සිළුමිණ පුණර්ජීවනය කළ කුරුවිට බණ්ඩාර

310

අපට සිටින ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන් අතර ජන සම්භාවනාවට පත් පුවත්පත් කලාවේදීන් සිටින්නේ ඉතා අල්පයකි. තිලකරත්න කුරුවිට බණ්ඩාර යනු ඒ අතරින් ජීවත්ව සිටින පුවත්පත් කලාවේදියකු මෙන්ම සාහිත්‍යධරයකුද වේ. ඔහුගේ සයදශකාධික සාහිත පුවත්පත් කලා මෙහෙවර ඇගයීමට ලක්කිරීමට සිතක් උපදීමද මේ ක්‍ෂේත්‍රයේ නියැලෙන කාගෙත් සොම්නසට හේතුවකි. කෙනෙකු ජීවත්ව සිටියදී ලබන එම ගෞරවයේ වටිනාකමේ බර ඔහු එම ක්‍ෂේත්‍රයට කළ මෙහෙවර තරම්ම බර වටිනාමක් තිබේ යැයි අපට සිතේ. මේ ලිපියෙන් සංක්‍ෂිප්තව දිගහැරෙන්නේ කුරුවිට බණ්ඩාරයන් කළ ඒ අගනා මෙහෙවරෙන් බිඳකි. දශක සයකට වඩා පැරණි එම අතීතය ඇරඹෙන්නෙ මෙලෙසිනි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු එහි පැවැති මාධ්‍ය ස්වාධීනත්වය බිඳ වැටීමත්, ඒ හේතුවෙන් සිළුමිණ ඇතුළු ලේක්හවුස් පත්තර ක්‍රමයෙන් පාඨක අවධානයෙන් ගිලිහීමත් මෙරට පුවත්පත් ලෝකයට රහසක් නොවේ. එසේ පාඨකයාගෙන් ඈත්වෙමින් පැවැති ලේක්හවුසියේ ප්‍රධාන සිංහල පුවත්පත වන සිළුමිණ යළිත් සිංහල පාඨකයාට සමීප කරවීමට හැකි වූයේ එහි මුල් පුටුවට පැමිණි සාහිත්‍යධරයකුගේ මාධ්‍ය භාවිත හේතුවෙනි. කවියකු හා කෙටිකතාකරුවකු ද වන මේ කතුවරයා තිලකරත්න කුරුවිට බණ්ඩාරයෝ වෙති. ඔහු එතෙක් ‘සිළුමිණ’ කෙරෙහි ජනතාව තුළ මුල් බැසගෙන පැවැති දුර්මත පහකොට එය හරසාර, බරසාර සංවාදශීලී පුවත්පතක් ලෙස පාඨක අවධානයට පාත්‍ර කිරීමේ සූර ප්‍රයත්නයක නියැළුණේය.

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් එහි සිප් සතර හදාරන සමයේ දීම සාහිත්‍යකරණයේ නියැළී සමකාලීන සිසුන් අතර කැපී පෙනුණු අයකු විය. ආචාර්ය අජන්තා රණසිංහ, කරුණාරත්න අමරසිංහ සහ රංජිත් පලන්සූරිය වැනි අද සාහිත්‍ය කලාවේ නම් දරා සිටින්නවුන් එදා පාසල් සමයේ කුරුවිට බණ්ඩාරගේ සමකාලීනයෝ වූහ. ඔවුන් සමග එකතුව කුරුවිට බණ්ඩාර සිසුවාගේ සංස්කරණයෙන් විද්‍යාලයීය සිසුන් ගුරුවරුන් අතට පත් කළ ‘කලා පුබුදුව’ සඟරාව සිසු අවධියේ සිටම සාහිත්‍ය කලාව කෙරෙහි ඔහු ගේ නැඹුරුව මොනවට කියා පෑමක් වැන්න. එවකට සිළුමිණේ කතුවරයා වූ ජී. එස්. පෙරේරාගේ පුත් විමලසිරි පෙරේරා මහතා මෙකී සඟරාව අලලා සිළුමිණේ පළ කළ කෙටි විචාරයක දී මෙසේ සටහන් තබා තිබිණි.

‘මේ සඟරාව සංස්කරණය කළ ශිෂ්‍යයා අතින් උසස් මට්ටමේ සංස්කාරවරයකු බලාපොරොත්තු විය හැකිය.’

ළමා කාලයේ කුරුවිට බණ්ඩාරයන් ගේ සාහිත්‍ය ක්‍රියාකාරකම් කලා පුබුදුව සඟරාවට පමණක් සීමා නොවීය. විද්‍යාලයේ පැවැති සාහිත්‍ය කලා ක්‍රියාකාරකම්වලදී ඔහුගේ නියෝජනය කැපී පෙනෙන්නක් විය. එසේම මේ කාලයේ දී ඔහු තම පවුලේ සහෝදර සහෝදරියන් සමග එක්ව ‘අපි ඔක්කොම’ නමින් කුඩා පොත් පිංචක් ප්‍රකාශයට පත් කළේය. එකම පවුලේ සහෝදර සහෝදරියන් එක්ව කළ මේ ව්‍යායාමය එදා සාහිත්‍ය ලෝකයේ කාගේත් ප්‍රසාදයට හේතු වූවා පමණක් නොව එය පුවත්පත් ලෝකයට පුවත් මවන සිදුවීමක් ද විය. පසු කලෙක ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ධුරය හෙබවූ එල්. ඒ. සමරරත්නයන් සමග සිසිර කුමාර මානික්කආරච්චි මහතා මේ පුවත අලලා ජනතා පත්‍රයට ‘පොත පත ලියන්නට උපන් පවුලක්’ යන ශීර්ෂයෙන් ලිපියක් පළ කරන්නේ ඒ අනුවය.

කුඩා කාලයේ දීම කුරුවිට බණ්ඩාරයන් ලියන කියන විෂයට හුරු වූයේ සහේතුකවය. ඒ පිටුපස සිටි මහා බලවේගය වූයේ ඒ වනවිට ලේඛකයකු හා සිංහල භාෂා ගුරුවරයකු ලෙස ප්‍රසාදයක් දිනාගෙන සිටි කේ. ජී. කරුණාතිලක සහ ගුණදාස පෙරේරා වැනි ඇදුරන්ය. ශාන්ත ජෝන් විද්‍යාලයේ සිසුනට හෙළ බස කියා දුන් මේ විද්වත්හු තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සතු නිධන්ගත සාහිත්‍ය කලා රසාස්වාදයේ උල්පත් සිදුරු කළ ඇදුරාණෝ වූහ.

මෙසේ පාසල් අවධියේ සිටම පොත්පත් සඟරා කළ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ට ප්‍රසිද්ධ පුවත්පත් කලාව සමග එක්වීමේ අවකාශ හිමිවන්නේ 1966 වසරේ දීය. ඒ ඔහුගේ ‘අපි ඔක්කොම’ නමැති පොත් පිංචය පිළිබඳ ජනතා පත්‍රයේ පළවූ ලිපියෙන් මසකට පමණ පසුවයි. එදා ඔහු ලේක්හවුසියට බඳවා ගැනීම සඳහා ඔහුගේ සිංහල භාෂා ඥානය පිළිබඳ පරීක්‍ෂා කර ඇත්තේ ‘අපි ඔක්කොම’ පොත පිළිබඳ ජනතා පත්‍රයට ලිපිය සම්පාදනය කළ සිසිර කුමාර මානික්කආරච්චි මහතාමය. දෛවෝපගත සිදුවීමක් වැනි එම පරීක්‍ෂණයෙන් පසු රුපියල් 200යේ වැටුපකට දිනමිණ පත්‍රයේ උපකතු මඬුල්ලට එක්වන ඔහු එයින් ජාතික පුවත්පත් කලාව තුළ සිය පන්හිඳ හැසිරවීමේ භාග්‍ය උදාකර ගනී. එහෙත් තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් රචිත ලිපියක් හෝ කවියක් මුල් වරට පුවත්පතක පළව ඇත්තේ ඔහු ලේක්හවුසියට සම්බන්ධ වීමටත් පෙරය. ඒ. ඩී. බී. ධනපාල සූරීන් ටයිම්ස් ආයතනයෙන් ඉවත්ව සිටි සමයේ බොරැල්ල චැතම් හවුස් ගොඩනැඟිල්ලේ දී ප්‍රකාශයට පත් කළ දිවයින පුවත්පතේය. ‘සමන් ගිරි කුළ’ යන හිසින් පළව තිබූ කවි පන්තියක් වූ එම කවි පන්තියේ කොටසකි මේ.

ඈත මීදුම් පටල විනිවිද
සමන් ගිරිකුළ පෙනෙනවා
නීල අහසේ සේල පැටලී
හිරුගෙ රැස් වැද දිලෙනවා

තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ලේක්හවුසියට සම්බන්ධ වී එහි උණුසුම යෑමට මත්තෙන් එස්මන්ඩ් වික්‍රමසිංහ කළ ආරාධනයකට අනුව වීරකේශවරී සමාගම කළ ‘ලස්සන’ පත්‍රයේ කතු මඬුල්ල හා සම්බන්ධ වේ. එහිදී ඔහු කලාව පිළිබඳ ලියූ ලිපි එම ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වන අතර අද කලා ක්‍ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨ චරිත රැසක් ඔහුගේ ලිපි තුළින් ප්‍රතිමූර්තිමත් වේ. ඉනික්බිතිව හැත්තෑව වසරේ නොවැම්බර් 11 වැනිදා ඔහු යළිත් උපකතුවරයකු ලෙස ලේක්හවුසියේ කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වේ. ඉන් විසි වසරක් යනතුරුම ඔහු උපකර්තෘ අංශයේ විවිධ තනතුරු හොබවමින් පුවත්පතේ තිරය පිටුපස සිට විශාල මෙහෙවරයක් ඉටු කරයි.

දක්ෂ පුවත්පත් කලාවේදියකු, උපකතු මඬුල්ලට හිරවීම පුවත්පත් කලාවේදියකුට හිමිවන නරකම දඬුවම බව මම සිතමි. මන්ද යත් එතැනට හිරවන බොහෝ දෙනෙක් ඒ කාර්යයේ නියැළී සිටිනවා විනා තම ලේඛන හැකියාවන් ඔප්නංවා ගැනීමට උත්සුක නොවේ. බොහෝවිට උපකතුවරුන් සංස්කරණය කරන පිටුවල ඔවුන්ගේ නම පළවීම විරල බැවින් පුවත්පත් කලාවේදියකු ලෙස ඔවුන්ට නමක් ද ඇති නොවේ. එහෙත් තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් මේ කාරණය අතැඹුලක් සේ දැන ඒ අභියෝගයට කදිම ලෙස පිළිතුරු දුන්නෙකි. ඔහු දිනමිණ උපකතු මඬුල්ලේ සේවය කරන අතරතුරේ දීම නවයුගය, ජනතා, සිළුමිණ ආදී පත්‍රවලට ලිපි ලියමින් ඔහුගේ විපුල හැකියාවන් මනා ලෙස ප්‍රයෝජනයට ගත්තෙකි. මෙසේ උපකතුවරයකු ලෙස සිටිය ද ලේඛකයකු ලෙස නමක් දිනා සිටි තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ට සිළුමිණ කතුකම ලැබීමට බලපෑ එක් හේතුවක් වන්නේ ද එයයි.

තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් 1990 වසරේ සිළුමිණ මුල් පිටුවට පැමිණෙන යුගය ද මේ රටේ විශේෂිත කාල පරිච්ඡේදයකි. ඒ වනවිට රටේ ආණ්ඩු කළ යූ. ඇන්. පී. පාලනයෙන් හෙම්බත්ව සිටි ජනතාව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි පැවැතියේ කලකිරීමක් බව නොරහසකි. සියල්ල දේශපාලනීකරණය වූ සමයක ලේක්හවුස් පත්තර කෙරෙහි ද ජනතාව ඒ වනවිට විශ්වාසයක් තබා නොතිබිණි. තිලකරත්න බණ්ඩාරයන් මේ අභියෝගය ජය ගත්තේ සිළුමිණ පාඨකයාට සමීප කරවමිනි. ඔහුගේ කතුකම යටතේ සිළුමිණ පුවත්පතේ අලෙවිය යළිත් ලක්ෂ තුන ඉක්මවා තිබේ. මේ අනුව තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ඉතිහාසයට එකතු වන්නේ හැත්තෑව හා අසූව දශකයෙන් පසු සිළුමිණ යළි පුනර්ජීවනය කළ කතුවරයකු ලෙසිනි. එහෙත් ඉන් සිව් වසරකට පසු රටේ සිදුවන දේශපාලන මාරුවත් සමග කුරුවිට බණ්ඩාරයන්ට සිළුමිණේ කතුකම අහිමි වේ. මෙරට ජරාජීර්ණ දේශපාලන ප්‍රතිපත්තිවල එක් පිළිබිඹුවක් වන එම සිදුවීම පුවත්පත් කලාවේ බොහෝ දෙනකුගේ විවේචනයට පාත්‍ර වේ. අනතුරුව සරසවිය පත්‍රයේ කතුවරයා වයන ඔහු සිය පත්‍ර කලා භාවිතය ප්‍රයෝජනයට ගනිමින් එහි උන්නතියට සැලකිය යුතු මෙහෙයක් ඉටු කළේය. විශේෂයෙන් ඔහුගේ කාලයේ සිදුකළ සරසවි සිනමා සම්මාන ප්‍රදානය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. සම්ප්‍රදායට නොව සුදුස්සාට සම්මාන ලබාදීම ඔහුගේ කාලයේ දැකිය හැකි එක් ලක්‍ෂණයකි. ලාංකීය සිනමාවේ ප්‍රතාපවත් නළු ගාමිණී ෆොන්සේකා පරදා මී හරකා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ලින්ටන් සේමගේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීම එයට එක් නිදසුනක් පමණි.

තිස් වසරකට වඩා වැඩි කලක් ලේක්හවුස් මහගෙදර පත්තර රස්සාව කළ මේ පුවත්පත් කලාවේදියා 2000 වසරේ යළිත් සිළුමිණේ සම කතුවරයා වී 2002 වසරේ එහි ප්‍රධාන කතුවරයා බවට පත්ව ලේක්හවුසියෙන් විශ්‍රාම ලබයි. ඉන් අනතුරුව ‘ඉරුදින’ පත්‍රයට සම්බන්ධ වන ඔහු එම පත්‍රයේ විශේෂාංග කතුවරයා ලෙස එහි පළවන ලිපි වඩා උස් තලයකට රැගෙන ඒමට සමත් වේ. විශේෂයෙන් දේශපාලන අන්තවාදී පුවත්පතක් ලෙස සැලකෙන ඉරුදිනේ ඔහුගේ සංස්කරණයෙන් පළ වූ විශේෂාංග ලිපි නිර්දේශපාලනීකරණය වීම ඔහුගේ පුවත්පත් කලා භාවිතයේ කදිම පුරුෂාර්ථයකි. පසුව 2006 වසරේ දී ‘මව්බිම’ පුවත්පත ආරම්භ කරමින් එහි කතුවරයා ලෙස කටයුතු කරන තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ජාතික පුවත්පතක් ලෙස එය ශීඝ්‍ර දියුණුවට ලක්කිරීමේ ප්‍රශංසනීය ව්‍යායාමයක යෙදේ. එහෙත් ඔහුටත් හොරා අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයන් ඒ තුළින් ජනතාකරණය කිරීම නිසා ඇතිකරගන්නා ගැටුම් මත එක් වතාවක දී කුරුවිට බණ්ඩාරයන් තම කාර්යාලයීය බෑගය ද රැගෙන මව්බිමෙන් එළියට බසී. ඉන් ටික කාලයකට පසු රාජ්‍ය විරෝධී පත්‍ර කලාවේ නියැළීම මත මව්බිම පුවත්පතට සීල් තබයි. ඉක්බිතිව ටික කලක් නිහඬව සිටින මෙම පුවත්පත් කලාවේදියා 2008 වසරේ ඇරඹි සියත පුවත්පතේ කතුවරයා වේ.

මේ වනවිටත් සිය පුවත්පත් කලා මෙහෙවර සිදුකරන මේ පුවත්පත් කලාවේදියා ගේ පුවත්පත් කලා භාවිතයේ දැකිය හැකි ලකුණ නම් ඔහු ශාස්ත්‍රීය පුවත්පත් කලාවකට බර වීමයි. නවකතා හා කෙටිකතාකරුවකු පමණක් නොව කවියකු ද වන ඔහුගේ මේ නැඹුරුව සහේතුකයි. ඔහුගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය කවියයි. නිල්ල දකින්නයි, ඉකුත් වත, අසිරිමත් වූ දෙයකි මේ ලොව, ප්‍රේමය නමිනා, ජීවිතය බෙහෙවින් ඛේදජනකය, දෙවියෝ තැතිගෙන මහපොළොවට එති ආදී ඔහු විසින් විරචිත කාව්‍ය ග්‍රන්ථ ඔහුගේ කවිකමට ප්‍රබල සාක්ෂි වේ. දෙවියෝ තැතිගෙන මහ පොළොවට එති කෘතියෙන් උපුටාගත් මතු දැක්වෙන කවි පෙළින් මේ ලිපිය නිම කරන්නේ ඒ කවිකමට කරන ගරු බුහුමනක් වශයෙනි.

අගිල් කපුරු හරි චන්දන දීප දූප දී
සුගන්ධයෙන් නන්දිත වී
දෙරණත පෙරළී
නුබ ගැබ වාසී
කෙළ සුවහසක් දෙවියන්ගෙන්
පිහිට පතන විට
සඳ විජයෙන් ජයගත්
ආම්ස්ට්‍රෝන්ගේ
පාරොන් හිසින් රැගෙන
දෙවියොත් එති, මහපොළොවට
සාදු නාද පවත්වමින්
මානවයන් හට නමස්කාර කොට
විශ්ව විනාශය වළකාලන ලෙස
අයැද සිටීමට

● තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment