එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට වන්දි ගෙව්වා කිව්වත් බහුතරයකට කිසිවක් ලැබී නැහැ

43

ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන එහි ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීම නිසා හානි සිදුවූ වෘත්තීය ධීවර ජනතාවට වන්දි ගෙවා අවසන් කර ඇති බවට බලධාරීන් පැවැසුවත්, කිසිදු වන්දියක් අහිමි වූ ධීවර ජනතාව විශාල ප්‍රමාණයක් තවමත් අප රට තුළ සිටින්නේ යැයි ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය ඊයේ (18 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නාය.

එකී විනාශය නිසා දහස් ගණනක් වූ ධීවර ජනතාවට අති විශාල හානියක් සිදුව ඇතත් වන්දි හිමිවී ඇත්තේ ඉතා අවම පිරිසකට පමණක් වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැසූ නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය, ඒ පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු කරවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ව්‍යසනයෙන් විපතට පත් ධීවර ජනතාව සම්බන්ධයෙන් කළ නිර්ණායක සහ වන්දි ගෙවීමට අදාළ සියලු විස්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කළේය. රසායනික ද්‍රව්‍ය කාන්දුවන බවට තොරතුරු ලැබී තිබියදීත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට, ශ්‍රී ලංකා මුහුදු සීමාවට නිසි සොයා බැලීමකින් තොරව ඇතුළුවීමට අවසර ලබාදුන් බලධාරීන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට බලධාරීන්ට නියෝගයක් කරනා ලෙසත් එකී ව්‍යසනයෙන් විපතට පත් ධීවර වෘත්තිකයන්ට නිසි පරිදි වන්දි ගෙවීමට නියෝග කරනා ලෙසත් ඉල්ලා කොළඹ

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය, ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අතරමැදි පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ ඉල්ලීම් මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි. එම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන ජූලි 29 වැනිදා දක්වා කල්තැබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment