හෙළ වාග්මාලාවෙහි හසළයෙකදු වු කරුණාරත්න අබේසේකර

368

මගෙ සිංදු ලිවිල්ල කොහෙත් ම විචාරකයන්ගේ පැසසුම් ලබන්න නොවෙයි. ශබ්දකෝෂ පෙරළ පෙරළා වචනවලට තේරුම් හොය හොයා වෙහෙසට පත් වෙන්නෙ නැතිව හුදෙක් ආශ්වාදයට ම යොමු වන රසිකයන් සඳහායි.

සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගේ සරළ ගීතමය බස පිළිබඳ ප්‍රශ්න කෙරුණු විටෙක කරුණාරත්න අබේසේකරයන් පවසා තිබුණි. එහෙත් ඔහුගේ ඇවෑමෙන් සතළිස් වසරකට පසුව එම ගීත රචනා ශෛලිය ප්‍රශංසාවට ලක් කිරීමට විචාරකයෝ පෙළ ගැසෙති. සරල මෙන්ම මිහිරි සංගීතාත්මක වදන් සියුම් ලෙස අරුත් දැනවෙන සේ රිද්මයානුකූලව සැකසීම අතින් කිසිවෙකදුටත් නොදෙවෙනි වෙමින් බොහෝ විට ඉතා ගැඹුරු රස දැනවූ ඔහුගේ ශෛලිය සාමාන්‍ය ජනතාව සඳහා වූ සිංහල ගීතයේ ඇති කළ වෙනස සුවිසල්ය.

ඔහුගේ දර්ශනයෙහි නිරවද්‍යතාව දැන් තහවුරු වී ඇත. එහි ලා ඉතාමත්ම වැදගත් සාක්ෂිය නම් ගත වූ දශක හතරක් තිස්සේ විකාශන මාධ්‍යයන්හි කොතෙකදුත් වෙනස්කම් සිදුව තිබුණද ඒ කිසිවකට තවමත් ගුවන් තරංග අතර ආධිපත්‍යය දරමින් තිබෙන ඔහුගේ නිර්මාණයන් අභිබවා යා නොහැකි වී තිබීමය. එම පදවැල් කවරෙකුගේ දැයි නොදන්නා තරුණයන්, ඔහු විසින් පෝෂණය කරන ලද ගායන ලොව දැවැන්තයන්ගේ හඬින් සදානුස්මරණීයත්වයට පත් ගීත ගායනයට, මහළු අය හා එකතු වනු තවමත් දැකිය හැකිය. උපතින් දෙපණස් වැනි වියෙහි දී, සිය වෘත්තීය දිවියේ උච්චතම අවස්ථාවෙහි අකාලයේ දිවි මගෙන් බැසගිය අපේ ආදරණීය ‘කරුඅයියා’ ඔවුනට, මට මෙන්ම අනාගත පරම්පරාවන්ට ද කරු අයියාමය.

ඔහුගේ උරුමය චිරස්ථායී වන්නේ ගේය පද රචකයෙකු ලෙස ය. අපූර්වත්වය නම්, කරු අයියා තවත් ක්ෂේත්‍රයන් බොහොමයක පෑ පෙළහර එයින් යටපත් ව යෑමයි. ලේඛන වහරෙහි මෙන්ම කථන වහරෙහි ද සුරුවිරුකම් පාමින් සිහළ බසෙහි චමත්කාරය අපට පෙන්වූයේ ඔහුයි. මාතරට නුදුරු පිටිසර ගමක් වූ රත්මලේහි දරුවන් දස දෙනෙකුගේ පවුලෙහි කුළුඳුල් පුතණුවන් ලෙස 1930 ජුනි මස තෙවන දින උපත ලබන්නේ පොඩි අප්පුහාමි සහ ප්‍රේමවතී අබේසේකර දම්පතීන් දෙමාපියන්කොට ගෙනය. පවුල රත්මලේ සිට කොළඹට සංක්‍රමණය වී නොබෝ දිනෙකින් කුඩා ව්‍යාපාරයක් අරඹන පොඩි අප්පුහාමි අබේසේකර පියාණන් දෙවන ලෝක යුද සමයෙහි නැවතත් ටික කලකට ගමට පසුබැසි ඉසුඹුවේ කරු අයියා බඹරැන්ද, ගල්කන්ද වෙහෙරෙහි එවක වැඩ සිටි අනන්ද හිමියන් වෙතින් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා ඉගෙනීමට කැපකර තිබේ. ඔහුගේ භාෂාමය ශක්‍යතා වඩාත් තියුණු වන්නේ ඒ හිමියන් ඇසුරෙනි. නැවත කොළඹට පැමිණ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වන ඔහුට එවක ලංකා ගුවන් විදුලියෙහි ‘ළමා පිටිය’ වැඩසටහනේ නිෂ්පාදකව සිටි සිරි අයියා නමින් ප්‍රකට යූ.ඒ.ඇස්. පෙරේරා කිවිසුරාණන්ගේ ගුරු ඇසුර ලැබෙයි. දොළොස්වැනි වියෙහි සිටි ඔහුට ‘ළමා පිටිය’ට සහභාගි වීමට ලැබුණ අවස්ථාව ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන තරමට තීරණාත්මක වූ අතර පාසලෙන් ඉංග්‍රීසි ඉගෙනගන්නා අතරතුරම කරු අයියා විද්‍යෝදය පරිවේණාධීශ්වරව වැඩ විසූ දෙහිගස්පේ ප්‍රඥාසාර මහාස්ථවිරයන් වහන්සේ වෙතින් සිය ප්‍රාචීන භාෂා ඥානය පුළුල්කරවා ගනියි.

ගේය පද රචකයෙකු වශයෙන් නමක් දිනා ගැනීමට පෙර කරු අයියා ප්‍රසිද්ධියට පත්වූයේ කොළඹ යුගයේ කවියෙකු වශයෙනි. රබන් වයමින් ගැයෙන විරිඳු පද බැඳීමටත්, ගැයීමටත් ඔහු සමතෙකු වීය. ඉතාමත් ලාබාල වියෙහි කවි ලිවීම අරඹා කාව්‍ය නිර්මාණ එකතු කිහිපයක් ම පළ කළ ඔහු මියයන තෙක්ම ප්‍රසිද්ධ පුවත්පත්වලට කවි ලියූ අතර, නව කලා මණ්ඩලය පැවැත්වූ තරගයකින් ‘හොඳම තරුණ කිවියර සම්මානය’ දිනා ගත්තේ 1942 ය.

කරු අයියා සිය ජීවිතයෙහි තීරණාත්මක ම අවස්ථාවට පැමිණියේ පේරාදෙණිය සරසවියට ඇතුළත් ව උපාධිධරයෙකු වෙනවා ද, දිනකට රුපියල් හතක වැටුපට සහන නිවේදකයෙකු ලෙස ගුවන්විදුලියට සම්බන්ධ වෙනවා ද යන උභතෝකෝටිකය මතු වූ 1950 වසරේය. සිය පියාණන්ගේ ව්‍යාපාර එතරම් සාර්ථකත්වයක් නොපෙන්වූ එවක සිය බාල සොයුරු සොයුරියන්ගේ අනාගත වගකීම කරටගත් ඔහු තෝරා ගන්නේ දෙවැන්නයි. එය සොයුරු සොයුරියන්ගේ අනාගතය ඉහළ තැන්වලට සම්ප්‍රාප්ත කරවීමට මෙන්ම, ඔහුට ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළ අතිශයින් සාර්ථක වෘත්තීය ජීවිතයක් හිමි කරීමට ද පිටිවහලක් විය. අපූරු ප්‍රවෘත්ති නිවේදකයෙකු වූ ඔහු විස්තර විචාරකයෙකු වශයෙන් අන් සියල්ලන් ම අභිබවා සිටියේය. රූපවාහිනිය ලැබෙන්නට පෙර ඒ යුගයේ හි විස්තර විචාරකයින්ගේ ප්‍රතිභාපූර්ණත්වයේ ආශිර්වාදයෙන් සෑම ඵලදායක අවස්ථාවක් ම වදනින් දැක බලා ගන්නට අපි භාග්‍යසම්පන්න වීමු. කරු අයියා අපේ සිත් තුළ දර්ශන වර්ණවත් කළේ අසහාය වාග් චාතූර්යයෙනි. 1954 සිදුවූ එළිසබෙත් රැජිනගේ සම්ප්‍රාප්තිය හා සබැඳි පෙරහැර කරු අයියා අපේ සිත්වල සිතුවම් කළ අයුරු මට තවමත් මතකය. සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවේ ම දෑස් තුළ කඳුළු වැගිරවූ එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරණායක ශ්‍රීමතාණන්ගේ අවමංගල‍ේ‍යා්ත්සවය විස්තර විචාරය අදටත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සිහිවටනයක්ව රැක ගැනෙන්නකි.

සිංහල ළමා ගීත ශෛලිය නිර්මාණය කළේ කරු අයියා ය. ‘සරුංගලේ’, ‘ලේනගෙ පිට මැද ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ’, ‘දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ’, ‘මමයි රජකාලේ විහිළු කෙරූ අන්දරේ’, ‘සුරතල් අපේ පෙනීලා වන මල් කැලේ පිපීලා’, අදත් ළමයින් මෙන්ම වැඩිහිටියන් වුව ද ගයනු ලබන කරු අයියාගේ පබැඳුම් කිහිපයකි. මුලින්ම සරස්වතී මණ්ඩපය ඔස්සේ ආනන්ද-නාලන්ද ක්‍රිකට් තරගය වාර්තා කරමින් සිංහල ක්‍රිකට් විස්තර විචාරයෙහි පුරෝගාමියා වූයේ ඔහු ය. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වාග් මාලාවක් නිර්මාණය කරමින් ඔහු නොපමා ව සජීවී ක්‍රිකට් විචාරයට පිවිසුණේ එතැනිනි. සිය අසහාය ශෛලිය පෙරටු කොට ගෙන බොහෝ කලකට පෙර ඉදිරියට ආ කරු අයියාගේ විස්තර විචාරයෙන් රූපවාහිනිය පැමිණීමට බොහෝ කලකට පෙර ‘අධිරාජ්‍යවාදීන් ගේ ක්‍රීඩාව’ දෙසවනින් දැක ගන්නට හැකිවීම මත ඒ සඳහා රටේ ඉහළ උද්‍යෝගයක් සහ ජනප්‍රියත්වයක් ගොඩනැඟුණු බවට සැක නැත.

හෙළ වාග්මාලාවෙහි හසළයෙකදු වු කරුණාරත්න අබේසේකර

ජාතික ගුවන්විදුලි සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමග ඔහු ලංකා ගුවන්විදුලියේ වෙළෙඳ සේවය සමග එක් වූ අතර, එහි ඔහු අදටත් වාදනය වන සිත් ඇද ගන්නාසුළු අනුප්‍රාසාත්මක යෙදුම් හඳුන්වා දෙමින් වෙළෙඳ ප්‍රචාරණයේ ඇති කළ පෙරළිය කලාත්මක විප්ලවයකි. තමන් ප්‍රචාරණය කරන ලද නිෂ්පාදන පරීක්ෂාවට ලක්වන බව සහතික කරමින්, බොහෝ විට ආයතන වෙත ගොස් සහතික කරවා ගැනීමට තරම් ඔහු ආචාර ධාර්මික විය.

විවිධ ප්‍රසංග වේදිකා හැසිරවීමෙහි ලා ඔහුට තිබුණ ඉල්ලුම පිරිමැසිය නොහැකි තරම් විය. සැබවින් ම බොහෝ දෙනෙකු පැමිණ තිබුණේ ප්‍රසංගයට වඩා කරු අයියා දැක බලා ගැනීමටය. තැනට උචිත ලෙස සැරසී ක්‍රීම් ගල්වා මනාව සැකසූ හිසකෙස් ඇතිව සිහින් උඩු රැවුලට යටින් මුව අයා පුළුල් සිනා පාමින්, ඇරඹුමක් වශයෙන් ‘ආයුබෝවන්’ කියමින් දෑත් ඔසවා ගෙන ඔහු වේදිකාව මතින් ඉදිරියට එන විට ප්‍රේක්ෂකාගාරය අත්පොළසන් හඬින් ගිගුම් දෙන්නට විය. ඔහුගේ හැඳින්වීම් රසවත් හා සංක්ෂිප්ත වූ අතර වචන කිහිපයකින් බොහෝ දේ විස්තර කළේ ය.

විනාඩි කීපයකින් ගීතයක් ප්‍රබන්ධ කිරීමට ඔහුට තිබුණ හැකියාව කැපී පෙනෙන්නකි. ඒ ගැන සඳහන් කරමින් ප්‍රශංසාභිමුඛව වරක් සම්මුඛ සාකච්ඡාවක ධර්මදාස වල්පොළ, එච්.ආර්. ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා සඳහන් කර තිබුණේ අහුලා ගත් කොළ කැබැල්ලක් සිය රියෙහි බොනට් එක උඩ තබාගෙන සිංදුවක් ලිවීමේ හැකියාව ඔහුට තිබුණ බවය. විචාරකයන් ඔහුට පහර ගැසීමට එය යොදාගෙන තිබුණත්, ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණේ උරහිස් හකුළා ගනිමිනි. වරක් පුණ්‍යා හීන්දෙණිය මට ලියා තිබුණේ ඇය ‘දෙයියන්නෙ රටේ’ සිනමා පටයෙහි රූගතකිරීම්වල යෙදී සිටියදී වාහනයේ ඉදිරිපස තබාගෙන ගීතයක් ලියනු ඇය දුටු බවත්, එය ‘මොකටද කාසි බාගෙ සොයා තියා’ යන ගීතය බවත්ය.

ඔහු නව වදන් සහ යෙදුම් ගණනාවක් නිමැවී ය. ඔහුගේ හැකියාවෙහි සුහුරු බව කෙතෙක් ද යත් එච්.ආර්. ජෝතිපාලයන් ගයන ‘සල් සපු නා නිල් මහනෙල් කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ’ යන ගීයෙහි අපූර්වත්වය නම් පිපුණ ඇසිල්ලේ ම නිලමැස්සන් වට කර ගන්නා රළු පරළු කිඩාරම් මල පවා විසිතුරු ලෙස මහනෙල් සමන් මල් අතර තබන්නට ඔහුට හැකි වීම ය.

කරු අයියා මෙතෙක් ශ්‍රී ලංකාවේ විසූ හොඳම ගීපද රචකයන්ගෙන් කෙනෙකු හෝ එසේ නොවන්නේ නම් හොඳ ම ගීපද රචකයා යයි කීමට කුකුසක් හදවතෙහි නැත. ඔහුගේ පදමාලා ළදරුවන්ගේ සිට සම්භාව්‍ය සංගීත රසාස්වාදකයන් මෙන් ම විහිළු රස විඳින්නන් දක්වා කාටත් ප්‍රබෝධාත්මක වන අතර, ප්‍රේමාන්විත රචනයන්ට පැමිණෙනවිට ඒවා ආහ්ලාද ජනකය. සමහර විට ඒ සුවිශේෂීයත්වය විවාහයට පෙර රාණි අක්කාගේ පෙම්වතා වශයෙන් ඔහු ලබන වියවුල් සහගත අත්දැකීම් නිසා විය හැකිය. ඇගේ වැඩිහිටියන්ගේ විරෝධතාවන්ට මැදි වන තරමේ ප්‍රේමයකට පසුව පෙරළුනද රටෙහි දස ලක්ෂ සංඛ්‍යාත ජනකාය මෙන් ම ඇය ද වහ වැටී ඇත්තේ මුලින් ඔහුගේ කටහඬටය. එයින් ඇය ඇගේ නිවසෙහි නිවාස අඩස්සියට පත් ව තිබේ. දිනක් ගුවන් විදුලියේ කරු අයියා හමුවීමට පැමිණි තිලකසිරි ෆනෑන්ඩු අංක දහය දරණ පටිගත කිරීම් කාමරයට වී බලා සිට තිබේ. ඒ එදින වැඩසටහනකට ඉදිරිපත් කිරීමට ඔහුට තවත් එක ගීතයක අඩුවක් තිබී ඇති බැවිනි. කාරණය පැහැදිලි කිරීමෙන් පසුව එකවරම පෑනෙන් කඩදාසිය මත පතිතව තිබෙන්නේ කරු අයියාගෙ සිතෙහි තිබී ඇති හැඟීම්ය. එය ඒ සැඳෑවෙහි ම ඉතාමත් ම හැඟීම් බරව ඇසෙන්නට සලස්වා සිංහල සම්භාව්‍ය ගීත අතරෙහි ඉහළින්ම තබන්නට සමත් වූ ‘එන්න මඳ නලේ ගොස් පවසන්න දුක මගේ, යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ, දිවා රැයේ වැළපිලා, දෑස ඈගෙ රතු වෙලා, කියන්නකෝ මගේ දුක ඇගෙ කනට ලං වෙලා’ ගීයේ පදමාලාවය.

කරු අයියා දුෂ්කර අවස්ථාවන්හි සෙසු හැමටම උදව් කිරීමට පසුබට නොවීය. මල්කාන්ති පීරිස් සමග පැවති ආදර සම්බන්ධතාවය සම්බන්ධයෙන් සනත් නන්දසිරිට ගැටලු ඇති වූ අවස්ථාවෙහි ‘මා හද අසපුව කුසුමෙන් සැරසුව ඒ මල්බර දෑතයි’ ගීතය රචනා කරමින් එයට මැදිහත් වන්නට යොමු වන කරු අයියා එතෙකින් නොනැවතී ‘මල්බර දෑත’ යන්නෙන් ඇඟවූයේ මල්කාන්තිව ය. කල්‍යාණියට ආදරය පළ කිරීමට සූදානම් වන විට ගැටලුවට පත් වන මිල්ටන් පෙරේරා කළ අයැදුමට ප්‍රතිචාර වශයෙන් ලියූවේ ‘කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්’ පදමාලාව ය. එය ඔස්සේ මිල්ටන්ගේ අපේක්ෂාව පමණක් නොව සුවහසක් සිංහල ගී රසිකයන්ගේ අදහස් ද මල්ඵල ගැන්වුණ බව නොරහසකි. සැබවින්ම කල්‍යාණි ගැන සඳහන් වන්නේ ඔහු මිල්ටන්ට ලියූ වෙනත් ගීතයක ය. ‘සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එක ම නමයි මා දන්නේ, ඒ නම ආදරේ’ එම ගීතයයි.

දසවසරක රික්තයක් තබා දිලීප උපන් පසු අම්මා සහ බිරිඳ නිදා සිටි යහන් දෙක අතරෙහි මෙට්ටයක් මත වැතිරී සිටි කරු අයියාගේ සෙනෙහස උතුරා ගිය අයුරු ‘දිලීප පොඩිපුතු සනීපයට නිදි මවගෙ උකුල් යහනේ, කුමාරයාණෙනි මගේ කිරුළ හිමි ජීවන රජදහනේ’ යනුවෙන් ඒ මොහොතෙහි ම සටහන් කර සිළුමිණෙහි පළ කැරුණ බව පැවසෙයි. එය දකින ගායක ක්ලැරන්ස් විජේවර්ධන පදමාලාවට කැමති තරමක් ගෙවන්නට කැමැත්ත පළ කර එය ගායනයට අවසර ඉල්ලා තිබේ. පසුව සාකච්ඡාවක කරු අයියා පවසා තිබුණේ ‘එන්න මදනලේ’ සහ මෙම ගීතය ඔහුගේ ප්‍රියතම නිර්මාණ බව ය. මරණයට මොහොතකට පෙර කරු අයියා ගුවන් විදුලි වැඩසටහනකට සවන් දෙමින් සිට තිබෙන අතර එහි සාකච්ඡා වී තිබෙන්නේ ‘එන්න මද නලේ’ ගීතයයි. අවසන් මොහොතෙහි ද ඔහුගේ ප්‍රියතම ගීතයට සවන් දෙන්නට ලැබීම දෛවෝපගතය.

ඔහුගේ ඒ සා කෙටි, ඵලදායක ජීවිත කාලය තුළ දළ වශයෙන් දෙදහසක් යයි බොහෝ විට කියැවුණද එය කිසිසේත්ම නිවැරදි ගණන විය නොහැක. ඔහු ගීත ලියූ චිත්‍රපට සංඛ්‍යාවම තුන්සියය ඉක්මවා සිටින බව පැහැදිලිය. ඒ සමයෙහි කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කරන ලද ගීතයකින් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ කලාකරුවෙකු නොමැති තරම් ය. ඒ කිසිදු කලාකරුවෙකුගෙන් වත් ඔහු ශතයකුදු ලබා නොගත් අතර අය කිරීම් චිත්‍රපට ගීතවලට පමණක් සීමා වූ බව සටහන් කළ යුතු ම ය. ළමා මණ්ඩපයට රචනා කර පටිගත නොකෙරුණ ගීත සංඛ්‍යාවම දහස් ගණනෙකි. ගුවන්විදුලි සේවා පුස්තකාලයෙහි ඇති ගීතවලින් අඩකටත් වඩා ලියැවී තිබී ඇත්තේ ඔහු අතිනි. චිත්‍රපටයක් සඳහා ඔහු රචනා කළ මුල් ම ගීතය ‘කතරගමේ දෙවිගෙ බිමේ රුහුණු ජනපදේ’ වුවද එය ඇතුළත් සිරිසේන විමලවීරයන්ගේ ‘අසෝකා’ චිත්‍රපටය තිරගත වූයේ පසුවය. අද දක්වාම ජනප්‍රිය ගීත වන මොහිදීන් බෙග් ගායනා කරන ‘දළු ලා ප්‍රේම ගසේ’ සහ ‘පියලි කැඩිලා වැටුණ නෑඹුල් සමන් මලේ’ ගීත ඇතුළත් ‘වරද කාගෙද?’ ඊට කලින් තිරගත විය.

සමහර විචාරකයන් පවසන්නේ කරු අයියාගේ හොඳ ම චිත්‍රපට ගීත හමුවන්නේ ආර්. මුත්තුසාමි සංගීතවත් කළ පුණ්‍යා හීන්දෙණිය සහ ඩී.ආර්. නානායක්කාරගේ අද්විතීය රංග කෞශල්‍යයෙන් සෝභාමත් වූ ‘කුරුළු බැද්ද’ චිත්‍රපටයේ බව ය. මිල්ටන් පෙරේරා ගායනා කරන ‘අරුණ උදයේ’ ලතා සහ ධර්මදාස වල්පොළ ගායනා කරන ‘ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ’ ඇතුළත් වන්නේ එහි ය. කෙසේ වෙතත් මගේ පෞද්ගලික තේරීම එඩ්වින් සමරදිවාකර සංගීතවත් කළ එක ම චිත්‍රපටය වන ‘දස්කම’ ය. අමරදේවයන් ගැයූ ‘ඉපිද මැරේ යළි ඉපදේ’ බුදු දහමේ සාරය සංග්‍රහ කෙරෙන සම්භාව්‍ය ගීතයක් වන අතර තවත් එවන් ගීත ගණනාවකි. මොහිදීන් බෙග් ගයන ‘හොඳ කල ආ දා’, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගායනා කරන ‘ගොයම් පැසීලා කුඹුරේ’, මල්ලිකා කහවිට සහ ඇන්ජලීන් ගුණතිලක ගායනා කරන ‘දෙව්ලොව දෙව් සැපා’ මෙන්ම ජී.ඇස්.බී. රාණි පෙරේරා ගායනා කරන ‘මඩදියේ පිපුණට’ සහ ‘තුරුවදුළු තුළේ සඳළු තලේ කැකුළු සැලේ සුරතලේ’ සරල වචන ස්වර මාධූර්ය උත්කර්ෂයට නැංවෙන සේ රචනා කෙරුණ සැටි පිළිබඳ කදිම නිදසුන් ය.

චිත්‍රපට ගීතවලදී ගායකයාගේ ශෛලියට මෙන්ම නළුවාට ද ගැළපෙන පද රචනා කළ හැකි අපූර්ව ප්‍රතිභාවක් කරු අයියාට තිබුණි. නිමල් මෙන්ඩිස්ගේ ‘කළු දිය දහර’ චිත්‍රපටයේ ගීත රචනය සම්බන්ධයෙන් සෙසු ගේය පද රචකයන් හත් දෙනකුගෙන්ම සෑහීමකට පත් විය නොහැකි ව තිබියදී කරු අයියාගේ ‘මාස්ටර් සර්’ පද රචනයෙන් ඒ අවශ්‍යතාව සපුරාලිය හැකි වී තිබේ. අජීවී වස්තූන් ගැන ලිවීමෙහිදී ඔහු දක්වන සාමාර්ථය අන් කවර හෝ ගේය පද රචකයෙකුට වුව ද අදත් සපුරාලිය නොහැකි වී තිබේ. ඉටිපන්දමක් ගැන ලියැවුණ ‘ඇවිලේ සැමදා’, ‘බයිසිකලේ බයිසිකලේ’, ‘සරුංගලේ සරුංගලේ’, ‘නාගලොවින් ගෙන ආපු බුලත් අත’ ඉන් කිහිපයකි. බොහෝ විට ඔහු ගීත රචනයෙහිදී ජීවිතයේ එළැඹුණ විවිධ සංසිද්ධි යොදා ගනියි. ඒ අතර අවන්හලෙක රාත්‍රි ආහාර වේලක් ගැනීමට ගිය විටෙකදී බන්දේසිය අතහැරුණ අවන්හල් සේවකයෙකුට පරිපාලනය විසින් ප්‍රසිද්ධ දඬුවමක් දුන් අවස්ථාවක් ද වී තිබේ. නිවෙසට පැමිණි ඇසිල්ලේම ‘වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ මොකටද මා දුප්පත් වී ඉපදුණේ’ ඔහු ලියයි.

ගායකයන් වෙනුවෙන් ඔහු විවිධ මාදිලියේ ගී රචනා කළ අතර ඒ හැම එකක් ම එක සේ සාර්ථක වී තිබේ. ඒවා අතර මිනෝන් රත්නම් සහ ජෙට්ලයිනර්ස් හඬින් මංගල සාදයන්හි අනිවාර්යයෙන් ගැයෙන ‘කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවණේ’, සී.ටී. ප්‍රනාන්දුගේ ‘පියුමෙහි පැණිබොති වන බඹරූ’, ‘මල් යහනාවකි ලෝකේ නෑවේ චන්ද්‍රාලෝකේ’, මිල්ටන් මල්ලවාරච්චි ගයන ‘සුළඟේ පා වී ඈ වෙත යාවී’, ‘ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ’, එච්.ආර්. ජෝතිපාල ගයන ‘දිය පොදක් වෙමින් තොල් වියැළෙණ පිපාසෙට’, සිසිර සේනාරත්න ගයන ‘නීල ජලාසේ රඟනා හංස කුමාරී’, සූරයා චිත්‍රපටයේ ‘හිතන්නකෝ අයියේ දැන්වත් හැදෙන්නකෝ අයියේ’ ගීතයෙන් ඉහළ ම ජනප්‍රියතාවක් දිනා ගත් ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගයන ‘නාමල් කෝමලී’ කරුණාරත්න අබේසේකරයන් ලියූ බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ගීතයන්ය. සමහර විට ඔහු කවර තරමෙක ප්‍රාගුණ්‍යයක් පළ කළේ ද යත් එකම තාලයට ඔහු විවිධ ගීත රචනා කරයි. නාරද දිසාසේකර ගයන ‘මේ භවයෙදි මුළු දියදායේ’, එච්.ආර්. ජෝතිපාල ගයන ‘ටජ් මහලක් තනවන්න නෑ’, ඉතාමත් ජනප්‍රිය වූ ඒ මාදිලියේ ගීතවලට නිදසුන් ය. ඒ ගායකයන් දෙපළ ම මෙම ගීත ඔවුනොවුන්ගේ ප්‍රියතම ගීත ලෙස තෝරාගෙන තිබේ.

ඔහුගේ බාල සොහොයුරු ගුණරත්නයන් ද ප්‍රකට ගීපද රචකයෙකි. දිනක් කරු අයියා නිවසෙහි නොමැති විටෙක ‘අනංගයා’ ගැන ගීතයක් ලියවා ගැනීමට ජෝතිපාලයන් නිවෙසට පැමිණ තිබේ. ගුණරත්නයන් සුප්‍රකට ‘අනංගයා මං’ ගීතය ලියා ඇත්තේ එම අවස්ථාවෙහි ය. ඒ ගැන ම විමසමින් මිල්ටන් පෙරේරා කරු අයියා සොයා ආ විටෙක ගුණරත්නගේ ගීතය පසුබා යෑමට හේතු වූ තැන් හුවා දැක්වෙන ‘සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා’ ඔහු ලියා ඇත. ජෝතිපාලයන් සහ මිල්ටන් පෙරේරා අතර ගීත හුවමාරු වනවිට කරුණාරත්න – ගුණරත්න අතර තරගයක් තිබේ දැයි සමහරුන් සිතා ඇත. ඒ අදහස ජෝති – මිල්ටන් එක් ව ගයන ‘අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ’ ගීතය දෙසොහොයුරන් එක් ව රචනා වීමට මග පාදා තිබේ.

වෙසක් සමයේ හැම දන්සැලක, තොරණක මෙන්ම වෙනත් ආගමික උත්සවයන්හි ගැයෙන මොහිදීන් බෙග්ගේ ‘ඔබෙ රාගී මන කැළඹේ දෝ’ බොහෝ දෙනෙකුට අසන්නට ලැබුණ කරු අයියාගේ හොඳම අරුත් බර ගීතය වී තිබේ. මිනිත්තු නවයක් පුරා ගැයෙන එය මෙතෙක් සිංහලයෙන් ලියැවුණ දිගම ගීතයක් ලෙස සඳහන්ය. මෙසේ කරු අයියා අතින් ලියැවුණ බෞද්ධ හැඟීම් පදනම් කරගත් ගීත රැසක් වන අතරම ඔහු අතින් ජේසුතුමන් ගැන ‘බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ’ ගීතයද ලියැවී ඇත. මොහිදීන් බෙග්ගේ ගැඹුරු හඬින් වඩාත් අර්ථවත් වන ‘සිනහවෙන් හෝ කථාවෙන් බැහැ මනින්නට මිනිසා, හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා’ සහ බෙග්ගේ ජීවිත කථාව කියැවෙන ‘මා ඔබ වෙනුවෙනි භාරත මෑණිගෙ පා සෙවණේ වැඩුණේ’ තවත් ඒ අතර තැබෙන ගීත කිහිපයකි.

වරක් සම්මුඛ සාකච්ඡාවකදී ලතා වල්පොළ පැවසුවේ ලොව කොතැනෙක වුව ද ඇය ‘පෙරදිග මුතු ඇටයයි මේ’, ගැයූ විට රසිකයන් නොදැනුවත්ව ම අසුන්වලින් නැගිට වුණු බව ය. ගීතය අවසන් වන ‘නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී’ යන්නෙහි අරුත ගැන පුදුම විය යුතු නැත. කෙසේ හෝ වේවා කරු අයියාගේ පණිවිඩය කාලෝචිතව පැමිණෙන්නේ මොහිදීන් බේග් ගයන ‘ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ’ ගීතය අවසන් කෙරෙන ‘දිනු ජාතිය වටිනා සිංහලේ, අභිමාන වූ දැය මේ සිංහලේ, ඒ නිගා සිරිතේ ගැලී, ගා නොගා ඉඳිනු දැලී, පරසිරිතෙනි ඔබ හෙළ මෑණි ඇයි ද සෝකෙට හෙළුවේ’ යන පදවලිනි.

හෘද රෝග විශේඥ වෛද්‍ය
උපුල් විජේවර්ධන
(පරිවර්ථනය – කුඩාගම්මන සීලරතන හිමි)

advertistmentadvertistment
advertistmentadvertistment