දද සහ කුෂ්ඨ රෝග ඇතිවීමට හේතු

1

අප කොයි කවුරුත් අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නට බලපාන එක් හේතුවක් වනුයේ සමේ පැහැපත් බවයි. සමේ මෙම පැහැපත් බව අඩුවීමට බලපාන කරුණු අතර සම මත හටගන්නා දද සහ කුෂ්ඨ රෝග ප්‍රධාන තැනක් ගනී.

දද සහ කුෂ්ඨ

සම මත දද සහ කුෂ්ඨ හටගැනීමට හේතු කිහිපයක් බලපායි. පරම්පරාවට ඇතිවන දද සහ කුෂ්ඨ සහ අසාත්මිකතා නිසා ඇතිවන දද සහ කුෂ්ඨ ලෙස ප්‍රධාන වශයෙන් හඳුනාගෙන ඇත.

පරම්පරාවට ඇතිවන දද සහ කුෂ්ඨවලදී දෙමාපියන්ගෙන් දරුවන්ට ඇතිවන දද සහ කුෂ්ඨ මෙන්ම ආච්චි සහ සීයාගෙන් මුණුපුරන්ට ඇතිවන දද සහ කුෂ්ඨ ලෙස ද දැකිය හැකිය.

අසාත්මිකතා නිසා ඇතිවන දද සහ කුෂ්ඨවලට හේතු ලෙස ආහාර පාන ඇතැම් ඖෂධ වර්ග අසාත්මික වීම ශීත දේශගුණයේ බලපෑම සහ කිසියම් බාහිර රසායනික ද්‍රව්‍යයක බලපෑම බොහෝවිට දැකිය හැකිය.

මෙවැනි කරුණු අනුව දද සහ කුෂ්ඨ රෝග සාධ්‍ය සහ අසාධ්‍ය ලෙස වර්ග කළ හැකිය. සාධ්‍ය දද සහ කුෂ්ඨ යනු ඉතා ඉක්මනින් සුවයක් කළ හැකි ඒවාය. අසාධ්‍ය යනු සුවපත් කිරීම සඳහා කල් ගතවන ඒවාය. පරම්පරාවට මතුවන දද සහ කුෂ්ඨ බොහෝමයක් අසාධ්‍ය වර්ගයට අයත්ය.

දද සහ කුෂ්ඨ ඇතිවන අයුරු

අපගේ සම ස්ථර හතකින් යුක්තය. මතුපිටින් අපට දැකිය හැක්කේ හත්වැනි ස්ථරය ලෙස හඳුන්වන අජීවී සමය. සජීවි සම ඇත්තේ සිරුර අභ්‍යයන්තරයේය. එය පළමු ස්ථරය ලෙස හඳුන්වයි.

දද සහ කුෂ්ඨ ඇතිවීමේදී පළමුව බලපෑම ඇතිවන්නේ සජීවි සමටය. ඉන් පසු එය ක්‍රමක්‍රමයෙන් මතුපිට සම දක්වා වර්ධනය වේ. එනිසා සජීවී සමට හානි සිදුවී මාසයක් දෙකකින් පමණ පසු මතුපිට සමට එය ගමන් කළ හැකිය.

මෙලෙස ඇතිවන දද, කුෂ්ඨ රෝග අතර පොතු කබර, සුදු කබර ප්‍රධාන තැනක් ගනී. පොතු කබර රෝගයේ දී සමෙහි පොතු ගැලවී යෑමක් සිදුවේ. සුදු කබර රෝගයේදී සමේ පැහැය ඇති කරන මෙලනින් වර්ණකයට හානි සිදුවේ. එවිට එසේ හානියට ලක්වූ සම ප්‍රදේශය සුදු පැහැතිවේ. මේවා අසාධ්‍ය වර්ගයට අයත් දද කුෂ්ඨ රෝගවේ.

ප්‍රතිකාර කිරීම

දද සහ කුෂ්ඨ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය හඳුනාගත යුතුය. එහිදී බාහිරින් ඖෂධ වර්ග ආලේපය, දුම්වර්ග ඇල්ලීම ආදිය සිදුකරන අතර රෝග නිධානයට ප්‍රතිකාර ලෙස කසාය වර්ග ආදිය පානය කළ යුතුවේ. එය මතුව ඇති රෝග තත්ත්වය අනුව කොපමණ කාලයක් ගත යුතු දැයි තීරණය කරනු ලැබේ. ප්‍රතිකාර කිරීමේදී රෝගය පැතිරීම වැළැක්වීම සහ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ඖෂධ ලබාදේ.

අසාත්මිකතා නිසා මතුවූ දද කුෂ්ඨ ඉතා කෙටි කාලයකින් සුවපත් කළ හැකිය. එහිදී අසාත්මිකතාවයට බලපෑ ආහාරපාන ගැනීම වැළකී සිටීම සහ පාරිසරික බලපෑමක් හේතුවී ඇත්නම් එම පරිසරයේ ඈත්ව සිටීම ද කළ යුතුය. ඇතැම් අයට ශීතල පරිසරයේදී දද කුෂ්ඨ මතුවේ. එවැනි අය එම පරිසරයෙන් ඈත්ව සිටිය යුතුය.

ප්‍රතිකාර ගැනීමේදි මස් මාංශ ආහාර වර්ග ගැනීමෙන් වැළකී සිටීම ක්‍ෂණික ආහාරපාන ගැනීමෙන් වැළකී සිටීම, රසකාරක යෙදූ ආහාර පාලන ගැනීමෙන් වැළකී සිටිම මගින් රෝගය ඉක්මනින් සුවපත් කරගත හැකිය. එසේ නොවුණහොත් රෝගය සුවපත්වීමට බොහෝ කාලයක් ගතවනු ඇත.

සාමාන්‍යයෙන් අසාත්මිකතා ආදිය නිසා ඇතිවන සාධ්‍ය ගණයේ දද කුෂ්ඨ ආදී රෝග මාසයකට අඩු කාලයකදි සුවපත් කිරීමේ හැකියාවක් පවතී. පරම්පරා ගතව සහ අසාධ්‍ය ගණයේ දද සහ කුෂ්ඨ රෝග සඳහා මාස තුනක පමණ කාලයක් හෝ ඊට වැඩි කාලයක් ගතවිය හැකිය. එය මතුව ඇති රෝග තත්ත්වය අනුව තීරණය වේ.

වැඩි විස්තර සඳහා දුරකථ අංක 0777709529 ඇමැතිය හැකිය.

දද සහ කුෂ්ඨ රෝග ඇතිවීමට හේතු

වෛද්‍ය පියල් එදිරිසිංහ
MD (බෙලරූස්) DA (ශ්‍රී ලංකාව)
එදිරිසිංහ වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 39, කොටහේන වීදිය, කොළඹ 13

advertistmentadvertistment
advertistmentadvertistment