුන් වැඩි දෙනකුට ස්වෙච්ඡාවෙන්ම උපවාස කාලයක් සැමරීමට සිදුව ඇත. මීළඟ වතාවේදී ඩීසල් ගණන් ගිය විට එම උපවාසය ඩබල් වනු ඇත. යූරියා පොහොර මිටිය දැනට රුපියල් 40,000 ක් වන අතර එය රුපියල් 50,000 ඉක්මවූ කල්හි අපේ රටේ උපවාස කාලය ටි්‍රබල් වනු ඇත්තේ සහල් නිෂ්පාදනයේ ප්‍රධාන රසායනික සංඝටකයක් බවට යූරියා පත්ව තිබෙන බැවිනි. මේ අනුව ඉස්ලාමීය ජනයා තමන් කරන කාර්යයෙහි සැබෑ අරුත දැනගෙන උපවාස කාලය සමරා ඇත. ඉස්ලාමීය නොවන ජනයා ඉබේටම කුසගින්න

 කරා යොමුවී ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන වියවුල විසඳෙන තුරු කිසිදු ආගමිකයකුට කිසිදු නිදහසක් ඇතිවන බවක් නොපෙනේ. ජීවන අරගලය ජය ගැනීමට අවශ්‍ය දේශපාලන අරගලයක මේ රටේ පොදු ජනතාව නියුක්තව සිටිති. මේ තීරුව ලියන මොහොතේදීත් රට පුරා ඉන්ධන හිඟයක් පවතී. ජනතාවගේ ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර සොයන විදිය ටිකක් අමුතුය. ඔවුන් තෙල් ප්‍රශ්නය විසඳන්නේ තෙල් මිල ඉහළ දැමීමෙනි. එවිට මිනිස්සු ඉන්ධන ගැනීමෙන් වැළකී සිටිති. ඔවුන් ගෑස් ප්‍රශ්නය විසඳන්නේ මීට අවුරුදු කීපයකට පෙර රුපියල් දහසක්ව තිබූ කිලෝ 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 5000 කිරීමෙනි. එවිට ගෑස් ගැනීමට සල්ලි නැති නිසා ජනතාව ගෑස්වලින් ඉවත් වෙති. ආණ්ඩුව මේ යෙදවුමම (Application) දිගින් දිගටම ආහාර ද්‍රව්‍යය කෙරෙහි යොදවනු ලැබුවහොත් මේ රටේ ජනතාවට දින නියමයක් නැති උපවාස කාලයක් ගත කිරීමට සිදුවන්නේය. සමහරවිට මේ යෙදවුම මගින් ජනගහනයේ විශාල අඩුවක් හටගැනීමට ඉඩ තිබේ. රටේ උද්ධමනය එපමණටම තදය. එක්දහස් නවසිය විසි ගණන් වලදී යුරෝපාකරයෙහි විශාල උද්ධමන සමයක් හට ගත්තේය. ඒ හේතුවෙන් මුදලෙහි අගය මහත් සේ අඩුවිය. පාන් රාත්තලක් මිලට ගැනීම සඳහා සල්ලි ගෝනියක් ගෙන යෑමට එකල යුරෝපාකරයේ විසූ ජනයාට සිදුවිය. ඒ සමගම පැමිණි ශීත කාලයේදී උණුසුම සපයා ගැනීමට අවශ්‍ය ඉන්ධනත් කුසට ආහාරත් ලබා ගැනීමට නොහැකි වීමෙන් යුරෝපයේ මිලියන ගණනක් මිය ගියහ.

 මේ කතු වැකියේ මාතෘකාව වන අල්ලාහු අක්බර් යන්නෙහි තේරුම දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ බවය. ලෝකයේ ආගම් විශාල සංඛ්‍යාවක් ඇති අතර ඉන් ආගම් වැඩි හරියක් සර්ව බලධාරී දෙවියන් පිළිබඳ විශ්වාස කරති. දෙවියන් යන සංකල්පය ගැන භෞතික විද්‍යාත්මක අර්ථ කථනයක් ද තිබේ. දෙවියන් යනු කිසිදු හැඩයක් නැති අතින් ඇල්ලීමට නොහැකි පියවි ඇසින් දැකීමට දුෂ්කර බලවේගයක් ලෙස මෙහිදී අර්ථ කථනය කෙරේ. විශ්වය බිහිකරන ලද්දේ කිසියම් බලවේගයක් මගිනි. සෞරග්‍රහ මණ්ඩලය බිහිකරන ලද්දේ කිසියම් බලවේගයක් මගිනි. කෙනෙක් එම බලවේගයට මහා ස්පෝටනය (Big Bang) යන නම කියන අතර තවත් කෙනකුට එයට කියන නම දෙවියන් යැයි කිව හැකිය. මහම්මත්තුමා දෙවියන් දැකීමට දෙව්ලොවට ගිය බවට විශ්වාසයක් පවතී. මෙහිදී දෙවියන් ලෙස මහම්මත්තුමා දැක ඇත්තේ අති ප්‍රබල වූද මහත් සේ දීප්තිමත් වූද අසමසම ආලෝකයක් නිකුත් කරන්නා වූද ආලෝක ධාරාවකි. මේ අනුව දෙවියන් නමැති බලවේගය පිළිබඳ ගැටලුව දේවවාදීන්ට මෙන්ම අදේවවාදීන්ටද ඉතා පහසුවෙන් විසඳාගත හැකිය. විශ්වයේ පවතින මේ අප්‍රමාණ බලවේගය විසින් සෞරග්‍රහ මණ්ඩලයද සියලු ජීවීන්ගේ ජීවිතද පාලනය කරනවා ඇත. එබැවින් එම බලය ශ්‍රේෂ්ඨතම බලය බවට කිසිවෙක් කියතොත් අපට එම කතාවට එරෙහි විය නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment