ජනාධිපති රට ඉන්දියාවේ බිල්ලට දීම යස අපූරුවට සිදුකර ගෙන යනවා

75

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
බොරළුගොඩ සිංහයන්ගේ හා රාජපක්ෂලාගේ සාධුකාරයෙන්

බොරළුගොඩ සිංහයෝ-රාජපක්ෂලා- පොහොට්ටුකාරයෝ සාධුකාර දෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දීම යස අපූරුවට සිදුකර ගෙනයන බවත් බලයට ඉව අල්ලන සියලු‍ දේශපාලන පක්‍ෂ ඉන්දියාවේ හිත ඌයියා වෙයි කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

පාදුක්ක වේරගලදී පෙරේදා (02දා) පැවති “9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?” යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් වීරවංශ මහතා එසේ පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද සඳහන් කළේය.

අද රටට වෙන්නේ මොකද?‘ කියා හිතන්න බැරි තරමට ජනතාව අමාරුවේ වැටිලා ඉන්නේ. ජීවිතය පවත්වා ගැනීම ඉතාමත් දුෂ්කරයි. මේ ආණ්ඩුව ඒ වාසිය තමයි ගනිමින් ඉන්නේ. අද වන විට අදානි කියන ඉන්දියානු ධන කුවේරයාට මන්නාරමින් අක්කර ගණනාවක් ලබාදී තිබෙනවා, සුනිත්‍ය විදුලි බලය නිපදවීමට. අදාළ ගිවිසුම අනුව ඔහු නිපදවන විදුලිය ඒකකයක් වසර 9ක් පුරා, මිල සංශෝධනයකින් තොරව, රුපියල් 50කට ආසන්න මුදලකට ශ්‍රී ලංකා රජය මිලදී ගත යුතුයි. නමුත් අපේ රටේ අය ‘සූර්ය පැනල‘ මගින් නිපදවන විදුලිය ඒකකයක් විදුලි බල මණ්ඩලය මිලදී ගන්නේ රුපියල් 16කට ආසන්න ගණනකට. ඉතින් ඉදිරියේදී විදුලි බිල අඩු වෙයිද? ඒ විතරක්ද? ජාතික ආරක්ෂාව හා තදින් බැඳුණු, ලාභ ලබන, ටෙලිකොම් සමාගම දෙන්න හදන්නේ ඉන්දියානු සමාගමකට. ඒ වගේම විදුලි බල මණ්ඩලයත් කෑලි කඩලා දෙන්න හදන්නේ ඉන්දියානු සමාගම්වලට. ඉදිරියේදී අපේ රටේ ආර්ථික මර්මස්ථාන සියල්ල ඉන්දියානු සමාගම් වළල්ලක් අතට පත්වීමට අවශ්‍ය කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව සිදුකරගෙන යනවා. ඒ අස්සේ සිදුකරන භයානකම දේ තමයි ‘එට්කා ගිවිසුම‘ අත්සන් කිරීම. ඉන්දියාව, දැන් අපට හරි ආදරෙයි කියලා පෙන්වමින් සිටිනවා. ඉන්දියාවේ විදේශ ඇමති සංචාරකයන්ට කියනවා, ‘ඔයාලා සංචාරය සඳහා යනවා නම් ලංකාවට යන්න’ කියලා. ඒකෙන් චූන් වුණු ලංකාවේ සංචාරක ඇමැති, ඉන්දියාවට ගිහින් කියනවා, ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ කියා. එයාට තියෙන්නෙ ප්‍රනාන්දු වාසගමනේ. එහෙම බැලු‍වාම මේ රට පෘතුගාලයේ කොටසක්. තවත් මේ රටේ තිබෙන වාසගම් බැලු‍වාම මේ රට ඕලන්දයේත් කොටසක් කියා කිව හැකියි. ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ කියා හරීන් ප්‍රනාන්දු කියන්නෙ වැරදීමකින් නොවෙයි. එයා දන්නවා ඒක තමයි ඉදිරියේදී වෙන්නේ කියා.

advertistmentadvertistment
advertistmentadvertistment