යුක්තිය තවදුරටත් අවශ්‍ය ඇයි හෙවත් සීසර්ලාගෙන් රට බේරාගැනීම

802

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ගුවන්විදුලි විකාශනාගාරයක සම්ප්‍රේෂණ කටයුතු මීට දින කිහිපයකට පෙර කඩාකප්පල් විය. කිලෝමීටර් 30-40ක් ඈතින් පිහිටි යෝධ ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුලුනේ හටගත් ආබාධයක් නිසා මෙසේ වන්නට ඇතැයි සිතූ එම ගුවන්විදුලියේ ලොක්කෝ ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුලුන තිබෙන තැනට නඩත්තු කණ්ඩායමක් යැවූහ. නඩත්තු කණ්ඩායම අදාළ ස්ථානයට යනවිට ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුලුන සම්පූර්ණයෙන්ම අතුරුදන්ව තිබිණ. එනම් කිසියම් සොරුන් පිරිසක් ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුලුන ගලවාගෙන ගොස් පරණ යකඩවලට විකුණා තිබිණ. එම ගුවන්විදුලි කුලුනේ උස අඩි 200කි. බර ටොන් 100කි. ඇමරිකාවේ ඇතැම් පළාත්වල තත්ත්වය ලංකාව හා සමාන වී ඇති බව පෙනේ. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වටිනා යකඩ හා තඹ කොටස් කුඩුකාරයන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි අපට දැනගන්නට ලැබිණ. එසේම අලුතින් ඉදිකළ කැලණි පාලමේ විදුලි ආලෝක ධාරා පද්ධතිය ද කුඩ්ඩන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි අපට පසුගියදා ආරංචි විය. අලුත් කැලණි පාලමේ යකඩ ටොන් දහස් ගණනක් තිබේ. ආරක්‍ෂක අංශ මගින් මේ පිළිබඳ විමසිල්ල අත්හැරියොත් කුඩුකාරයන් සතියක් ඇතුළත මුළු පාලමම ගලවාගෙන යනවා ඇත. කුඩුකාරයෝ අතට හසුවන හැම දෙයක් ම සොරකම් කරති. කැලණි ගඟ හරහා සාදා තිබූ වසර සියයකට වඩා පැරණි පාලමක් ගලවා ඉවත් කළ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව එතැන අලුත් පාලමක් සවි කළේය. ඉන්පසු පැරණි පාලමේ යකඩ බාර් කිහිපයක් ද පාලමේ අඩියට යොදා තිබූ විශාල තේක්ක කඳක් ද සිහිවටනයක් වශයෙන් පාලම පසෙක සෑදූ යකඩ කුටියක් තුළ තැන්පත් කරන ලදි. අද වනවිට මේ යකඩ කැබලිවලින් සියයට අනූවක් ම කුඩ්ඩන් විසින් සොරකම් කරනු ලැබ ඇත. එසේම යකඩ කුටියේ ගැලවීමට හැකි සෑම කොටසක්ම ගලවාගෙන ගොස් තිබේ. ඊට අමතරව අවුරුදු සිය ගණනක් පැරණි තේක්ක කඳ සොරකම් කරගෙන ගොස් එයින් දර පලා ප්‍රයෝජනයට ගෙන ඇත. තේක්ක ලී රජවරු පවා ලිපට නොදමති. ලංකාවේ නාගරික පහළ මධ්‍යම පංතියේ ජනයාගෙන් වැඩි දෙනාට කිසිදු සංස්කෘතික අවබෝධයක් නැති අතර ඔව්හු පුරාවස්තු ලෙස සැලකෙන තේක්ක ලී දරට දමති.

චෞර සංස්කෘතිය පිළිබඳ නිග්‍රහ කිරීම සඳහා ඉහත සඳහන් ඡේදය මෙහි බහාලන ලද නමුදු අපගේ ප්‍රමුඛ මාතෘකාව වන්නේ වෙනත් කාරණයකි. ඒ වූකලී ලීසිං මාරයා පරාජය කිරීම පිණිස වැඩබලන පොලිස්පති විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත පෙබරවාරි 8 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයකි. එම චක්‍රලේඛයට අනුව මින්පසු සීසර්ලා හරහා වාහන පැහැර ගැනීමට මින් ඉදිරියට ලීසිං මාරයන්ට අවස්ථාව නොලැබේ. ඒ සඳහා උසාවි තීන්දුවක් සහ පොලිසියේ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය ය. මෙවැනි චක්‍රලේඛයක් මීට අවුරුදු 3කට පමණ පෙර ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිව සිටියදී ද නිකුත් කරන ලද බවත් අපට මතක ඇත. එයට හේතුව ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිතුමා සීසර්ලා විසින් පොළොවේ ගසා මරා දැමීමය. ඊට පසු ස්වල්ප කලකට සීසර්ලා නිහඬ වූහ. අනතුරුව සීසර්ලා පිරිසක් වාහනයක් පැහැර ගැනීමේදී එය අයිති යුවළගේ කුඩා දරුවාගේ ගෙල මිරිකා මැරීමට තැත් කළ බවත් දැනගන්නට ලැබිණ. එම ලීසිං කොම්පැනිය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට අයත් එකකි. ළමයාගේ බෙල්ල කරකැවීමට හැදූ මාරයා ද ලීසිං සමාගමේ මැනේජර් ද අත්අඩංගුවට ගත් නමුත් ඉන්පසු කුමක් වූවේද යන්න ගැන ආරංචියක් නැත. ඉන්පසු මෑතකදී ද වෑන් එකක අයිතිකරුවකු බිමට ඇද දමා සීසර්ලා පිරිසක් එම වෑන් එක පැහැරගෙන යන හැටි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ලීසිං කොල්ලකරුවන් විසින් වාහනය පැහැරගෙන යන අතර ක්‍රියාත්මක වූ පොලිසිය මගදීම මංකොල්ලකාරයන් පිරිස අල්ලාගෙන වාහනය ආපසු අයිතිකරුට ලබාදී තිබිණ. මේ රටේ වාහන ලීස් කර ඇති අය හොඳ තත්ත්වයේ කිතුල් පොල්ලක් වාහනවල තබාගත යුතුය. ලීසිං කට්ටිය වාහනය පැහැර ගන්නා විට එම පොල්ලෙන් එකකුට හෝ දෙදෙනකුට පැණි හැලෙන්නට දුන්නේ නම් ප්‍රශ්නය යම් තරමකට විසඳා ගත හැකි වන්නේය. හැබැයි මෙය ලීසිං කළ වාහන තිබෙන රටවැසියන් සියලුම දෙනා කළ යුත්තකි. අපට දැනට තිබෙන ආරංචිය අනුව මේ රටේ සීසර්ලා සෑම දිනකම වාහන 15-20ත් අතර කොල්ල කති. මේ පිරිසට කිතුල් පොලු පහර දීගත හැකි නම් එමගින් තමාගේ පණ ද වාහනය ද ආරක්‍ෂා කරගැනීමට වාහන හිමිකරුට හැකියාව ලැබේ. සීසර්ලා වාහනයක් පැහැරගත් සැනින් මුලින්ම කරන්නේ ඒ ඔවුන්ගේ තිප්පොලකට ගෙන ගොස් වාහනයේ ඇති අලුත් ටයර් වෙනුවට පරණ ටයර් යොදා රේඩියෝ සෙට් සහ සියලුම වටිනා කොටස් ගලවා ගැනීමය. එමගින් වාහන අයිතිකරුට පාඩු කිහිපයක් සිදුවෙයි. ඒ වාහනය බේරා ගන්නාවිට සීසර්ලාගේ ගාස්තුව ද අහිමි වූ කොටස්වල පාඩුව ද යනාදී වශයෙන් මේ පාඩු දෙක විග්‍රහ කළ හැකිය. ආණ්ඩුව කොතරම් නීති පැනවුවත් ඒවා කඩාකප්පල් කර ස්වකීය අරමුණ වෙත ගමන් කිරීමේ වැඩපිළිවෙළක් අපේ රටේ දාමරික සමාජයට ඇත. යුක්තිය මෙහෙයුම තවදුරටත් පවත්වාගෙන යෑම වැදගත් වන්නේ මේ නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment