තැවුල් සිත

මට අම්මා ගැන ලියන්න හිතුණා. ලියන්න පෑනයි කඩදහි ටිකයි අතට ගත්තාට පස්සෙ මට අම්මා ගැන ලියන්න බැරි බව තේරුණා. ලියන්න කල්පනා කරන තරමට මං මහා නරුමයෙක් කියල මට දැනුණෙ. අම්මා ඉන්නෙ ලෙඩ ඇඳේ. අම්මා වාත අමාරුවෙන් පීඩා විඳිනවා. අම්මාගෙ දණිස් පොල්කටුවල වතුර. ඈට ඇවිදින්න බෑ. වැඩි වෙලා කථා කරන්නත් බෑ ඈට. පපුවේ අමාරුව උග්‍රයි. ලියන එක නෙවෙයි කරන්න ඕන මං. බේත් ටිකක් ගෙනත් දෙන එක ඈට. දොස්තර කෙනෙක් චැනල් කරවලා ඈව බලවන එක. ඒත් ඒවා කරන්න පුළුවන් දේ නෙවෙයි. කරන්න පුළුවන් එක දෙයයි. අහස දිහා බලා ඉන්න එක විතරයි.

මං ඉස්කෝලෙ යන පොඩි එකා ගැන හිතන්නෙ නෑ. පොඩි එකා ගැන හිතනවා බිරිඳ. බිරිඳ ගෙදර වියහියදම් ගැන හිතනවා. මං ගැනත් හිතනවා. තනි ගෑනියෙක් රස්සා කරලා පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද කියල හිතන ගමන් කියවනවා ඈ. අන්න එතකොට මටත් හිතෙනවා මොකටද මෙහෙම ජීවිතයක් කියල. ඇත්ත වශයෙන් මේකෙන් ගැලවිල්ලක් නැද්ද? නරාවළක නේද අපි ජීවත් වෙන්නෙ? බැරිද කැනඩාවට පැනගන්න? බැරිද නවසීලන්තෙට? පකිස්තානෙට වුණත් කමක් නෑ ඩොලර් හම්බෙනවා නම්! ගාසා තීරය වුණත් වරදක් නෑ. සල්ලි තමයි කොන්දේසිය.

මට මහා අවිනිශ්චිතකමක් දැනෙනවා. ඇහැට පේන හැම දේම බොරුවක් නේද කියල හිතෙනවා. මිනිහෙක් ඕන වෙලාවක උඩ යන්න පුළුවන්. ඕන වෙලාවක බිම වැටෙන්න පුළුවන්. අර සරුංගලේ ගිය කොල්ලාත් ආවානෙ පොළොවට. අපරාදෙ ඌ නම් ආවේ! ඒත් අද ඉන්න මිනිහා හෙට මැරිලා ඉන්න පුළුවන් රටක් මේ. ඒ කිව්වෙ අද වාචාලකම් දොඩවපු මන්තිරියා හෙට හදිසි අනතුරකින් මැරිලා වැටෙන්න පුළුවන් රටක් මේ. ප්‍රශ්නෙ ඒක ඒ උන්දැලා තේරුම් නොගන්න එක. උන්දැලා ගැන හිතන එකත් මෝඩකමක්. ඒත් අපි ගැන හිතන එකත් මෝඩකමක්. අපි ගැන හිතනවා නම් හිතන්න වෙන්නෙ අපේ ගෙදර කුස්සියේ මොනවාද තියෙන්නෙ කියල. අපොයි! කුස්සියේ එළවළු තියෙයිද කියල නම් අහන්න එපා. පොල් තියේද කියලවත් අහන්න එපා. කැරට්? ලොකුලූනු? බෝංචි? පාන් කෑල්ලක් නම් කන්න පුළුවන් අතේ කාසි මිටක් තියෙනවා නම්. ඒත් පාන් වුණත් හෙට කන්න වෙයිද කියන්න බෑ. ඒක කියන්න පුළුවන් වෙන්නෙ බේකරි හිමියන්ගේ සංගමයෙන් අහලා.

අවුරුද්දක් ලැබුවාට කිසි වගතුවක් නෑ කියල හන්දියේදි කවුදෝ කියනවා මට ඇහුණා. ඒත් අවුරුද්දක් කියන්නෙ නිකන් දින ටිකක් විතරයි. අද දිනේ වෙනසක් නොවී හෙට දිනේ වෙනසක් වෙයිද? අද වගතුවක් නැතිව හෙට වගතුවක් වෙයිද? අද අපායක් තිබිලා හෙට දිව්‍යලෝකයක් පහළ වෙයිද? අන්න එතකොට හිතෙනවා මේක දාර්ශනික ප්‍රශ්නයක්දෝ කියල. ඔව්, ලෝකය නිවැරදි කරන්න ඉස්සෙල්ලා මම නිවැරදි වෙන්න ඕන. මං දියුණු වුණොත් අපි දියුණු වෙයි. මං හදාගත්තොත් අපි හැදෙයි. අපි හැදුණොත් රට හැදෙයි. රට හැදුණොත් අවුරුද්ද වගතුවක් වෙයි. ඒත් මේවා නිකන් තර්ක නේද? තර්ක නෙවෙයිනෙ ජීවිතේ.

විසඳගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. සීනුව කියන්නෙ එයාලා ආවාම වගතුවක් වෙයි කියල. ඒත් එයාලාට ඔටුන්නම ඕනද රටේ වගතුවක් ඇති කරන්න? බැරිද රට හදන සූත්තරේ එළිපිට කියන්න?

ලොකු සර් කියනවා දැන් ප්‍රතිසංස්කරණ කළොත් 2048 වෙද්දි රට ඉස්සරහාට ගිහින් තියෙයි කියල. මං අසුබවාදියෙක් නෙවෙයි. ඒත් මට දරාගන්න බෑ මේ ප්‍රතිසංස්කරණ. වරිපනම් එකතු කරන එක හොඳයි. ඒත් ඇයි උඹලා අපේ පනමටම විදින්නෙ? උඹලාගේ ලොකු පනම්වලට ඇයි අත නොතියන්නෙ! වරදක් නෑ, අපි ඉස්සරහට යන්න ඕන. ඒත් ඔය කියන ඉස්සරහා නිවැරදි දිශාවද? පස්සට යෑම නිවැරදි දිශාව නෙවෙයිද? කඩදාසියේ වමේ ඉඳලා දකුණට ලියන එක නිවැරදියි කිව්වෙ කවුද? දකුණෙ ඉඳලා වමට ලිව්වොත් හරි නැද්ද? එහෙනම් ජපන්නු ලියන්නෙ වැරදියටද? මේවා මහ විකාර. ඉස්සෙල්ලා මිනිසුන්ට මිනිස්සු වගේ ජීවත් වෙන්න ඕන. එහෙම ඉඩක් නැතුව මොන ප්‍රතිසංස්කරණද? ප්‍රතිසංස්කරණ කරනවා නම් තියෙනවා අපේ ගේ ළඟ පොදු නාන ළිඳක් හදන්න. ඒක හදාපල්ලා අපි කාටත් නාන්න. උඹලා විතරක් නෙවෙයි, අපිත් නාන්න කැමතියි. අපිත් කැමතියි ලක්ස් ටිකක් ඇඟේ ගාන්න.

පස්සට යෑම ගැන මං කථා කළා. ඒත් මං අතීතයට කැමති නෑ. අතීතය මහ කුණුකන්දලක්ය කියල කවුදෝ කියල තියෙනවා. මට නම මතක නෑ. ඒත් කුණුකන්දල් නැති අතීතයකුත් නෑ. හැබැයි මොනවා වුණත් අදට වඩා ඉස්සර කන්න බොන්න තිබුණා කියල මට හිතෙනවා. එදා අද වගේ ජංගම දුරකථන තිබුණෙ නෑ තමයි. ඒත් එදා ප්‍රේමය කටහඬින් තොරව ගලාගියා ටික වෙලාවක්. ප්‍රේමයටත් විවේකයක් ඕන වෙනවා. පෝන් එකේ පැය විසිහතරෙම එල්ලිලා ඉන්නකොට විවේකය නැතුව යනවා ප්‍රේමයට. ඉස්සර අරිෂ්ට තිබුණා මතකයි. කසාය සහ පත්තුත් තිබුණා මතකයි. ඒත් දැන් අරිෂ්ට වෙනුවට පැණිබීම ඇවිත්. කසාය වෙනුවට ගිලින පෙති ඇවිත්. පත්තු වෙනුවට ආලේපන ඇවිත්. වෙනස හොඳයි. ඒත් වෙනස සැප නෑ. වෙනස සැපද!!! එහෙම අහන්න මං කැමති නෑ. එහෙම අහලා ආපහු නෙළුම් කොළේ බත් කන්න මං ආස නෑ. නෙළුම මට එපා වුණා. පොහොට්ටුවත් එපා වුණා.

මං හිතන්නෙ මිනිස්සු ඊයේ ගැනවත් නෙවෙයි, හෙට ගැනවත් නෙවෙයි, හිතන්න ඕන අද ගැන. හෙට ගැන හිතුවොත් අදම ජීවිතේ එපා වෙනවා. ඒත් ඉතිං හෙට කියල අමුතු දේකුත් නෑ. අද මහපොළොව ඉර වටේ කැරකිලා ගියාම හෙට දවස උදා වෙනවා. හෙට පොළොව රවුමක් ගියාම අනිද්දා උදා වෙනවා. හෙට කියන්නෙ මේ ගමනෙම කොටසක්. ඒත් අද අපට ගමනක් නෑ. අපේ ගමන නැවතිලා. අපි ගමන් කරන එක නවත්තලා අද දවසේ කාල ඇඳලා ඉන්න පුළුවන්ද කියල බලනවා. එහෙම ඉඳන් තමයි අපි ඉස්සරහට යන්නෙ. 2048 සංවර්ධිත ඉලක්ක ජය ගන්නෙ!

ඒත් හෙට ගැන හිතන්න පුළුවන් මිනිස්සුත් මේ රටේ ඉන්නවා. ඒගොල්ලො කවුද කියල කියන්න දේකුත් නෑ. ඒ, අර 225 කට්ටිය. එහෙම නැත්නම් ඒගොල්ලාට නෑකම් කියන කට්ටිය. එහෙමත් නැත්නම් මේ රටේත් ඉන්න මේ රටේත් නැති සංගක්කාර පන්තියේ කට්ටිය. ඒ අයට මං ඊර්ෂ්‍යා නෑ. ඒත් මට දුක ඇයි අපේ පන්තියටම හෙට ගැන හිතන්න බැරි කියල. ඔවුන්ගේ අම්මලාත් අසනීප වෙනවා. ඔවුන්ගේ ළමයිනුත් ඉස්කෝලෙ යනවා. ඒත් මගේ අම්මාට සැත්කමක් කරගන්න අවුරුදු ගණන් පෝළිමේ තපින්න වෙද්දි අරගොල්ලාගේ අම්මලාට අද හවසම සැත්කම් කරගන්න පුළුවන් වුණේ කොහොමද? මගේ ළමයි බටුකනත්තෙ රතනසිරියේ ඉගෙනගනිද්දි අරෙයලාගේ ළමයි කොළඹ රෝයල් කොලිජියේ ඉගෙනගන්න තීන්දු වුණේ කොහොමද? මේවා උභතෝකෝටික ප්‍රශ්න.

ඔව්. රට වෙනස් වෙන්න ඕන. ඒත් රට වෙනස් වෙනවා කියන්නෙ පොඩි මිනිහාට බදු ගහන එකද? පොඩි මිනිහාට බඩේ පාර වදින එකද? වෙනස නෙවෙයි ප්‍රශ්නය. වෙනස කියන්නෙ මොකක්ද කියන එක. එක දෙයක් පේනවා. අවුලක් තියෙනවා. අවුලට විසඳුම් දෙන්න යන්නෙ අවුල ඇති කරපු කට්ටියම. අවුලෙන් ගොඩයන්න බලන කට්ටියම. ඒක තමයි දේශපාලනය. අලුත් දේශපාලනය. අලුත් පාර්ලිමේන්තුව. අලුත් යහපාලනය.

මං දේශපාලනය කථා කරනවාද මේ? අපොයි! මං ආස නෑ දේශපාලනය කථා කරන්න. පොලිටික්ස්! මොකක්ද ඒ? අජූත වචනයක්! කුණුගොඩවල් අවුස්සනවාට වඩා හොඳ නැද්ද සුදාගේ සැලුන් එකට ගිහින් දමිත් අසංකගේ සිංදුවක් ඇහුවා නම්! එහෙම නැත්නම් රුකා එක්ක අමුක ඩුමුකු නැටුමක් දැම්මා නම්! ක්‍රිකට් මැච් නම් දැන් මං බලන්නෙ නෑ. ක්‍රිකට් බැලුවෙ කළු-ජයසූරිය ගහන කාලෙ. ක්‍රිකට් තිබුණෙ අර්ජුනලාගේ කාලෙ. දැන් බලන්නෙ අර්ජුන කථා කරන දේවල්. ෂහ්! අර්ජුන අයියා ඩිබේට් ටීම් එකේ ඉඳලා තියෙනවාද ආනන්දෙ! ඒත් එයා හරි. දැන් ඉන්න උන් අපේ පළවෙනි ටෙස්ට් කැප්ටන්වත් දන්නෙ නෑ. ඒත් එකක් දන්නවා එයාලා. අයිපීඑල්, බීපීඑල්, සීපීඑල්, පීඑස්එල්, ඩුබායි ටීටෙන්වලට ගිහින් ක්‍රිකට් ගහන්න.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment