විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි

37

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම සියලු දෙනාගේම අදහස් සඳහා අවස්ථාව හිමිවන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් 26 වැනිදා පැවති ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අමතමිනි.

දිවයිනේ පළාත් 09 ම ආවරණය වන පරිදි කලාප 100 ක ස්ථාපිත කර ඇති සෑම කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවකින්ම වැඩිම මනාප ලබාගත් සභිකයන් දෙදෙනකු බැගින් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරති.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාවේ අනුග්‍රහයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා 26 වැනිදා පවත්වනු ලැබූ මැතිවරණයෙන් ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා කතානායක, අගමැති, නියෝජ්‍ය කතානායක යන ධුරයන්ද, අමාත්‍යවරුන් 10 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනකුද පත් කරනු ලැබූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන, පාසල් සිසුන්ට ජනාධිපති කාර්යාලය ඇතුළු කොළඹ පිහිටි විශේෂ ස්ථාන නැරඹීමේ අවස්ථාව ලබාදීමේ වැඩසටහන ඇසුරෙන් ප්‍රකාශයට පත් කරන ලද ‘පිබිදුනු සිසු මැති සබය’ කෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල මහතා විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබිණි.

එසේම මෙම අවස්ථාව සනිටුහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය. මෙහිදී ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානය නැරඹීමේ අවස්ථාවද ඔවුන් වෙත සළසා දුන්නේය.

ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකයන් වෙත සහතික පත් ප්‍රදානය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ එකම රට ශ්‍රී ලංකාව පමණක් වන නිසා අප ශේෂ රටක්. 1833 දී මෙරට ව්‍යවස්ථාදායක සභාව ආරම්භ කළා. එදා ඡන්දයක් පැවැත්වුණේ නැහැ. එහිදී සිදු වුණේ ආණ්ඩුකාරවරයා විසින් ලාංකිකයෝ කිහිප දෙනකු ඒ සඳහා පත් කිරීමයි. ලාංකිකයෙක්ට මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීම සඳහා අවස්ථාව ලැබුණේ 1912 දීයි. ඒ අවස්ථාවේ කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමි වුණේ නැහැ. දේපොළ හා අධ්‍යාපනය පදනම් කරගත් පන්දහසක පමණ පිරිසකට ඡන්දය ලබා දීමට අවස්ථාව හිමි වුණා.

ඉන්පසු 1931 දී මෙරටට සර්වජන ඡන්දබලය හිමි වුණා. ඒ අනුව වයස අවුරුදු 21ට වැඩි කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම ඡන්ද බලය හිමි වූ ආසියාවේ පළමු රට බවට අප පත් වුණා. එදා සිට මේ දක්වා ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂය තහනම් නොකර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ගෙන යන එකම ආසියානු රට ශ්‍රී ලංකාවයි. 1931 න් පසු අනෙක් සෑම රටකම විපක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව තිබෙනවා. අපට කොපමණ බැන්නත්, දොස් කිව්වත් අඩුපාඩුකම් ගණනාවක් සමඟ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය අප ආරක්ෂා කර තිබෙනවා. පසුව ඩොනමෝර් ක්‍රමය යටතේ අපට අමාත්‍ය ධුර හතක් ලැබුණා. අමාත්‍ය ධුර තුනක් සුදු ජාතීන් විසින් තබා ගත්තා. පසුව ඒ සඳහා ද ලාංකිකයන් පත් කරනු ලැබුවා. මේ සභාව විසින් කමිටු හතක් පත්කර එයින් සභාපතිවරු හත්දෙනකු පත්කර ගනු ලැබුවා. ඔවුන් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළා. මොකද ඒ කාලේ දේශපාලන පක්ෂ තිබුණේ නැහැ. ලෝක යුද සමයේදී යුද කටයුතු හැර අනෙක් සියලු කටයුතු ලංකාවට භාර දුන්නා. මොකද ඒ කාලේදි ශ්‍රී ලංකාව කටයුතු කළේ බි්‍රතාන්‍ය, අමෙරිකාව සහ සෝවියට් දේශයත් සමඟයි.

ඉන්පසු සෝල්බරි ව්‍යවස්ථාව අනුව අපට නිදහස හිමිවුණා. පළමුවෙන්ම ඔබ මේ සිටින ගොඩනැඟිල්ල ඉදි කළේ ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමටයි. ඉන්පසු ඩොනමොර් කොමිසම මේ සභාවේම ඇති කළා.

නැවත මහජන මන්ත්‍රණ සභාව ලෙසද මෙය ක්‍රියාත්මක වුණා. සෙනෙට් සභාව සහ මහජන මන්ත්‍රණ සභාවද තිබුණේ මෙම ස්ථානයේයි. 1972 වසරේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ විට මෙය ජාතික රාජ්‍ය සභාව බවට පත්වුණා. 1977 දී මා ඇතුළු වුණේ ජාතික රාජ්‍ය සභාවටයි. ජාතික රාජ්‍ය සභාව නියෝජනය කළ සිවුදෙනෙක් අද පාර්ලිමේන්තුවේ සිටිනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු 1970ත්, ආර්. සම්බන්ධන් මහතා සහ මම 1977 දීත් මෙහි පැමිණියා. 1977 දී මෙරට විධායක ජනාධිපති ක්‍රමයට පිවිසුණා. 1982 දී අප අලුත් පාර්ලිමේන්තුවට ගිය පසු මෙම ගොඩනැඟිල්ල ජනාධිපති කාර්යාලය බවට පත් වුණා.

මේ පසුබිම තුළ ලෝක යුද්ධ, අභ්‍යන්තර යුද්ධ තිබුණත් අප කිසි දවසක ප්‍රජාතන්ත්‍රවාදය වගේම ආණ්ඩුවේ සහ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය නැති කළේ නැහැ. මේ ක්‍රමවේදය නිසා සියලු දෙනාගේම අදහස් ඉදිරිපත් කෙරුණා. මේ පාර්ලිමේන්තු ක්‍රමය අප ආරක්ෂා කළ යුතුයි. මුළු ආසියාවටම සහ අප්‍රිකාවට එය සිදු කර තිබෙන්නේ රටවල් දෙකක් පමණයි. එකක් ශ්‍රී ලංකාව වන අතර අනෙක් රට වන්නේ මුරුසි රාජ්‍යයයි. එසේ නම් අපි සියලු දෙනා එක්ව මෙය ආරක්ෂා කළ යුතුයි. යුරෝපයේද ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව පවත්වා ගෙන ගියේ මහා බි්‍රතාන්‍යය, අයර්ලන්තය, ස්විස්ටර්ලන්තය සහ ස්වීඩනය පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගෙන යාම පිළිබඳව අපට උපදෙස් දෙන අනෙක් සෑම රටක්ම පාහේ අඩොල්ෆ් හිට්ලර්ගේ පාලනයට යටත් වුණා. මෙම ක්‍රමවේදය පවත්වා ගෙන යෑම පිළිබඳව ඉගෙනීමට මෙතැන සිටින ඔබ කැමති ඇති. ඒ වගේම දේශපාලනය පිළිබඳව ඉවක් තිබෙන අයද මෙතැන සිටිය හැකියි. ඒ සඳහා ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව පදනම වනු ඇති බව විශ්වාස කරනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්වරුන්, අතිරේක ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment