ලංකාවට එහෙම දන්සල් එකයි

5621

හාල් කිලෝ 800 යි

තාච්චි 40 යි ● ආප්ප 16000 යි

තෝසේ සමඟ සාම්බාරු

ඉදිආප්ප 35000 යි

අතුරුපසට අයිස් ක්‍රීම්, පළතුරු බීම

වෙසක්, පොසොන් වැනි ප්‍රධාන ආගමික උත්සව නිමිතිකර ගනිමින් රට පුරා සංවිධානය කරනු ලබන දන්සල් පිළිබද අමුතුවෙන් සදහන් කළ යුතු විශේෂ යමක් නැත. ජාති, ආගම් භේදයකින් තොරව මෙරට ජනතාව එම අත්දැකීම ලබා තිබෙන අතර බොහෝ දෙනෙකු තුළ පවතින්නේ ඒ පිළිබද රසවත් මතකයන් ය. එහෙත්… පහත පලවන්නේ මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මෙරටදී සංවිධානය වූ වෙනස්ම ආකාරයේ දන්සලක් පිළිබඳ කතා පුවතක්ය. එකමුතුකම, සාමූහිකත්වය පදනම් කර ගනිමින් සංවිධානය කරන ලද මේ කියන්නට යන දන්සල සංවිධානය කරනු ලැබුවේ බණ්ඩාරගම කිඳෙල්පිටිය මහ පන්සල අසල බදුවිල මංසන්ධිය අසලය.

එහි පැවැති විශේෂත්වය වන්නේ කෑම වර්ග හතක එකම ස්ථානයකදී රස විදී පිණිස අවස්ථාව සලසා දෙමින් මෙරට මුල්වරට දන්සලක් සංවිධානය කිරීමය. ඒ පිළිබඳ වඩාත් නිවැරිදි අයුරින් පැවසීම පිණිස “දන්සල් කලාපයක්” ලෙස එය නම්කළ යුතුය. විශාල භූමි ප්‍රදේශයක් ප්‍රයෝජනයට ගනිමින් ‘ටකරන්’ තහඩු උපයෝගි කරගනිමින් ඉදිකරන ලද ටේ‍රන්ට් හතක් යට පවත්වන ලද මෙම දැවැන්ත දන්සල් කලාපයට ඇතුල්වන ඕනෑම අයෙකුට හිතේ හැටියට රස ආහාර භුක්ති විදීමේ අවස්ථාව සැලසුන අතර දන්සල් සංවිධායක මණ්ඩලය සඳහන් කර සිටින්නේ විසිදහසකට අධික පිරිසකට එම අවස්ථාව උදාකර දුන් බවය.

ලංකාවට එහෙම දන්සල් එකයි

තැනක දුම් දමන දුන්තෙල් බත්ය. තවත් තැනක තාච්චි හතළිහක් භාවිතා කරමින් ආප්ප සකසන ආකාරයත් දැකගත හැකිවිය. සකසන ලද ආප්ප දහසය දහසකට අධික ප්‍රමාණයක් ජනතාව අතරේ බෙදී යන ආකාරයක් දැකගත හැක. ඒ ආසන්නයේ තවත් පිරිසක් නොඉවසිල්ලෙන් පසුවන්නේ උණු උණුවේ තෝසයක් රස විඳීම පිණිසය. දැවැන්ත කල්දේරමක රසවත් සාම්බාරුවක් සැකසෙමින් ඇත. එසේ සාම්බාරුව සකස් වෙමින් පැවතියේ තෝසේ රස විදීම පිණිසය. ඒ අසලද විශාල පිරිසක් රැස්ව සිටින ආකාරයක් දැකගත හැකිවිය. සකසන ලද තෝසේ ප්‍රමාණය දස දහසක්ය.

ඉකුත් 04 දා සවස 6.00 ට ආරම්භ වූ කෑම හතේ දන්සල් කලාපයේ වැඩිම ඉල්ලුමක් පැවතියේ තෝසේ රසවිඳීම පිණිසය. සන්තෝසය උතුරා යන මුවින් බොහෝ දෙනෙක් තෝසේ රස විඳිනු ලැබුවේ දන්සල් සංස්කෘතියේ අලුත්ම අත්දැකීමක් ලෙසය. තවත් තැනක සුදු සහ රතු ඉඳිආප්ප රස විඳීම පිණිස රැස්කරමින් පසුවන ලොකු කුඩා විශාල පිරිසක්ය. පරිප්පු, අඹ, සෝයා, කඩල, ව්‍යාංජන සමඟ පපඩම් මිශ්‍ර කර ගනිමින් දුන් තෙල් බත් රස බලන පිරිසට අමතරව ඉඳිආප්ප සඳහාද දිගු පෝලිම් සකස් වෙමින් පැවති අතර ඉදිආප්ප ආහාරයට ගැනීම පිණිස පරිප්පු සහ සීනි සම්බල් සකස් කොට ඇත. ඊට අමතරව පාන් සඳහා වෙනම ස්ථානයක් සකස් කොට තිබූ ආකාරයක් නිරීක්‍ෂණය විය. බේකරි දෙකකින් ඇනවුම් කරන ලද පාන් තුන්දහසක් කොටස් දොලොස් දහසකට වෙන්කර එක් එක් අයට බෙදාදුන්නේ රසවත් පරිප්පු ව්‍යාංජනයක් සහ සීනි සම්බල් ඊට එක් කරමින්ය. කිඳෙල්පිටිය දන්සැල් කලාපයේ සිරි විසිතුරු එතෙකින් නිමාවට පත්වන්නේ නැත. අතුරුපස පිණිස අයිස් ක්‍රීම් දන්සලක් සහ දිවුල් කිරි දන්සලක්ද තවත් තැනක ක්‍රියාත්මකය. බොහෝ දෙනෙක් සිත් සේ තම තමන් කැමති ආහාර රස විඳින ආකාරය පින්සාර දසුනක් බවට පත්විය.

ලංකාවට එහෙම දන්සල් එකයි

සහල් කිලෝ අටසියයක් ආප්ප දහසය දහසක්, තෝසේ තුන්දහසක් එපමණක් නොව ඇනවුම් කරන ලද ඉදිආප්ප තිස් දහසක් සහ පාන් තුන්දහසකින් සමන්විත වූ මෙම දැවැන්ත දන්සැල් කලාපය සංවිධානය කිරීමේ මූලික වැඩ කොටස ඉටුකරනු ලබන්නේ කිඳෙල්පිටිය ත්‍රිරෝද රථ සංගමය විසින්ය. ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ නොමද අනුග්‍රහයද හිමිව ඇත. එහිදී දන්සල සංවිධාන කිරීම පිණිස වැඩි බරක් උසුලනු ලබන්නේ ප්‍රදේශයේ ප්‍රකට දානපතියෙකු වන මුදලිගේ කපු මහතා විසින්ය. ආහාර පාන සැකසීමේ සිට දන්සැල සංවිධාන කටයුතු ආදියද ඒ මහතාට අයත් දේවාල භූමියේ සංවිධානය කර තිබූ ආකාරය දැකගත හැකිවිය. කිඳෙල්පිටිය
ශ්‍රී චෛත්‍යාරාමාධිපති හිමියන්ගේ අවවාද අනුශාසනා මත සියල්ල සිදුවූ මෙම දන්සැල භූමියේදී දැකගත හැකිවූ තවත් දර්ශනයක් වූයේ ආහාර පාන සැකසීමේදී සෞඛ්‍යාරක්‍ෂිත බවට මුල් තැනක් ලබාදෙමින් බොහෝ දෙනෙක් එම කටයුත්තේ නිරතවන ආකාරයක්ය.

කථිකාචාර්ය චරිත් මුදලිගේ සමඟ පැමිණි ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් සහ කථිකාචාර්ය දිනිදු දේවපුර සමඟ පැමිණි වික්‍රමආරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් හැට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ආහාර පාන බෙදාදීමේදී මහඟු කාර්ය භාරයක් ඉටුකළ අතර විසිදහසකට අධික ජනතාවගේ රස නහර පිනවීම පිණිස සංවිධානය කළ එම දන්සල බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්වූවේ රිසි රිසි දේ රිසි රිසි ලෙස රසවිඳීමට හැකිවූ දන්සල් සමූහයක් එකම ස්ථානයකදී පැවැත්වීමට තරම් ශක්තිමත් පිරිසක් කිඳෙල්පිටිය ආශ්‍රිතව ජීවත්වීම ප්‍රදේශවාසීන් ලද භාග්‍යයක් කොට සලකමින්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment