අධිකරණ ඇමැති ඉදිරිපත් කළ -21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපති බලතල අඩු කරනවා වෙනුවට බලතල වැඩිකරලා – සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

168

නව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධන තුළින් ජනාධිපතිවරයාගේ බලතල අඩුකරනවා වෙනුවට ජනාධිපතිට ඇමැතිකම්ද ගතහැකි ලෙස බලතල වැඩිකර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

 ඒ මහතා මේ බැව් පැවසුවේ ඊයේ (29දා) විපක්ෂනායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

 අපට කිව්වේ අගමැතිවරයා හා ආණ්ඩුව 19 වැනි සංශෝධනය නැවත ගේනවා කියලා. ඒ වගේම ජනතාව බලාපොරොත්තු වුණේ 19ට එකතු කරලා 19 ප්ලස් එකක්. නමුත් අද ගෙනල්ල තියෙන්නේ 19 මයිනස් එකක්. මේ රටේ සියලුම ජනතාව කියන්නේ ජනාධිපතිතුමා ගෙදර යන්න ඕන කියලා. එහෙම තියෙද්දි විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිතුමා ගෙන ආපු සංශෝධනයේ තියෙනවා 19 වැනි සංශෝධනයටත් එහා ගිහිල්ලා ජනාධිපතිගේ බලතල අඩු කරනවා වෙනුවට ජනාධිපතිට ඇමැතිකම් ගන්න පුළුවන් කියලා. නමුත් 19 වැනි සංශෝධනයේ තිබුණේ ජනාධිපතිවරයාට කිසිම ඇමැතිකමක් හොබවන්න බැහැ කියලා. අධිකරණයේ තීන්දුවක් දීලා පාර්ලිමේන්තුවේ 19 සංශෝධනය සම්මත කරලා තියෙන්නේ. ජනාධිපතිවරයාට කිසිම ඇමැති ධුරයක් දරන්න බෑ. අද මේ රටේ ජනතාව ඉල්ලන දෙයට විරුද්ධවයි නව සංශෝධන තියන්නේ.

 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි පක්ෂයක් විදිහට ඊට සහයෝගය දෙනවා. මොකද අපි එයට අත උස්සපු අය.

 අපි සමගි ජන බලවේගය විදිහට අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ සංශෝධන මොනවද කියලා පක්ෂයේ මහ ලේකම් විදියට පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාවේ තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. අපි විතරක් නෙමෙයි එය නීතිඥ සංගමය ඉදිරිපත් කළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. අපි ඒ ගැන ඇහුවම කියනවා මේකට ජනමත විචාරණයක් ඕන කියලා. අපි ආණ්ඩුවට කියන්නේ අපි ඉදිරිපත් කරපු යෝජනාව තුනෙන් දෙකකින් සම්මත කරන්න. ජනමත විචාරණයක් තියන්න සුදුසු වකවානුවක් ආවම ඒකට ජනමත විචාරණයක් තියන්න කටයුතු කරන්න. ජනාධිපතිවරයා සමග අපි අවස්ථා කිහිපයක සාකච්ඡා කරලා කිව්වා ඉල්ලා අස්වෙන්න කාලරාමුවක් දෙන්න කියලා. අපි කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යම් කාල රාමුවක් දෙන්න 19 ට ඡන්දය දෙන්නම්. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන්න කාලරාමුවක් ලබාදෙන්න. අපේ 21 වැනි සංශෝධනය යෝජනා සංඛ්‍යාවක් ගෙනත් තියනවා. ඉන් එකක් තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත්කරගත යුතුයි. එහිදී ජනාධිපතිවරණයට යන වියදම ඉතුරු වෙනවා. එම නාමික ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කළ යුතුයි. අගමැතිවරයාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතුයි. පළාත් ආණ්ඩුකාරවරු නාමික ජනාධිපතිවරයා සහ

 අගමැතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියා කරයුතුයි. ජනතාව ඉල්ලා සිටිනවා සාමාන්‍ය ජනතාව එක එක ක්‍ෂේත්‍රවල විද්වතුන්ටත් මේ රටේ පාලනයට සම්බන්ධ වෙන්න ඕන කියලා. අපේ යෝජනා අතර එයත් තිබෙනවා. ජාතික සභාවක් පත් කරන්න ඕන කියලා. පාර්ලිමේන්තුවේ අගමැති විපක්ෂ නායක මුදල් ඇමැති විදේශ ඇමැති ආරක්ෂක ඇමැති ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු

 කිහිප දෙනෙක් සහ එක එක ක්ෂේත්‍රවලින් ගත්ත දොළොස් දෙනෙක්ගෙන් සමන්විත විසි එක් දෙනෙක් යෝජනා කරලා තියෙනවා.

 ඒ වගේම අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහාට මෙහාට පනිනවා. ජනතාව කියන්නේ මුදල්වලට තනතුරුවලට පනිනවා කියලා. ඒ වෙනුවෙන් යෝජනා කරලා තියෙනවා ඒ මන්ත්‍රීවරුන්ට විනය කටයුතු කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. නමුත් දිසා අධිකරණයකට ගිහින් එයට තහනම් නියෝග ගන්නවා. අපි ඒක වෙනස් කරලා තියෙනවා. දිසා අධිකරණයෙන් තහනම් නියෝග ගන්න එක වළක්වලා. එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගන්න කියලා.

 පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය

 මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය දීලා ජනාධිපතිවරයා පත් කරගත්තා. ඔහු දැඩි වේගයකින් කටයුතු කළා. දැන් නැවතත් රටම ගල් යුගයකට යන්න සිදුවෙලා. ගල් ලෑල්ලේ ලියන, දර ළිපේ උයන, කරත්තේ ගමන් බිමන් යන තත්ත්වයට පත්වෙලා. ඒ බව ලෝකයම දැන් දන්නවා.

 යහපාලන රජයේ රටේ සංචිත ඩොලර් බිලියන 7කට ආසන්න ඉතුරු කළා. නමුත් අද රටේ ඩොලර් නැහැ. එය කොවිඩ්වලට කියලා වෙන වෙන දේවල් වලට වියදම් කරලා. දැන් විදේශ ශ්‍රමිකයන්ට කියනවා ඩොලර් දෙන්න කියලා. අපිට මතකයි විදේශ ශ්‍රමිකයන් ඡන්දය පාවිච්චි කරන්න අපේ රටට ආවා. අපේ රටට විදේශ විනිමය විශාල ලෙස ශ්‍රමිකයන් විසින් ලබා දෙනවා. නමුත් කොවිඩ් වසංගතය ලෝකයේ පැතිරෙන වෙලාවේ ඔවුන් මේ රටට එන එක වැළැක්වුවා. ඔවුන්ගේ මුදල් ගසා කෑවා. ආපු ශ්‍රමිකයට ගෙනා මුදල් කටුනායකදීම වියදම් කරන්න සිදුවුණා. ගජමිතුරන්ගේ හොටල්වලට එම ශ්‍රමිකයන් යවා නිරෝධනය කරලා විශාල මුදලක් ගසා කෑවා.

 දැන් අලුත් කැබිනට් මණ්ඩලයක් හා අලුත් අගමැතිවරයෙක් පත්වෙලා තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය වැඩි වෙනවා. අපි කියනවා අමාත්‍ය ධුර 15කට සීමා කරලා කාර්යමණ්ඩලය සීමා කරන්න කියලා. වියදම් අඩු කරන්න. ඒවා තමයි අරගලයේ ඔවුන් ඉල්ලන්නේ. මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් මමත් කියනවා වරප්‍රසාද අඩුවිය යුතුයි කියලා.

 අලුත් මුදල් ඇමැතිවරයාගේ වගකීමක් වෙනවා කරුණාකර තවත් එක එක අය සන්තෝෂ කරන්න නියෝජ්‍ය, රාජ්‍ය ඇමැතිකම් දෙනවනම් අඩුම ගානේ එය අවුරුදු දෙකකටවත් වළක්වන්න.

 අද මේ රජය අසමත් රජයක් බවට පත්වෙලා. සමගි ජන බලවේගය සූදානම් වගකීම නිවැරැදිව බාර අරගෙන වැඩ කරන්න. හැබැයි

 ගෝඨාභය රාජපක්ෂ එක්ක වැඩ කරන්න සූදානම් නැහැ. මේ ජනාධිපතිට දැනුමක් අත්දැකීමක් නෑ. පොළොවේ බලයක් නෑ. මේ අලුත් අගමැතිටත් ආණ්ඩුවටත් දෙයියන්ගේ පිහිටයි.

advertistmentadvertistment
advertistmentadvertistment