විදුලි ඉංජිනේරුවෝ 150ක් රට හැර ගිහින්

248

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන් 150කට වැඩි පිරිසක් රට හැර යෑම නිසා ඉදිරියේදී රට පුරා අඛණ්ඩව විදුලිය සැපයීම බරපතළ අර්බුදයක් විය හැකි බව විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

2022 වර්ෂයේ මුල් කාර්තුවේ සිට මේ දක්වා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය කළ විදුලි ඉංජිනේරුවන්ගෙන් 159ක් පමණ නිවාඩු ලබා හෝ සේවයෙන් ඉවත්ව විදෙස්ගතව ඇති බවත් ඉන් 54ක් නිවාඩු ලබාගෙන සෙසු 105 දෙනා සම්පූර්ණයෙන්ම සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවත් වාර්තා වේ.

එසේම මේ මාසයේ මුල් දින කිහිපයේදී විදුලි ඉංජිනේරුවන් 13 දෙනකු සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදී ඇති බවත් ඉදිරි මාස කීපයේදී සේවය හැර යන්නන්ගේ ප්‍රමාණය 200ද ඉක්මවීමට ඉඩ ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විෂය භාර ඇමැතිවරයාගේ වෛරී ප්‍රකාශත් මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියා රටේ ආර්ථික තත්ත්වය, ජීවන වියදම ඉහළ යෑම, වැටුප් දීමනා සහ පහසුකම් කප්පාදුව, නියමිත වැටුප් වර්ධක නොලැබීම සහ අධික බදු බර නිසා ඇති වූ ආර්ථීක පීඩනය හේතුවෙන් මෙලෙස විදුලි ඉංජිනේරුවන් රට හැර යෑමට පෙලඹී ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ හේතුවෙන් බලාගාර මෙහෙයුම්, නඩත්තු කටයුතු නිසි කළමනාකරණය සහ රාජකාරි කටයුතු නිසි ලෙස ආවරණය කිරීමට නොහැකිවීමෙන් ජනතාවගේ විදුලිය අවශ්‍යතාව සපුරාලීම ඉදිරියේදී අර්බුදයක් වනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment