නොමිලේ දෙන හාල් ටික ගන්න අඩු ආදායම්ලාභී අපටත් සල්ලි ගෙවන්න වුණා

146

ජනතාව චෝදනා කරති

නොමිලේ දෙන සහල් ටික ගන්න තංගල්ලේ අඩුආදායම්ලාභී අපට මුදල් ගෙවන්න වුණා. යැයි ජනාතාව චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් සොයා බලා අදාළ නිලධාරීන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කියයි.

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් සඳහා නොමිලේ සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ පසුගිය දින තංගල්ල හා අවට සහල් බෙදාදීම සිදු කෙරුණු අතර එහිදී සහල් බෙදා දුන් නිලධාරීන් විසින් අඩු ආදායම්ලාභීන්ගෙන් මුදල් එකතු කිරීමක් සිදු කළ බවට ජනතාව චෝදනා කරති.

අඩු ආදායම්ලාභී එක් පවුලක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් බෙදාදීම මෙහිදී සිදුකෙරුණු අතර එහිදී සහල් ලබාගැනීමට පැමිණ සිටි තංගල්ල, නෙටොල්පිටිය, ලාලිතපුර හා වැලිපැන්න ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගෙන් රුපියල් 20 සිට රුපියල් 150 දක්වා වූ මුදලක් අය කළ බවට ජනතාව චෝදනා කරති.

“ඇත්තටම ජනාධිපතිවරයාගේ මේ වැඩපිළිවෙළ හොඳයි. මොකද අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන වෙලාවක මේ විදියට සහල් කිලෝ 10ක් ලබා දිම අගේ කරන්න ඕනි. නමුත් වෙලා තියෙන්නේ ගමේ ඉන්න නිලධාරීන් මේ වැඩපිළිවෙළ නිසි පරිදිි සිදු කරන්නේ නැති එක. දෙන හාල් ටික හොඳ ද නරක ද කියලා බලන එක කරන්න ඕනේ ගමේ ඉන්න නිලධාරීන් ටික මිසක් ජනාධිපතිවරයා ඇවිත් නෙමේ. මේ වෙලාවේ අපිට මේ නොමිලේ දෙන සහල් ටික ගන්න සල්ලි ගෙවන්න වුණා. අපිට තේරෙන්නේ නෑ ඇයි මේ නිලධාරීන් මේ විදියට කටයුතු කරන්නේ කියලා. අහිංසක මිනිහව මේ විදිය තලා පෙළා කටයුතු කරන්නේ ඇයි කියලා අපිට තේරෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් ඇත්තටම පරීක්ෂණයක් කරලා ජනතාව මේ විදියට අපහසුතාවට පත් කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ යැයි ජනතාව මෙහිදී පැවසීය.”

මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ ජනතාවට බෙදාදීමට තිබූ සහල් තොගවල ආරක්ෂාවට සිටි පුද්ගලයාට ගෙවීම සඳහා ජනතාවගෙන් මෙලෙස මුදල් එකතු කර ලබාදී ඇති බවට වාර්තා වූ බවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා අදාළ නිලධාරීන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment