ඔබේ සම මත ඇතිවී ඇති කුෂ්ඨය මන්කිපොක්ස් රෝගය විය හැකි ද?

323

කුෂ්ඨයක් ඇතිවීම සඳහා බොහෝ හේතූන් බලපෑමට හැකි ය. කලාතුරකින්, ඒ හේතූන් අතර මන්කිපොක්ස් වෛරසය – එනම්, වඳුරු උණ වෛරසය – ද වේ.

 ඔබට මන්කි පොක්ස් (වඳුරු උණ) වැළඳී ඇතිනම් ඔබට නිරීක්ෂණය වනු ඇති පළමු රෝග ලක්ෂණ වනුයේ හෙම්බිරිස්සාවේ රෝග ලක්ෂණ – එනම්, නිතර විඩාව දැනීම, ගතට දැනෙන “ලෙඩ ගතිය” සහ උණ ස්වභාවය යි. මෙය වෛද්‍යවරුන් විසින් රෝගයේ “ආක්‍රමණ සමය” ලෙස හඳුන්වන අතර, මෙසමයේ දී වෛරසය ඔබේ සෛල තුළට ඇතුළු වෙමින් පවතියි. ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වෛරසයට එරෙහිව සටන් කිරීමට “බලමුළු” තරකර ගනිමින් සිටින නිසා ඔබේ වසා ග්‍රන්ථි ඉදිමී තිබෙන්නාක් මෙන් දැනෙනු ඇත. මීළඟට මතුවන්නේ විවිධ අවධීන් හරහා වර්ධනය වන කුෂ්ඨයකි. එය රතු පැහැ, පැතලි කුෂ්ඨයක් ලෙස මතුවන අතර, ක්‍රමයෙන් බිබිලි සේ ඉහළට ඉලිප්පුණු, දියබිබිලි සහිත කුෂ්ඨයක් බවට හැරී, අනතුරුව සම මත කබොලු ඇතිකර යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ වෛද්‍ය රොසමුන්ඩ් ලෙවිස් මෙය මෙසේ පැහැදිලි කරන්නී ය: “ඒක ආරම්භ වෙන්නේ අපි “මැකූල” කියලා හඳුන්වන දෙයක් විදියට. ඒ කියන්නේ හම මත ඇතිවෙන රතු පාට ප්‍රදේශ. ඊට පස්සේ ඒවා පැපියුල විදියට වර්ධනය වෙනවා. මේවා අපට අතට අහුවෙනවා. මොකද ඒවා බිබිලක් වගේ උඩට නෙරා එනවා. “මීළඟට මෙම රතු පැහැ බිබිලි හා ගැටිති දියබිබිලි බවට පරිවර්තනය වන අතර, සැරවා මෙන් පෙනෙන සුදු පැහැ ස්‍රාවයකින් පිරී යයි. අනතුරුව මෙම සැරවා බිබිලි වියළීගොස් කබොලු සෑදේ. අවසානයේ දී මේවා සුවවී, කබොලු හැළී යනු ඇත.

 “ඒ නිසා තමයි මේක පැපොල රෝගය කියලා කට්ටිය වරදවා වටහාගන්න ඉඩක් තියෙන්නේ,” වෛද්‍ය ලෙවිස් පවසයි. මන්කිපොක්ස් කුෂ්ඨය සාමාන්‍යයෙන් මුලින්ම මතුවන්නේ මුහුණෙන් සහ ඇතැම්විට මුඛයෙනි. ඉන්පසු ඒවා බාහු සහ ගාත්‍රාවලටත්, අත්පාවලටත්, කඳ ප්‍රදේශයටත් පැතිරේ. මෑතක දී වාර්තා වූ ඇතැම් රෝගීන්ට කුෂ්ඨය මතුව තිබුණේ ලිංග ප්‍රදේශය අවට ය. “(ඇඳුම්වලින්) වැහිලා තියෙන නිසා කුෂ්ඨය සමහර වෙලාවට පිටතට නොපෙනෙන්න පුළුවන්,” වෛද්‍ය ලෙවිස් ප්‍රකාශ කරයි. රෝගියාගේ සමේ වර්ණය මත පදනම්ව තරමක් වෙනස් වර්ණ ගතහැකි මෙම කුෂ්ඨය හරහා, ඇඳ ඇතිරිලි හා කොට්ට උර මත වෛරසය තැවරිය හැකි ය. බි්‍රතාන්‍යයේ චර්ම රෝග විශේෂඥයන්ගේ සංගමයේ සභාපතිනී, වෛද්‍ය ටාන්‍යා බ්ලීකර් මෙසේ පවසයි: “විවිධ වර්ගයේ කුෂ්ඨ එකිනෙකින් වෙන්කර හඳුනාගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, ඔබට යම් සැකයක් ඇත්නම්, මෙම උපදෙස් අනුගමනය කර එය පරීක්ෂා කරවාගන්න.”

advertistmentadvertistment
advertistmentadvertistment