නිවන් යෑම වෙනුවට හිරේ යෑම

1438

කහ රෙද්දක් ඇඟේ ඔතාගත් පමණින් කෙනකුට භික්ෂුවක් විය හැකිද? එසේ හැකිනම් අපි වැලේ තිබෙන කහ සිවුරටත් වැඳිය යුතු වෙමුද? කහ රෙදි ඇඟේ ඔතාගෙන හතර වටෙන් සල්ලි ගරන භික්ෂු ප්‍රතිරූපකයන් සංඛ්‍යාව ඉතා වේගයෙන් වැඩිවෙමින් පවතී. පන්සලේ ගේට්ටුවට, ආවාසයේ වහලයට, විහාර ගෙයි බිමට ටයිල් දැමීමට යැයි කියමින් මේ භික්ෂු ප්‍රතිරූපකයෝ ගෙයින් ගෙට ගොස් මහජනතාවගෙන් සල්ලි එකතු කරති. පන්සලේ ගේට්ටුව කවදාවත් හදා ඉවර වෙන්නේ නැත. අවාස ගෙයි වහලයද ඒ ආකාරයෙන්ම කවදාවත් නිම නොවී පවතී. විහාරගෙයි පොළවේ කටු සිමෙන්තියට ටයිල්වලින් වැසී යෑමේ වාසනාවක් ඇත්තේම නැත. ඒවා එසේ නොවුණද ස්වල්ප කලකින් භික්ෂු ප්‍රතිරූපකයා V 8 එකක් ගනී. එය ලැබුණේ කොහොමදැයි විමසන ලද කල්හි භික්ෂු ප්‍රතිරූපකයා දෙසා වදාරන්නේ පිට රට සිටින දායකයකු V 8 එක අරන් දුන් බවය. සැබෑ භික්ෂුවකට පෞද්ගලික දේපළ තිබිය නොහැක. ඒවා තිබිය හැක්කේ විහාරස්ථානයේ නමටය. එහෙත් පසුගිය දවසක අපවත් වූ ප්‍රසිද්ධ භික්ෂුවකගේ නමට ඇති ජීප් රථයක් සහ ඉඩකඩම් බෙදා ගැනීම පිණිස ගිහියෝ නඩු කියන්නට පටන් ගත්හ. මෙයින් හැඟෙන්නේ ඒ සිවුරු කාරයන් භික්ෂු ප්‍රතිරූපකයන් මිස භික්ෂුන් නොවන බවකි. ඔවුහු ගිහි සමාජයේ පාරිභෝගික භාණ්ඩ ගිහියන් සමග සමසේ පරිහරණය කර ඇත්තාහ. ප්‍රතිරූපකයා මියගිය කල්හි පැත්තක සිටින ගිහියන් දේපළ බෙදා හදා ගැනීමට නඩු යන්නේ එබැවිනි.

කට ඇරියොත් කුණුහරුප පමණක් කියූ රාජාංගනේ සද්ධාරතන නමැති දඩෝරියා මේ දිනවල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට එක එකා අත විවිධ පණිවිඩ එවයි. යළි කවදාවත් තම යූ ටියුබ් චැනල් එක හරහා කුණුහරුප නොකියන බවට මේ දඩෝරියා සහතික වෙයි. ඒ අතර පසුගිය දවසක ඔහු බැලීම සඳහා යූ ටියුබ් ශිල්පියෙක් වැලිකඩ රිමාන්ඩ් හිරගෙදරට ගියේය. තමා මුළු දවසම යූ ටියුබ් එක නරඹන බවත් එහි ඇති විවිධ සිදුවීම් දැකීමෙන් කෝපයට පත්වී තිත්ත කුණුහරුපෙන් ජාතිය අමතන ප්‍රකාශ යූ ටියුබ් එකට දැමූ බවත් කුණුහරුප දඩෝරියා විසින් යූ ටියුබ් ශිල්පියාට පවසන ලදී. හික්ෂුවක විසින් කරනු ලැබිය යුත්තේ මුළු දවසේම යූ ටියුබ් එකේ ලැගීම නොවේ. දහම් පොත් කියවා ඒවායෙහි ඇති විද්‍යාත්මක දැනුම ජනතාව අතර බෙදාහැරීම සැබෑ භික්ෂුන් වහන්සේගේ වගකීමය. රේරුකානේ චන්දවිමල හිමියෝ මෙසේ පිරිසිදු දහම් දැනුම බෙදාහල සඟරුවනකි. මඩිහේ පඥ්ඥාසීහ මහා නායක හාමුදුරුවෝ නිමක් නැතිව දහම් දැනුම බෙදූහ. වජිරාරාමයේ නාරද හාමුදුරුවන්ට සල්ලි උඩ පීනන්නට පුළුවන්කම තිබුණත් උන්වහන්සේ එසේ කළේ නැත. බහුජන හිත සුවය සඳහා විවිධ සමාජසේවා වැඩවල නිරත වූ උන්වහන්සේ හරි හරියටම දහම් දැනුම බෙදූහ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ ශාසනික මෙහෙය අපරිමිතය. උන්වහන්සේගේ කාලයේත් යූ ටියුබ් තිබුණි. උන්වහන්සේ පන්සල් හදන්නට හෝ ඉඩම් ගන්නට හෝ සල්ලි හිඟාකෑවේ නැත. රාජාංගනේ දඩෝරියා සිය යූ ටියුබ් චැනලය හරහා එක්කෝ කුණුහරුප කීවේය. නැතහොත් පන්සල සඳහා ආධාර දෙන ලෙස කියමින් ජනතාවගෙන් සල්ලි හිඟා කෑවේය. මිනිසුන් සල්ලි දීම මගහල විට එය පිටුපස වෙනත් කට්ටියක් සිටින්නේ යැයි සැකකොට තවදුරටත් කුණුහරුප විද්දේය. ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. ඔහු රිමාන්ඩ් එකේත් සිටින්නේ සිවුර පිටින් නම් එය කහ චීවරයට කරන අවමානයකි. කහ සිවුරකින් කරන්නේ විලි වැසීම පමණක් නොවේ. කහ සිවුර දහමෙහි සංකේතයකි. එය දරන්නා දහම් ගබඩාවකැයි මිනිස්සු සිතති. විලි වසා ගැනීමට නම් අමුඩයක් ගහගත්තත් මදෑ. රාජාංගනේ දඩෝරියා තමන් දන් වළඳන බවක් කවදාවත් කිව්වේ නැත. ඒ වෙනුවට ඔහු හැමදාමත් කිව්වේ බඩට බත් ටිකක් කන බවකි. නියම භික්ෂුහු එසේ නොකියති. ආහාර ගැනීම දන් වැළඳීම ලෙසත් ගමන් බිමන් යෑම වැඩම කරවීම ලෙසත් බෞද්ධ වාග් මාලාවේ අන්තර්ගතව තිබේ.

රාජාංගනේ සද්ධාරතන නමැති පුද්ගලයාට බැංකු ගිණුම් 12 ක් ඇති බවත් එයින් බැංකු ගිණුම් තුනක පමණක් රුපියල් කෝටි 6 ක් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෙළිකරගෙන තිබේ. මේ මුදල් එංගලන්තයේ සිටින දායකයකු විසින් එවන ලද බව සැකකාර භික්ෂුව පවසා තිබේ. ඇමරිකාවේ පදිංචි ඇඟලුම් ව්‍යාපාරික සිංහලයකු වන පින්සිරි ප්‍රනාන්දු ද විහාරස්ථානයක් සෑදීම පිණිස රාජාංගනේ සද්ධාරත්න නමැති අයට මුදල් එවා තිබේ. එයද රුපියල් කෝටි 6 ත් 7 ත් අතර ගණනකි. මීට අමතරව දේශීය සහ විදේශීය දානපතීන් බොහෝ දෙනා රාජාංගනේ පන්සල් ව්‍යාපෘතියට මුදල් එවා තිබිණ. ඒවා ඒ පින්වතුන්ගේ වැරදි ලෙස අපි දකිමු. යූ ටියුබ් එකෙන් තිත්ත කුණුහරුප කියමින් රාජ්‍ය නායකයන් ඇතුළු විශාල පිරිසකට බැන වදින කෙනකු උමතු රෝගියකු ලෙස හඳුනාගැනීම සඳහා වෛද්‍ය විද්‍යා උපාධියක් අවශ්‍ය නැත. එය සාමාන්‍ය දැනීම වේ. රාජාංගනේ සද්ධාරතන නමැති භික්ෂු ප්‍රතිරූපකයා පන්සල් භූමිය තුළ දහම් පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබේ. එහිදී ඔහු ඒ දරුවන් හැම දෙනකුටම නොමිලේ ආහාර ලබා දුන්නේය. එමතුදු නොව ගමේ මිනිහකු මළ විට අවසන් කටයුතු සඳහා රුපියල් 70,000 ක් පරිත්‍යාග කළේය. මේ හොඳ වැඩ සියල්ලම ඔහුගේ කුණුහරුප කට නිසා නිෂ්ප්‍රභ වී තිබේ. රාජාංගනේ භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ කතාව මේ රටේ සිටින ඇතැම් ශ්‍රමණ වේශධාරීන්ට බලගතු පාඩමකි. ඔහුගේ මොඩ්ල් එකෙන් සමාජ සේවය කරන්නට ගියොත් නිවන් යෑම කෙසේ වෙතත් හිරේ යෑම ෂුවර්ය.

advertistmentadvertistment
advertistmentadvertistment