සිව්දෙනකුගේ පවුලකට මාසයක් ජීවත් වෙන්න  වියදම රු. 53,840ක්

122

වැඩිම වියදම කොළඹ පදිංචිකරුවන්ට:  අඩුම මොනරාගල

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මාසික දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම වාර්තාවට අනුව සිව්දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රු.53,840 ක් වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම නවතම වාර්තාවට අනුව අගෝස්තු මාසයේ මෙරට එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රු. 13,460 ක් වේ. මෙම අගය 2022 ජූලි මාසයේදී රු. 13,138 ක් වශයෙන් වාර්තා විය.

2022 අගෝස්තු මාසයේ මෙම අගයට අනුව සිව්දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රු.53,840 ක් ලෙස ගණනය කළ හැකිය. පෙර මාසයට සාපේක්ෂව 2022 අගෝස්තු මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයකුට වන අතර එය රු. 14,517 කි. මෙහි අවම අගය වාර්තා වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රු.12,870 ක් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment