රටේ කන්ට්‍රෝල් එක දැන් කා අතේද?

2068

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළට දැමීම සඳහා යහපාලන ආණ්ඩු කාලයේදී විශාල උත්සාහයක් තිබිණ. මෛත්‍රී සහ රනිල් ළඟ හිතවතුන් වූ බැවින් ඒ තැත ව්‍යර්ථ වී යැයි කියනු ලැබේ. 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 69 ලක්ෂයක් ලබාගෙන ජනාධිපති විය. තමන් ජනාධිපති වෙතැයි අත උඩ විශ්වාසය තබාගෙන සිටි සජිත් ප්‍රේමදාස ලබා ගත්තේ ඡන්ද 55 ලක්ෂයක් පමණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වීම මේ රටේ modern ප්‍රගතිශීලී තරුණ පරම්පරාවද, එහිම රැඩිකල් සෙට් එකද දක්නා ලද්දේ මහත් වූ දේශපාලන ප්‍රබෝධයක් ලෙසිනි. ගෝඨාභය ජනාධිපති වූ සැණින් ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් සිදුවීමට පටන් ගත්තේය. ඒ වූකලී රට පුරා පිහිටි සියලු තාප්ප, සියලු බෝක්කු සහ පොදු බිත්ති ඉතා වර්ණවත් චිත්‍රවලින් පිරෙන්නට පටන් ගැනීම ය. මේ චිත්‍ර යුරෝපයේ පුනරුද යුගයේ ශිල්පීන් විසින් අඳින ලද චිත්‍ර මෙන් දීප්තිමත් වර්ණ පාවිච්චි කර නිමවුම් කරන ලදී. සමහර චිත්‍රවල තිබුණේ ලංකාවේ ඉතිහාස කතාවය. තිස් අවුරුදු යුද්ධය රණවිරුවන් විසින් පරාජය කරන ලද හැටි ඇතැම් චිත්‍රවල විය. තවත් සමහර තාප්පයක තිබුණේ බෙහෙවින් දියුණු නගරයක චිත්‍ර ය. මේ සියල්ල ගෝඨාභය ට ඡන්දය දුන් තරුණ පිරිස විසින් ලද දේශපාලන ආලෝළනයේ ප්‍රතිඵල විය.

කොරෝනා අර්බුදය පටන් ගෙන රට යථා තත්ත්වයට පත්වී රසායනික පොහොර ප්‍රශ්නය ඇරඹුණු කාලයේදී කතාවක් පැවැත්වූ ගෝඨාභය රාජපක්ෂ 2019 දී තාප්පවල චිත්‍ර ඇඳි ඒ තරුණ පරපුර කොහේදැයි විමසා සිටියේය. එම පිරිස අපේක්ෂා භංගත්වයට පත්ව ගෝඨාභයගේ ඡන්ද පදනම තුළ ගිලී ගොස් ඇති බව ඊට උත්තර වශයෙන් අපි එදා කීවෙමු. ඊළඟට මෙම තරුණ පිරිස යළි මතුවනු අප විසින් දක්නා ලද්දේ ගෝල්ෆේස් පිට්ටනියේදී ය. මේ පිට්ටනියේ කොනක විරෝධතාවල යෙදෙන තරුණයන් විසින් පිහිටුවන ලද තාවකාලික කලාගාරයක් තිබේ. ඒ චිත්‍රවල ආඛ්‍යානයත් වර්ණ සංකලනයත් එදා 2019 දී තාප්පවලින් මතුවූ චිත්‍රවලට බෙහෙවින් සමානය. මීට සමාන්තරව රාජගිරියේ ගුවන් පාලමේ යට කොටසේ මේ දිනවල බිත්ති චිත්‍ර පෝලිමක් අඳිමින් පවතී. ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ විකෘතීන් සේ උලුප්පන චිත්‍ර එසේ අඳින ලද අලුත් චිත්‍රය. මේ තමයි 2019 දී ගෝඨාභය වෙනුවෙන් චිත්‍ර අඳින ලද තරුණ පිරිසේ රාජගිරියේ නියෝජනය. මෙය රැල්ලක් ලෙස පැතිර යෑම නොවැළැක්විය හැකිය. මේ තරුණ රැල එදා චිත්‍ර ඇන්දේත් ස්වකීය පුද්ගලික ධනයෙනි. ඔවුන් අද එය කරන්නේත් ඒ ක්‍රමයටම ය. මෙහිදී තීන්තකාරයන් පොහොසත් වීම වෙනම කාරණයකි. තරුණ පරපුරේ ආවේගය උරා ගැනීමට හැකි වීමෙන් ප්‍රාණයෙන් තොර බිත්ති සිදුකරන පිංකම ඉමහත්ය.

ඊයේ පැවති හර්තාල් ව්‍යාපාරයේ තිබූ සුවිශේෂ සලකුණ වූයේ රාජ්‍ය අංශය ද එයට සහභාගී වීමය. කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ VIP අංශය එහිම නිලධාරීන් විසින් වසා දමන ලදී. ඒ අනුව ජනාධිපතිතුමා රට යන්නට ආවත් යෑමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාව සමග පෝලිමේ ය. ඊට අමතරව විදුලි බල මණ්ඩලය ද වැඩේ බොක්කටම ගෙන හර්තාලය සමග එක්විය. වරාය ද හර්තාලයෙහි නියුතු වන බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ඊයේ වරායට නිවාඩු දෙන්නට යන බවක් ද ආරංචි විය. එසේ නිවාඩු දුන් විට වරාය සේවකයන් කරන්නේ කෙළින්ම ගෝල්ෆේස් ගොස් හර්තාලය ඩබල් කිරීම ය. රාජ්‍ය සේවකයන් හර්තාලයට එකතු වීමෙන් ගත් අවදානම පොඩි සෙල්ලමක් නොවේ. ප්‍රේමදාස යුගයේදී මෙවැන්නක් සිදුවුණේ නම් සත්‍යග්‍රහකරුවන්ට සිදුවන්නේ නවග්‍රහ මණ්ඩලය අතර පාවීමටය. ප්‍රජාතන්ත්‍රවාදය පසුගිය අවුරුදු 30 පමණ කාලය තුළ දීර්ඝ ගමනක් පැමිණ ඇති බැවින් අද එවැනි තර්ජනයක් නැත. හැබැයි මේ සියලු සටන් අවසානයේදී මේ ආණ්ඩුව ස්වකීය බලය නැවතත් පිහිටුවා ගතහොත් සත්‍යග්‍රහයට සපෝර්ට් කළ ඇතැම් අයට කිසියම් වන්දියක් ගෙවීමට සිදුවනවා ඇත. ඊයේ සත්‍යග්‍රහයට රාජ්‍ය අංශය සම්බන්ධ වීම කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ. මෙයින් පිළිබිඹු වන්නේ රටේ තිබෙන අරාජික තත්ත්වයයි.

ආණ්ඩුවට පන්දම් අල්ලන, ඥාණක්කාගේ රතු නූල් බැඳගත් ඇතැම් පොලිස් ලොක්කකු විරෝධතාකරුවන් ඉදිරියේ ගජගා වන්නම නැටුවාට සාමාන්‍ය පොලිස්කාරයන් විරෝධතාකරුවන්ට විරුද්ධව වචනයක්වත් කියන බවක් නොපෙනේ. මෙයට හේතුව සාමාන්‍ය ජනතාව කන ආර්ථික පරිප්පුව සාමාන්‍ය පන්තියේ පොලිස් නිලධාරීන් විසින් ද ඒ ආකාරයෙන්ම අනුභව කරනු ලැබීමය. මුළු අවුරුද්දේ දවස් 365 ම On duty සිටින සාමාන්‍ය පොලිස් රාළහාමිගේ ආර්ථිකය ඉතාම පහළය. මේ ක්‍රමය තුළ ජීවත් වීමට නම් ඔවුන් පගා ගැසිය යුතුමය. පසුගිය දිනවල ජනාධිපති මන්දිර පරිශ්‍රයට භික්ෂුන් වහන්සේලා කඩා වැදුණු විට පොලිසියේ කිසිදු පාලනයක් තිබූ බවක් නොදක්නා ලදී. මෙය රටට ඉතාම නරක තත්ත්වයකි. රටේ කන්ට්‍රෝල් එක ආණ්ඩුව අතින් ගිලිහී හමාර වත්ද?

advertistmentadvertistment
advertistmentadvertistment