ගාල්ලේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට විශේෂ කොමිසමක් පත් කරනවා

83

ගාලු‍ සාහිත්‍ය උළෙලට එක් වෙමින් ජනපති අවධාරණය කරයි

ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ඉකුත් 27දා එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

ගාල්ලේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට විශේෂ කොමිසමක් පත් කරනවා

ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල ගාල්ල කොටුවෙන් පිටතට ගෙන ඒමේ ක්‍රියාවලියේ ඇති මන්දගාමී ස්වභාවය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව නිලධාරීන්ට අවධාරණය කළේය. ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සියලු‍ ආයතන එක් ආයතනික ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය සැලැසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පැහැදිළි කළේය.

ගාල්ල කොටුවේදී එහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමඟද කථා බහකට එක්වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා අනතුරුව ඒ අසළ වෙළෙඳ සැළකටද ගොස් වෙළෙඳසැල් හිමියන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ගාල්ල කොටුවේ සංවර්ධනයට අදාළව ඔවුන්ගේද අදහස් විමසා සිටියේය.

මේ අතර ගාල්ල කොටුව ආශ්‍රිතව පැවැත්වෙන 2024 ගාලු‍ සාහිත්‍ය උළෙල නැරඹීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. ලොව පුරා කීර්තිමත් කතුවරුන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් එක් වන මෙරට පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන ගාලු‍ සාහිත්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයකි. එහි දෙවන දිනය වන 27දා වැඩමුළු සාකච්ඡා, දේශන ඇතුළු ක්‍රියා කාරකම් රැසක් පැවැත්වුණු අතර මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාහිත්‍ය විචාරකයන් සමඟ කථා බහකද නිරත විය. අනතුරුව ජනාධිපතිවරයා එහි පොත් කුටිය වෙතද ගොස් පොත් පරීක්ෂා කර බැලීය.

අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment