සැබෑ නත්තල අරුත් ගන්වමු

367

නත්තල් සමය පැමිණ තිබේ. එසේම අලුත් වසරක (2024) අභිමුව අපි සිටින්නෙමු. කොටින්ම කියතොත් වෙනත් වසරවල නම් මේ කාලය උත්සවශ්‍රීයෙන් ඇළලෙන කාලයකි. එහෙත් මෙදා සැරේ ජනතාවගේ අත මිට සරුවී නැත. එනිසාම වෙනත් වසරවල දැකිය හැකි උත්සවශ්‍රීය මෙම කාලයේදී දැකිය නොහැක.

අද ජීවත් වුණත් හෙට ජීවත්වන්නේ කෙසේද කියා ප්‍රශ්නාර්ථයේ සිටින ශ්‍රී ලාංකිකයෝ බහුතරය දිවි ගෙවන්නේ උසුලාගත නොහැකි ජීවන බරකිනි. මෙම තත්ත්වය මැනවින් තේරුම්ගෙන ඇති කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමාණෝ පවසනුයේ මෙවර නත්තල සැමරිය යුත්තේ දිළින්දන් සමඟ බවයි. දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයන් තෝරාගෙන ඔවුනට නත්තල් දින දහවල් ආහාරය දේවස්ථානවලින් ලබාදෙන ලෙස මෙරට සියලුම කතෝලික මීසම් භාර පාලකතුමන්ලාගෙන් උන්වහන්සේ ඉල්ලීමක් කර තිබේ. නත්තල් දින දිවා ආහාරය තමන්ද ගනු ලබනුයේ දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන පුද්ගලයන් 200 ක කණ්ඩායමක් සමඟ බවද උන්වහන්සේ අවධාරණය කරති. මෙවර නත්තල් දින තේමාව කරගෙන ඇත්තේ දිළින්දන්ට සරණ වෙමින් ඔවුන්ගේ කුසගිනි නිවීම බව කොළඹ රදගුරු මැඳුරේ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කාදිනල්තුමන්ගේ මෙම ක්‍රියාකලාපය දුටු විට අපට නිරතුරුවම සිහිවන නමක් වන්නේ ගරු මර්සලින් ජයකොඩි පියතුමන්ය. කලාකාමී හදවතක් තිබූ එම පියතුමාණෝ නත්තල අර්ථ ගන්වනු ලැබුයේ මේ අයුරිනි.

මගේ නත්තල දුගියා බත් කන දාය
මගේ නත්තල වැරහිලි නැතිවෙන දාය
මගේ නත්තල ඔබේ දුක සැනසෙන දාය
මගේ නත්තල පව පල්ලියේ යන දාය

පවතින ආර්ථික අර්බුදය හමුවේ කතෝලිකයන් පමණක් නොව අන් සියලු ජාතීන් බහුතරය මේ වන විට අන්ත දිළින්දන් බවට පත්ව තිබේ. එනිසාම මේ සියලු දෙනාට හැකි අයුරින් උපහාර කිරීම ඇති හැකි සෑම පාර්ශ්වයකම යුතුකම විය යුතුය.

සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද සමීක්‍ෂණයකින් හෙළිවී ඇත්තේ මේ වන විට යාචකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි. නගර සභා සහ මහ නගර සභා 65 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම සමීක්‍ෂණයේදී හෙළිවී ඇත්තේ යාචකයන් සංඛ්‍යාව 3700 කින් ඉහළ ගොස් ඇති බවයි. සමීක්‍ෂණයට අදාළ නොවූ අන් පළාත් පාලන ආයතනවල බලප්‍රදේශවලට අයත් ප්‍රමාණයද සැලකිල්ලට ගත්විට මෙම යාචකයන්ගේ ප්‍රමාණය තවත් බොහෝ ඉහළ යනු ඇත. එම සමීක්‍ෂණයට අනුව කොළඹ නගරයට පමණක් මෑතකදී යාචකයන් 1000 ක් අලුතෙන් සංක්‍රමණය වී ඇත. ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් ආයතන වැසී යෑම නිසා ඒවායේ සිටි ඇතැම් සේවකයන්ද මෙම යාචක පිරිසට එක්ව ඇති බවද අදාළ සමීක්‍ෂණයේදී හෙළිවී තිබේ.

රටක දුප්පත්කම වැඩිවීම, එනිසාම යාචකයන් වැඩිවීම අහම්බයක් නොවේ. රටක් දුප්පත් කිරීම නිසාම මහමඟට වැටෙන දිළින්දන් ප්‍රමාණයද වැඩිවීම අහම්බයක් නොවේ. මේ සියලු තත්ත්වයන්ට වගකිව යුත්තේ රට නිසිමගට මෙහෙය නොවූ පාලකයන්ය. එදා මෙදාතුරු රට පාලනය කළ සියලු ඇත්තෝ මේ සඳහා වගකිව යුතුය. වංචාවෙන්, දූෂණයෙන්, කොමිස්වලින් සහ විවිධ අයථා ක්‍රම ඔස්සේ අප රටේ දේපළ කොල්ල කෑ ස්වදේශීය දේශපාලන පැළැන්තිය මේ සඳහා වගකිව යුතුය. අපි මේ පිළිබඳව අනන්තවත් පෙන්වා දී ඇත්තෙමු. දැන්වත් වැරැද්ද නිවැරැදි කළ යුතුය. මේ රටේ සාගින්නෙන් පෙළෙන මිනිසුන්ගේ සාගිනි නිවීම සඳහා හදවතේ පුංචි හෝ තෙතමනයක් ඇති මිනිසුන් එක්කාසු විය යුතුය. ඒ සඳහා අවැසි දේශපාලනික පසුබිම සැකසීම ඇත්තේද ජනතාව අතේය. හොරුන් නොවන මහත්වරුන්, ජනතාවගේ දුක හඳුනන මහජන නියෝජිතයන් අදාළ ආයතනවලට යැවීමේ වගකීම ඇත්තේ ජනතාව අතේය. දේශපාලනිකව වෙනස් විය යුතු එම කාරණය පිළිබඳව එසේ සටහන් කරන අතරතුරුම මේ රටේ යමක් කමක් කළ හැකි පුරවැසියන්ටත් තමන්ට හැකි අයුරින් දිළින්දන්ට උපකාර කිරීම මේ මොහොතේ කළ හැකි ලොකුම පිංකම වනු ඇත. මිථ්‍යාවට යට නොවී තමන්ගේ දානය අර්ථවත් ලෙස සමාජගත කළ හැකි නම් එයද මේ මොහොතේ අප රටේ දිළින්දන්, අසරණයන් වෙනුවෙන් කළ හැකි ලොකුම සත්කාරය වනු ඇත.

එදා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ, නන්දා මාලනියන්ගේ මධුර ස්වරයෙන් ගැයුණු මේ ගීතය අදටත් වලංගු නොවේද?

බෝමැඩ වගුරන කිරි කළ දහසින්
වැලි මළුවේ කිරි දිය ගලා යයි
ඉන් එක කිරි කඳුළක් පිංවතුනේ
කිරට හඬන මගේ බිලිඳුට දුන මැන

advertistmentadvertistment
advertistmentadvertistment