වී මෝල් හිමියෝ වී කුණු කොල්ලයට ගනිතිවී ගන්න රජය කිසිදු මැදිහත්වීමක් නැහැ

86

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න රජයේ වී ගබඩාවලින් කන්න කැපෙන කාලය තුළ මිල දී ගැනීමට රජය කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකිරීමෙන් ගොවියාට කුණු කොල්ලයට වී මෝල් හිමියන්ට දීමට සිදුවීම පිළිබඳව ගොවීන් මහත් සේ කනස්සල්ලට පත්ව ඇතැයි කන්තලේ ව්‍යාපාර ගොවි එකමුතුවේ සභාපති ඉන්දික පරණවිතාන මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටීයේ ය. අපේ ජනාධිපතිවරයා හැසිරෙන්නේ උන්මත්තකයකු වගේ. පහුගිය දිනවල ත්‍රිකුණාමලය සංචාරයක යෙදුණා. ඉන් අනතුරුව තඹලගමුවට ආවා. ඒ වෙනකොට තඹලගමුව කුඹුරු යායම අස්වනු නෙළා ඉවරයි. ජනාධිපතිවරයාට කපන්න එක කුඹුරක් ඉතිරි කරලා තිබුණා. අලින්ගෙන් බේර ගන්න ඒක සතියක් රැක්කා සිවිල් ආරක්ෂක නිලධාරින්. ජනාධිපති ඇවිත් වී මිටක් කැපීමේ සංදර්ශනය කරලා ගියා.

ඊළඟට මාධ්‍ය සාකච්ඡාවක් තියනවා කොළඹ දී වී මෝල් හිමියොත් එක්ක. එයාලගෙන් තමයි අහන්නේ මේ කන්නෙ අස්වනු කොහොමද කියලා. එහි දී අරලිය මෝල් හිමි ඩඩ්ලි සිරිසේන මහත්තයා කියනවා හොඳයි හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ. මේ ජේ. වී. ප.ී කාරයෝ ටිකක් බොරුවට තැන තැන කෑ ගැහුවට මොකද අස්වැන්න හොඳයි කියලා.

ජනාධිපති ගේ ටිකිරි මොළේට තේරෙන්නෙ නැද්ද මේ කතාකරන්නෙ වී මිල දී ගන්න මහා පරිමාන මෝල් හිමියොත් එක්ක කියලා.

මේ වෙනකොට මාස් කන්නයේ වී අතින් පාඩු කරගෙන ගොවියා මංකොල්ල කාරයන්ට දීල ඉවරයි. මොකද ගොයම් කපන මැෂින් එන්නේ පිට පළාත්වලින්. එයාල ගොයම් කපපු සල්ලි දෙනකන් කුඹුරෙන් යන්නෙ නෑ. ඉතින් කුණු කොල්ලයට හරි දීලා ණය ගෙවනවා. දැන් ගොයම් කපලා මාසයක් වෙනවා. සුළු ව්‍යාපාර ගොවීන් වපුරපු වීවලටත් දවස් 20 පහුවෙල. හිටපු ගමන් නින්දෙන් ඇහැරිලා කියනවා ප්‍රාදේශීය කාර්යාලවලට මුදල් දෙනවා වී කිරන්න කියලා. මේ කිරන්නේ කාගෙ වී ද කියලා.

දැන් යල් කන්නට සේරුවිලට 25 ජලය නිකුත් කරනවා. කන්තලේට 5 නිකුත් කරනවා. සුළු වාරි ගොයම් පැළවල දවස් 20ක් වෙනවා. තාම පොහොර බෙහෙත් ගැන කිසිම කතාවක් නෑ. අපි අහන්නේ මේ දේශපාලකයෝ ළදරුවෝ වගේ වැඩ කරන්නේ හිතා මතාම ද? වුවමනා වෙන්ම ද. නැත්නම් නොදැනුවත් කමද කියලා අපි ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න කරන බව ද ඉන්දික මහතා වැඩි දුරටත් පැවසී ය.

ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment