අලුත්ගම ත්‍රිරෝද රථ පරීක්‍ෂාවකදී මත්ලෝලියෝ පොලිසියේ දෙන්නාට පහරදීලා

40

නිලධාරීන්ට පහරදුන් හතරක් කුඩු සහ කඩු සමග අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිල ඇඳුම් ඉරා දමා පලායෑමට සූදානම් වූ පුද්ගලයන් සිව් දෙනකු කඩු පොලු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 19, 27, 28 සහ 29 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය කීය.

පොලිස් නිලධාරීන් දෙදෙනකු පෙරේදා (26 දා) රාත්‍රී අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී සැකකරුවන් හය දෙනෙකු පැමිණි ත්‍රිරෝද රථ දෙක නවතා පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. පොලිස් නිලධාරීන්ට පහරදෙන අවස්ථාවේ අවට සිටි පිරිස් සැකකරුවන් සිව්දෙනකු අල්ලා පොලිසියට භාරදී ඇති බවත්, තවත් දෙදෙනකු පලා ගොස් ඇති බවත් සඳහන් වේ. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහ බැගින් තිබී ඇති බවත් පැමිණි ත්‍රිරෝද රථ දෙක පරීක්ෂා කිරීමේදී කඩු දෙකක් සහ සුදු යකඩ පොල්ලක් තිබී හමුවී ඇති බවත් පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ එක් පොලිස් නිලධාරියෙක් මුහුණට සහ නාසයට සිදුවූ තුවාල සහිතව සීනවත්ත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරී වරුන්වන දුමින්ද රාජපක්ෂ සහ සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. ආර්. රත්නසිංහම් මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ මර්දන අංශ ස්ථානාධිපති පො.ප. නිශාන්ත සිල්වා, අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. අමිල ජයසේකර, රථවාහන අංශ ස්ථානාධිපති උ.පො.ප. ජයන්ත ගුණවර්ධන, සැරයන් (51907) අනුප්‍රිය, පො.කො. වරුන් වන (101363) ප්‍රසාද්, (10243) දිසානායක, (102952) කරුණාරත්න, (101362) අකිල යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment