ට්‍රෝලර් නැවේ ටැංකියේ හැංගි රටෙන් පනින ක්‍රමය මෙන්න

3292

කුඩු ප්‍රවාහනය කරන්නෙත් එහෙමයි!

දවස් 15 ක් මුහුදේ ඉඳලා සාලයෝ කිලෝ එකක් අරන් ගෙදර යනවා

ශ්‍රී ලාංකික සංක්‍රමිකයන් සිය දෙනකු රැගෙන නීතිවිරෝධීව ඔස්ටේ්‍රලියාව බලා යාත්‍රා කරමින් තිබූ බහුදින යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට.. මේ සඳහන් කෙරුණේ මීට වසර පහළවකට පමණ ඉහත කාලයේ අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබුණු මාධ්‍ය මගින් නිතර වාර්තා කළ පුවතකි.

අද සමහර දියුණු විදේශීය රටවල පුරවැසිභාවය ලබා ජීවත් වන එකල නාවික හමුදාවේ රාජකාරි කළ ඇතැම් නාවික හමුදා නිලධාරීන්ගේද සහායෙන් ක්‍රියාත්මක වූ මෙම මහා මිනිස් ජාවාරම මේ වන විට පැහැදිලිවම පාලනය වී තිබෙන්නකි. එහෙත් ඉතා කලාතුරකින් එය තවමත් සිදුවෙමින් ඇත.

එදා මෙකී ජාවාරමට අනුව බොහෝවිට විදේශීය රටවලට පලා ගියෝ උතුරේ දෙමළ වැසියෝ වූහ. හිටපු කොටි සාමාජිකයන් මෙන්ම කොටි හිතවාදීහු ඒ අතර වූහ.

වසර ගණනාවක ඉතිහාසයක් ඇති මෙරට මිනිස් ජාවාරම පිළිබඳ කතාව එසේ වෙද්දී අද දවසේ බහුදින ධීවර යාත්‍රා සම්බන්ධයෙන් වැඩි වශයෙන් කියැවෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකාව ඉලක්ක කර මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන හෙරොයින් මත්කුඩු ජාවාරම්ය.

පසුගිය මාස කිහිපය තුළ නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව සිදු කරනු ලැබූ මෙහෙයුම්වලදී එවැනි ධීවර යාත්‍රා ගණනාවක් ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිදී අත්අඩංගුවට ගැනීමටද කටයුතු කරනු ලැබීය. එසේ හසුවූ ඇතැම් බහුදින යාත්‍රා විදේශීය ඒවාද විය.

මේ අන්දමට විවිධ මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ ඉත්තන් බවට පත්වූ ඇතැම් ධීවරයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් අද දවසේ බහුදින ධීවර යාත්‍රා යන්න පිළිබඳව මෙරට සමාජය තුළ පවතින්නේ අඳුරු සිතුවිලිය. යථාර්ථය නොදත් බොහෝ දෙනා එය දකින්නේ ජාවාරම්කරුවන් වෙනුවෙන්ම ඇති මෙවලමක් ලෙසින්ය.

එහෙත් රටේ ආර්ථිකයට පැහැදිලි දායකත්වයක් සපයන මෙරට ධීවර ප්‍රජාව දින ගණනාවක් අඛණ්ඩව මහ සයුර සමඟ පොර බදමින් රැකියාවේ යෙදීම සඳහා ගමන් කරන බහුදින ධීවර යාත්‍රාවේ යථාර්ථවාදී කතාව එවැනි අඳුරු වූ එකක්ද?

උතුරේ යුද ගිනි දැල් අද එහි නැත. දැන් සියල්ල සාමකාමීය. ඇතැම් බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් යළි යළිත් මතු කරමින් සිටියද උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව අතරේ සිංහල දෙමළ යනුවෙන් වූ ජාතිවාදයක්ද දැන් එහි ඇත්තේ නැත.

කුරිරු ත්‍රස්තවාදයේ තිස්වසරක ශාපයෙන් ගැලවුණු ඒ සාමකාමී බිමට පා තබමින් සාමාන්‍ය දෙමළ ජනතාවගේ ගම් නියම්ගම් පසුකරමින් දෙදිනක් පුරා යාපනය අද්ධද්වීපයේ අස්සක් මුල්ලක් නෑර ඇවිද යන්නට ඉකුත් දිනක අපි කටයුතු කළෙමු.

අතීතයේ කතාවට කියැවුණේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කාන්තාවකට වුව වස්තුව රැගෙන තනිව පාගමනින් යා හැකි වටපිටාවක් මේ රටේ තිබුණේ යැයි කියාය. අද නම් එවැනි දේ කිරීම කාන්තාවකට තබා පිරිමියකුටවත් නොහැකිය. ඒවා සුම්මාය. අද එසේ ගියහොත් ගෙදර යන්නට වන්නේ ඇඳිවතත් නැතිවය.

එහෙත් ඇත්ත කතාව එය වුවද මෙදා උතුරේ අවසන් බිම වූ යාපනය පුරා ඇවිද යෑමේදී මට නම් නිකමට මෙන් සිතුනේ උතුරේ මුහමලේ සිට හෝ පුනරීන් සිට යාපනයට ඇතුළු වීමෙන් පසු එවැනි ගමනක් යෑමට නොහැකිදැයි යන්නය. පවතින රැකවරණය එතරම්ම දැනෙන එකක් බවට පත්ව ඇත.

ඉතින් අපි ගියෙමු. ගමන් කළ වෑන් රථයේ ටයර්වලින් කර සුවඳ නැගෙන තුරුම එක එල්ලේ ඇති ඒ මාවත් දිගේ ගමන් කළ අපි අවසානයේ උතුරේ අවසන් භූමි සීමාව වූ පේදුරු තුඩුවට ළඟා වීමු.

ට්‍රෝලර් නැවේ ටැංකියේ හැංගි රටෙන් පනින ක්‍රමය මෙන්න
ට්‍රෝලරය පතුලේ ඇති විශාල ටැංකිය

පේදුරු තුඩුවේ ඉපැරණි ප්‍රදීපාගාරයට මඳක් ඉදිරියෙන් ඇති පේදුරු තුඩුව කුඩා ධීවර වරාය ඉස්මත්තේ සෙවනැති තැනක නතර කෙරුණු වෑන් රථයෙන් බැසගත් අප සිටියේ මහ සයුර සිසාරා එන සිසිල් සුළඟින් ගතට දැනෙන පහස සමඟ ඒ පරිසයේ සොඳුරු බව නෙතින් විඳ ගනිමිනි.

සෙමෙන් සෙමෙන් මහ සයුර ඔස්සේ පැමිණි බහුදින ධීවර යාත්‍රාවක් පේදුරුතුඩුව කුඩා ධීවර වරාය වෙත ළඟා වූයේ මේ අතරේදීය. යාත්‍රාව පැමිණ ධීවර වරායේ එක් අන්තයක නතර කිරීමෙන් පසු පැමිණි ලොරියකින් රැගෙන ආ දැවැන්ත අයිස් කුට්ටි තොගයක් කිහිප දෙනකු එක්ව එයට පටවන්නට වූහ.

ඒ සමඟම බහුදින ධීවර යාත්‍රා හා බුඳුණු බොහෝ අඳුරු කතා සිහියට නැගුණු මා ඒ වෙත ළඟා වූයේ එකී සියලු කතාවන්හි ඇති තතු හැකිතාක් අවබෝධ කරගන්නා අදහසිනි.

හේ නමින් සුසන්තය. යාත්‍රාවේ ප්‍රධානියා ඔහුය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිව සිටින සුසන්ත දෙදරු පියෙකි. යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් මේ යාත්‍රාවේ සුසන්ත සමඟ ධීවර කර්මාන්තය සඳහා දුර ඈත මහසයුර දක්වා ගමන් ගන්නා සෙසු පිරිස සිව්දෙනකි. හෙතෙම කී පරිදි ඒ සිව්දෙනා අතර විසිතුන් වියැති සුසන්තගේ පුතුද සිටී.

යාත්‍රාවේ මිනිසුන් සිටගන්නා තට්ටුවට පහතින් වූ තරමක් විශාල වූ ටැංකි ආකාරයෙන් සැකසුණු කුටීර හතරකින් සමන්විත එය තරමක් විශාල වූ එකකි. ඇතිවූ කෙටි පිළිසඳරකින් පසු සුසන්ත කළ ආරාධනයෙන් පේදුරුතුඩුව ධීවර ජැටියේ සිට යාත්‍රාවට ගොඩ වූ මා ඔහු සමඟ දිගු කතාබහකට මුල පිරුවේ සෙසු පිරිස තවදුරටත් එයට අයිස් කුට්ටි පටවමින් සිටියදීය.

ඒ වන විටත් ලොරියක් පුරවා රැගෙන ආ අයිස් කුට්ටිවලින් සෑහෙන ප්‍රමාණයක් එයට පටවා අවසන්ව තිබිණි. ‘ඉතිං සුසන්ත කොහොමද ජීවිතේ’

‘ඒ ගැන කියල වැඩක් නැහැ. අපි දැන් මේ බෝට්ටුවට අයිස් පටවන්නේ ආපහු මුහුදට යන්න. අද රෑට අපි පස්දෙනා පිටත් වෙනවා. අයිස්වලට අමතරව මාසයකට සෑහෙන්න ආහාර ද්‍රව්‍ය, වතුර, ඉන්ධන මේ හැමදේම බෝට්ටුවේ අරගෙන යනවා.

ඒත් දැන් ඉස්සර වගේ නෙමෙයි. ඒ දවස්වල අපි එක ගමනක් ගිහින් මාළු අරගෙන ආවහම කීයක් හරි ඉතුරුවක් අතට තිබුණා. ඒත් දැන් එහෙම නැහැ. ඉස්සර අපි දවස් පහළොවක විස්සක ගමනක් ගියොත් වියදම ගියේ රුපියල් ලක්‍ෂ හතරක් නැත්තන් පහක්. අද ඒ වියදම රුපියල් ලක්‍ෂ දහයක් විතර වෙලා.

එතැන් සිට ඔහු සිය ජීවිකාව ලෙස තෝරාගෙන ඇති මුහුදු රැකියාවේදී ලබන අත්දැකීම් රැසක් එකින් එක විස්තර කරන්නට විය. සැබවින්ම ඔවුන්ගේ ජීවිත කතාව ඉතාම කටුකය. දින ගණනාවක් මහ මුහුදේ රැඳී සිටියදී දැනෙන කුසගින්නට අහරක් පිස ගන්නා ඔවුන්ගේ මුළුතැන් ගෙය වී තිබෙන්නේද රැඳී සිටින යාත්‍රාවමය.

එසේම දින ගණනාවක් පුරා අඛණ්ඩව සිදු කරන රැකියාවේදී දැනෙන වෙහෙස නිවා ගනිමින් නින්දක් ලබන්නට ඔවුනට ඇත්තේ යාත්‍රාවේම දෙපස තට්ටු ආකාරයට නිමවී ඇති කොටස් දෙකකි. ඒ මත තබා ඇති ඇඳ ඇතිරිලි කොට්ට ආදිය ඔවුන් මහ සයුරේදී විඳින දුක්බර ජීවිතයේ සැබෑ කතාව මැනවින් පැහැදිලි කර දෙන්නේය.

යාත්‍රාවේ සුක්කානම අසලින්ම ගොඩබිම සමඟ සහ මුහුදේ ඇති සෙසු යාත්‍රා සමඟ පණිවිඩ හුවමාරු කරගන්නා යන්ත්‍රය පිහිටා ඇත. එය නවීණ තාක්‍ෂණය හා මුසු වූවකි. සුසන්ත කියන පරිදි අද දවසේ ශ්‍රී ලංකාවෙන් ඈත මුහුදට යන සියලුම බහුදින ධීවර යාත්‍රා ගමන් කරන සහ පවතින ස්ථානය හඳුනා ගැනීමට හැකි තාක්‍ෂණික උපකරණ ඒවායේ සිවිකර ඇත.

නවීන තාක්‍ෂණයෙන් යුතු රේඩාර් තිරයක්ද සහිත ඉහත කී පණිවිඩ හුවමාරු යන්ත්‍රය මගින් තමන් සිටින ඉසව්ව සිතියම ආධාරයෙන් නිවැරදිව දැන ගැනීමේ හැකියාවද අද මෙරටින් ධීවර කර්මාන්තය සඳහා පිටත්ව යන ධීවරයන්ට හිමිවී ඇත.

එකී තාක්‍ෂණය හමුවේ මුහුදේදී ඇතිවන හදිසි තත්වයකදී වුවද ගොඩබිම හා සම්බන්ධ වීමෙන් පසු නාවික හමුදාවේ සහාය කඩිනමින් ලබා ගැනීමේ හැකියාව පවතින බවද සුසන්ත පැහැදිලි කරන්නට වූයේ නාවික හමුදාව කෙරෙහි හදවත පුරා වූ ගෞරවාන්විත කෘතවේදීත්වයක්ද සමඟය.

එහෙත් ඔහු පවතින තාක්‍ෂණය පිළිබඳ එසේ පවසද්දී ඇතිවූ ගැටලුව නිසාම මා කළේ සැණෙකින් ඒ ප්‍රශ්නය ඔහුගෙන් විමසා සිටීමය.

‘ඉතින් සුසන්ත ඔයා කියන විදිහට ඒ තරම්ම තාක්‍ෂණයක් බහුදින යාත්‍රාවල තිබෙනවා නම් කොහොමද ධීවරයන් ඒවා යොදාගෙන මිනිස් ජාවාරම කරන්නේ. එයාල මොන විදිහටද හොරෙන් මිනිස්සු පටවගෙන වෙන රටවල්වලට ගමන් කරන්නේ.

මෙහෙමනේ මහත්තයා. ඉස්සර ඒවගේ දේවල් හරියට සිද්ධ වුණා. මම ඇස් දෙකට දැකල තිබෙනවා බෝට්ටුවල මාළු දාන්න තිබෙන විශාල ටැංකි ඇතුළේ පුටු විදිහට දිග බංකු ගහල මිනිස්සුන්ට ඉඳගෙන යන්න පුළුවං විදිහට ඒවා හදලා තිබුණු අවස්ථා. ඒ විතරක් නෙමෙයි ටැංකි ඇතුළේදී හුස්ම ගන්න පහසු වෙන්න ටැංකි හිල් කරල විශාල බට පවා දාල තිබ්බ බෝට්ටු තිබුණා.

හැබැයි ඒ ඉස්සර. දැන් ඒ සෙල්ලං දාන්න හරි අමාරුයි. අද ධීවරයෙක් මුහුදු යන්න කලින් ලියාපදිංචි වෙන්න ඕනේ. එහෙම කරද්දී ධීවරයට සිද්ධ වෙනවා ලියාපදංචි වෙන ස්ථානයේදී තමන්ගේ ජාතික හැඳුනුම්පත අතට අරගෙන පපුව ළඟට කිට්ටු කරන් ඡායාරූපයකට පෙනී සිටින්න.

ධීවරයන් ලියාපදිංචි කරන තැනකට ගිහින් ඒ විදිහට ඡායාරූපයකට පෙනී සිටිනවත් එක්කම ඔහුගේ සියලුම තොරතුරු කොළඹ මෙහෙයුම් පාලක මධ්‍යස්ථානයේ සටහන් වෙනවා. පරිගණක තාක්‍ෂණය මගින් ඒක සිද්ධ වෙන්නේ. අද එක රැයකදී ධීවරයන් ලක්‍ෂයක් මුහුදට ගියත් ඒ ගියේ කවුරු කවුරුද කියලා එක් එක්කෙනා වශයෙන් සියලුම තොරතුරු සටහන් වෙනවා.

ඒ විතරක් නෙමෙයි අද ධීවර යාත්‍රාවක් මුහුදට යනකොට ඒක ගමන් කරන්නේ කොහෙටද? යන්නේ කොයි පැත්තෙන්ද? නතර වෙන්නේ කොතැනද කියල පාලක මධ්‍යස්ථාන දන්නවා. ඒ නිසා ඉස්සර වගේ මිනිස් ජාවාරම වගේ දේවල් කරන්න හරි අමාරුයි. ඒත් ඉතිං මේ හැම දේකින්ම රිංගල යන අයත් ඉන්න පුළුවන්. එහෙම යන්න ගියත් හුඟක් වෙලාවට ඔවුන්ව නාවික හමුදාවට අහු වෙනවා.

එහෙම දෙයක් වුණ වෙලාවට සමහරවිට නාවික හමුදාව ඇවිත් අපේ බෝට්ටු පවා පරීක්‍ෂා කරන අවස්ථා තිබෙනවා. ඒක රස්සාවට කරදරයක් වුණත් කරන්න දෙයක් නැහැ. අපේම අයගේ වැරදි නිසයි නීතිගරුක ධීවරයන් ඒ වගේ දුෂ්කරතාවලට මුහුණ දෙන්නේ.

මේ මිනිස් ජාවාරමට එහා යමින් අද බහුදින යාත්‍රාවලට එල්ල වන විශාලම චෝදනාව වී තිබෙන්නේ ඒවා මගින් හෙරොයින් මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ආදිය මෙරටට ළඟා වීමේ සිදුවීම්ය. පොලිසිය හා නාවික හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ කොතෙක් මෙහෙයුම් සිදු කළත් මාස දෙක තුනකට වතාවක් එවැනි යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙන්නකි.

එය සිදු වන්නේ කෙසේද? වාර්තා වන අන්දමට එසේ ජාවාරම්වලට යොමු වන්නේ සුසන්තලා වැනි ධීවරයන් ගමන් ගන්නා සාමාන්‍ය ප්‍රමාණයේ බහුදින යාත්‍රා නොව ඊට වඩා විශාල ප්‍රමාණයේ ඒවාය.

ධීවරයන් අතර එකී යාත්‍රා හැඳින් වෙන්නේ දූපත් රස්සාවේ යන යාත්‍රා ලෙසිනි. මේ දූපත් රස්සාවේ යනවා යැයි සඳහන් කෙරෙන්නේ එකී විශාල බහුදින යාත්‍රා ධීවර කර්මාන්තය සඳහා ජාත්‍යන්තර මුහුදු සීමාවද ඉක්මවා ගමන් කරන බැවිනි.

එසේ ගමන් කරන යාත්‍රාවකට බොහෝ අවස්ථාවල හෙරොයින් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් පැටවෙන්නේ පාකිස්තානය හා ඇෆ්ගනිස්තාන මුහුදු සීමාවන්හිදීය. එසේ මත්ද්‍රව්‍ය තොග පැටවීමෙන් පසු ධීවර රැකියාවේද යෙදී යළි ශ්‍රී ලංකාව බලා ගමන් කරන එම යාත්‍රා මත්ස්‍ය අස්වැන්න මෙරටට රැගෙන එන්නේ කුඩු අස්වැන්නද සමඟය.

අද ඈත දියඹේ ධීවර රැකියාව සඳහා ගමන් කරන බොහෝ නීතිගරුක ධීවරයන් සඳහන් කරන පරිදි එවැනි දූපත් රස්සාවේ යන බහුදින යාත්‍රාවක් ආරක්‍ෂක අංශවල ඇස නොගැටී යම් ආකාරයකින් ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකරමින් මෙරට සීමාවට ඇතුළු වුවහොත් සිදුවන්නේ අතර මඟදී දූපත් රස්සාවේ ගිය බහුදින යාත්‍රාවේ ඇති මත්ද්‍රව්‍ය තොග කොටස් වශයෙන් ඩිංගි යාත්‍රාවලට පැටවීමය.

එසේ කුඩු හෝ මත්ද්‍රව්‍ය තොග පැටවෙන කුඩා ඩිංගි යාත්‍රාවල ගමනාන්තය එක් තැනකදී සිදු නොවන අතර ඒවා ගමන් කරනුයේ රටේ විවිධ ධීවර වරායන් දක්වාය. යම් ආකාරයකින් දූපත් රස්සාවේ යන බහුදින යාත්‍රාවකින් රැගෙන එන මත්ද්‍රව්‍ය තොගයක් ආරක්‍ෂක අංශ දැලෙන් රිංගා ගියහොත් එකී මත්ද්‍රව්‍ය තොගය එක් තැනකින් ගොඩබිමට රැගෙන ඒමකින් තොරව මුහුදේදීම රටවටා බෙදා හැරීමට ජාවරම්කරුවන් ක්‍රියා කරනුයේ එලෙසින් බව මහසයුර සමඟ ඔට්ටුවන නීතිගරුක ධීවරයෝ සඳහන් කරන්නාහ.

මේ වන විට මෙසේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉත්තන් ලෙස බොහෝ දුරට දූපත් රැකියාවේ යන මුවාවෙන් බහුදින ධීවර යාත්‍රා ජාත්‍යන්තර මුහුද ඉක්මවා ගමන් කරන්නේ දෙවුන්දර, කුඩාවැල්ල, මීගමුව, උඩප්පුව, ගාල්ල, මිදිගම, හලාවත, කල්පිටිය ආදී ප්‍රදේශවල සිට බවද අනාවරණය වී තිබෙන්නකි.

ධීවර ප්‍රජාවේ කොටසක් කිසියම් තත්ත්වයක් හමුවේ එසේ විවිධ ජාවාරම්කරුවන්ගේ ඉත්තන් වෙද්දී අද සුසන්තලා වැනි දහස් ගණනක් වූ නීතිගරුක ධීවරයන්ගේ ජීවිත ඉදිරියට එන දුෂ්කරතා මෙවන් දේට පමණක් සීමා වී තිබෙන්නක්ද?

නැත. පවතින ආර්ථික සහ සමාජ තත්ත්වයන් සේම රාජ්‍ය ආයතනවල අඩුපාඩු නිසා ඔවුන් මුහුණ දෙන ගැටලු බොහෝය.

මහත්තයෝ ඉස්සර අපි මුහුදු රස්සාවට ගිහින් මාළු අරගෙන ගොඩට එනකොට මාළුවලට නියම මිලක් ධීවර සංස්ථාව මගින් ප්‍රකාශ කරනවා. ඒ ඒ මත්ස්‍ය වර්ගවල මිල මේකයි කියලා ධීවර සංස්ථාව ප්‍රකාශ කරනවා. එකෙන් ධීවරයට විශාල සහනයක් අත්වුණා. ධීවරයා අතරමැදියන්ට අහුවුණේ නැහැ.

එහෙත් අද ධීවර සංස්ථාව ඒ වගකීම පැහැර හැරල තියෙන්නේ. දවස් ගණන් දහදුක් විඳල අපි මාළු ටික අරගෙන ගොඩට එනකොට වෙළෙන්දා තමයි මාළුවලට මිල තීරණය කරන්නේ. එතනදී අපේ දහඩිය මහන්සිය, විඳින දුෂ්කරතා ගැන මායිම් කිරිල්ලක් සිදු වෙන්නෙම නැහැ. සාධාරණව කටයුතු කර අයත් ඉන්නවා. ඒත් වැඩි හරියක් ඉන්නේ කුණු කොල්ලෙට මාළු ටික අරගෙන ලොකු ලාභයක් උපයා ගන්න අය.

අපෙන් තුට්ටු දෙකට මාළු ටික ගන්න මුදලාලිලා අන්තිමට ඒවා වෙළෙඳ පොළට යවන්නේ කිලෝ එකක වටිනාකම රුපියල් දෙදහාක් තුන්දාහක් කරලා. මේ දවස්වල රටේ මාළු මිල ඉහළ යන්න ප්‍රධානම හේතුව මේක. ඒත් ඒව ගැන හොයලා බලන්න කෙනෙක් නැහැ.

මහත්තයට කියන්න මේ පාර රුපියල් ලක්‍ෂ විසිඑකක මාළු මායි අනිත් කට්ටියයි ගොඩට ගෙනාවා. ලක්‍ෂ විසි එකෙන් එකොළහක්ම වියදම් සල්ලි. ඉතිරි ලක්‍ෂ දහයෙන් ලක්‍ෂ පහක් බෝට්ටුව අයිති මුදලාලිට දෙන්න ඕනේ. ඉතිරි ලක්‍ෂ පහ තමයි අපි අතරේ බෙදුණේ.

මාසයක් මුහුදු ගිහිල්ලා විඳින්න ඕන හැම දුකක්ම විඳලා ගොඩට ආවහම ඉතිරි වුණේ එච්චරයි. මේ පාර අපි යාපනයෙන් ගොඩට ඇවිත් මාළු ටික විකුණලා බෝට්ටුව දාල මම යාපනයේ ඉඳන් බස් එකේ ත්‍රිකුණාමලයේ ගෙදරට ආවා. ඒ එන ගමන් ගෙදර දරුවන්ට කන්න දෙන්න මාළු ටිකක් ගන්න ත්‍රිකුණාමලේ මාකට් එකට ගියා.

කිව්වට විශ්වාස කරන්න. ලක්‍ෂ විසිඑකක මාළු ගොඩට අරන් ඇවිත් ගෙදර යන්න ආපු මම දරුවන්ට කන්න දෙන්න ත්‍රිකුණාමලය මාර්කට් එකෙන් හුරුල්ලෝ කිලෝ එකක් ගත්තේ රුපියල් දාහකට. අද රටේ තිබෙන මාළු මාෆියා එක ගැන කියන්න තවත් උදාහරණ ඕනේ නැහැනේ.

පේදුරුතුඩුවේදී අපට හමුවූ සුසන්ත මෙවර මුහුදට ගොස් යළි පැමිණීමෙන් පසුව ඇතිවූ කතා බහකදී ධීවරයන් ගොඩට ගෙන එන මාළුවලට නිසි මිලක් නියම කරන්නට වගකිවයුත්තකු නැති වීමෙන් අද ධීවරයා දුෂ්කරතා රාශියකට මුහුණ දී සිටියදී රටේ මාළු මිල පාලනය කරනු ලබන සල්ලකාර මාෆියාවක් විසින් ධීවරයා මෙන්ම පාරිභෝගික ජනතාවද සූරාකන අන්දම පෙන්වා දුන්නේ එසේය.

සුසන්ත කියන පරිදි එක්වරක් රැකියාව සඳහා ඔවුන් මහ සාගරයට යෑමේදී රැගෙන යන ඉන්ධන ප්‍රමාණය ලීටර් 3500 ක් පමණ වන්නකි. අද දවසේ ඔවුන් මුහුණ දෙන ඊළඟ බරපතළම ගැටලුව බවට පත්ව තිබෙන්නේ ඉන්ධන මිලේ තත්ත්වයය.

ධීවරයන් වෙනුවෙන් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නට රජය කටයුතු කරන්නේ නම් එය සමස්ත ධීවර ප්‍රජාවට මහා අස්වැසිල්ලක් වනු ඇතැයි ඔහු කියන්නේය. හෙතෙම ඒ ටික සඳහන් කරනු ලැබුවේ රටේ බඩු මිලේ ඉහළ යෑම හමුවේ රැකියාවට ගොස් මාසයක පමණ කාලයක් මහ සයුරේ ජීවිතය ගත කරන ධීවරයන් ආහාර සඳහා ගෙන යන වියළි ආහාර වෙනුවෙන් වෙනදාට වඩා එකට තුන්ගුණයක මිලක් ගෙවීමට සිදුව තිබීමේ තත්ත්වයද සිහිපත් කරමිනි.

මේ සියල්ල පවසන අතරේ රටේ බලධාරීන් හොරට නිදාගෙන සිටියදී මේ වන විට සමස්ත ධීවරයන්ට රැකියාව අහිමි වන පරිද්දෙන් මහා පරිමාණයෙන් සිදුවන තවත් භයානක දෙයක් පිළිබඳවද හෙළිදරව්වක් කරනු ලැබීය. ඔහු කී ඒ කතාව අසා සිටියදී අපට හැඟී ගියේ අද මේ රට පාලනය කරන්නකු නොමැතිදැයි යන්නය.

මහත්තයෝ. මේ වෙනකොට මුහුදේ සිද්ධ වෙන කෝස් දැල් ජාවාරම මහා විශාල එකක් බවට පත්වෙලා ඉවරයි. ඒත් ඒක නතර කරවන්න කිසිම බලධාරියෙක් නැහැ. ඒකට හේතුව වෙලා තිබෙන්නේ මේ කෝස් දැල් ජාවාරමේ මහ මොළකරුවන් විදිහට විවිධ දේශපාලනඥයන් ක්‍රියාත්මක වීම.

මේ විනාශය තව ටික කාලයක් සිද්ධ වුණොත් කුඩා යාත්‍රාවකින් මුහුදට ගිහින් දවසේ රස්සාවේ යෙදෙන ධීවරයන්ට වෙන්නේ වහ කන්න. මොකද ඔවුන්ට මුහුදෙන් අල්ල ගන්න මාළු නැත්තටම නැති වෙනවා. ඔවුන්ට විතරක් නෙවෙයි. කාලයත් එක්ක ඒක මුළු රටටම බලපාන ගැටලුවක් වෙන දවස වැඩි ඈතක නැහැ. බහුදින යාත්‍රාවල යන ධිවරයන්ටත් මාලු නැතිවෙයි.

ලංකාව වටේට මුහුදු තිබුණට මේ කාලකණ්ණි වැඩේ තවත් සිද්ධ වුණොත් අපිට ඉතිරි වෙන්නේ මාළු නැති වතුර විතරක් තිබෙන මහුදක් විතරයි. මේ ගැන කොච්චර කිව්වත් බලධාරීන් කවුරුවත් ඒක නතර කරන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ දැලක් දැම්මහම ලොකු මාළුවන්ගේ ඉඳන් පැටව් බිත්තර වගේ හැම දේම දැලේ පැටලෙනවා. එකේන් මාළු බෝවෙන එක නතර වෙනවා. එහෙම වුණොත් අපි ජීවත් වෙන්නේ කොහොමද?

මේ රටේ වැඩ සිද්ධ වෙන්නේ එහෙම වුණාට අපිට ළඟින්ම තිබෙන රට ඉන්දියාවේ වෙන්නේ මොකක්ද දන්නවද? මාළු පැටව් දාන, බිත්තර දාන කාලයට ඒ ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ යෙදෙන එක ඉන්දියාව ධීවරයන්ට තහනම් කරලා තිබෙන්නේ. ඒ තහනම් කිරීම අපේ වගේ වචනවලට සීමා වෙලා තිබෙන දේවල් නෙමේ. තහනම් නම් තහනම්ම තමයි. ආයි කාටවත් එකට පිටින් වැඩ කරන්න බැහැ.

ඒකට ලංකාව. ඒ ගැන කතා කරල වැඩක් නැහැ. අද අපේ අය මේ රට විතරක් නෙමෙයි මහත්තයෝ. රට වටේට තිබෙන මුහුදත් හූරගෙනම කනවා. කිසිම හිතක් පපුවක් නැති විදිහට හැමදේම කරන්නේ. මේ රට කරවන වගකිවයුතු අයට ඕනවෙලා තියෙන්නේ රටේ ජනතාව ජීවත් වෙනවට වැඩිය කරකියා ගන්න දෙයක් නැතිව මැරෙනවා දකින්න වෙන්න ඇති. නැත්නම් ඉතින් මෙහෙම වෙන්න බැහැනේ.

කියලා වැඩක් නැහැ මහත්තයෝ මේක මහ පුදුම රටක්.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment