සමසමාජ සාහිත්‍යයෙන් මතුවූ‘උද්‍යොගයේ උල්පත’

120

සිරගතව සිටිමින් සුදු අධිරාජ්‍යවාදීන් අධිකරණය ඉදිරියේ පිලිප් ගුණවර්ධන හා ඇන්. ඇම්. පෙරේරා යන නායකයන් 1944 ඉදිරිපත් කළ ඓතිහාසික ප්‍රකාශයට වසර 80ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.

‘සමාජවාදියාගේ සමාජවාදී බව පවතින්නේ සිය පළමු වැටුප ලබනතුරු පමණි’ යැයි මීට දශක හතරකට ඉහතදී පැවැසුවේ, මෙරට නූතන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ ක්‍රමයේ නියමුවා වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයා වූ ජූනියස් රිචඩ් (ජේ.ආර්.) ජයවර්ධන මහතාය.

සමසමාජ සාහිත්‍යයෙන් මතුවූ‘උද්‍යොගයේ උල්පත’

කුමන අරුතකින් ඔහු එය පැවැසුවාදැයි අපි නොදන්නා නමුත් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියූ මෙරට වාමවාදී (සමාජවාදී / මාක්ස්වාදී) දේශපාලනයට වර්තමානයේ කුමක් වී ඇත්දැයි විමසා බලමින් ඉහත ප්‍රකාශය සත්‍යයක් හෝ අසත්‍යයක් බව තහවුරු කිරීම දේශපාලන විචාරකයන්ගේ කාර්යයක් බව සිහිපත් කරමු.

අද දවසේ මෙරට ‘වමට’ එවන් අසතුටුදායක ඉරණමක් අත්කර දෙන්නට හේතු සාධක මොනවාදැයි යන්න අවධානය යොමු කරන්නට උත්සාහ දරමින් මෙම සටහන තැබෙන්නේ සුවිශේෂී කෘතියකට නෙත යොමා බලමිනි.

එහි නම “උද්‍යොගයේ උල්පත” ය. 1946 වර්ෂයේදී එය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ‘ලංකා සමසමාජ පක්ෂය’ විසිනි.

සමසමාජ සාහිත්‍ය : අංක 1 වශයෙන් නාමකරණය කොට එකල පාඨක ප්‍රජාව හමුවට ඉදිරිපත් කර තිබූ ‘උද්‍යොගයේ උල්පත’ග්‍රන්ථයේ කතුවරුන් දෙදෙනා වූයේ මෙරට දේශපාලනයේ කීර්තිමත් බුද්ධිමතුන් දෙදෙනකු වූ පිලිප් ගුණවර්ධන මහතා සහ ඇන්. ඇම්. පෙරේරා මහතාය. ඔවුහු සැබවින්ම ප්‍රතිපත්තිගරුක දේශපාලන නායකයෝ වූහ.

වී. අයි. ලෙනින් නමැති අසහාය නායකයාගේ මූලිකත්වයෙන් 1917දී සෝවියට් දේශයේ සිදුවූ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් පසුව, එතෙක් ලොව බලය පතුරුවාගෙන සිටි දක්ෂිණාංශික ධනවාදී ලෝක තත්ත්වයට ප්‍රතිවාදීව ඇති වූයේ වාමාංශික සමාජවාදී ලෝක තත්ත්වයයි. 1930-40-50 දශක යනු, එම රතු විප්ලවයේ බලපෑම ලෝකයපුරා පැතිර ගිය සහ හොඳින්ම දැනුණු යුගයයි.

1934 වනවිට ඉන්දියානු සමාජවාදී පක්ෂය බිහි විය. ලන්ඩනයේදී වෛi උපාධියක් සපුරා පැමිණි මෙරට පුරෝගාමී මාක්ස්වාදියා වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ දේශපාලනයට අවතීර්ණ වීමත්, 1931 දී ඔහු මෙරට ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය ජයගත් පළමු සමාජවාදියා වීමත් එකල සිටි තරුණ වාමවාදීන්ගේ ආශ්වාදයට හේතු විය.

1935 දෙසැම්බර් 18 වැනිදා මෙරට පැරණිතම දේශපාලන පක්ෂය වශයෙන් ‘ලංකා සමසමාජ පක්ෂය’ බිහි වන්නේ ඒ වනවිට සිටි වාමාංශික සහ ප්‍රගතිශීලී තරුණ බුද්ධිමතුන්ගේ එකමුතුවක් වශයෙනි. ඒ අතරින් බොහෝ දෙනා ඇමරිකාවේ, එංගලන්තයේ සහ යුරෝපා රටවල අධ්‍යාපනය ලබද්දී මාක්ස්වාදී දේශපලන දර්ශනය කෙරෙහි ආශක්ත වූ පිරිස් වූහ.

එසේ ලංකාවට පැමිණි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන වැනි පිරිස් ද, ඇම්. ජී. මැන්දිස්, උඩකැන්දවෙල සරණංකර හිමි, ඩී. පී. යසෝදිස්, ඩබ්. ආරියරත්න, පීටර් කේනමන්, ලෙස්ලි ගුණවර්ධන, බර්නාඩ් සොයිසා, වර්නන් ගුණසේකර ඇතුළු ගිහි – පැවිදි පිරිස් ද එකතුවී සමසමාජ පක්ෂය පිහිටුවනු ලැබූ බව ඉතිහාසය සාක්ෂි දරයි.

ආරම්භයේදී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථ දෙකක් විය. බි්‍රතාන්‍ය පාලනයෙන් ලංකාව පූර්ණ නිදහස දිනා ගැනීම එහි පළමු වැන්න වූ අතර දෙවැන්න වූයේ සමාජවාදී සමාජයක් බිහි කරමින් සූරාකෑම අවසන් කිරීමයි. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට මැතිවරණය ජයගෙන ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන තේරී පත්වූහ.

මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේ ආකර්ෂණය දිනා සිටි ලංකා සමසමාජ පක්ෂයේ පළමු බෙදීම වාර්තා වන්නේ, දෙවැනි ලෝක යුද්ධය සමගිනි. එම බෙදීමට හේතුව ‘තුන්වෙනි ජාත්‍යන්තරය’ පිළිබඳ මතුවූ ප්‍රශ්න සහ “ලෝක යුද්ධය සම්බන්ධයෙන් ගත යුතු මග කුමක්ද?” යන්න පදනම් කගත් න්‍යායික ගැටුමයි.

සමසමාජ පක්ෂයේ එදවස බලවත් කණ්ඩායම වූ ‘ට්‍රොට්ස්කිවාදීන්’ කොන්දේසි විරහිතව යුද්ධයට විරුද්ධ විය. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ නිල ස්ථාවරය පිළිගත් සෙසු පිරිස හිට්ලර්, මුසෝලිනී ඇතුළු නාසි බලවේගය පරජය කිරීමට යුද්ධයට සහාය පළ කිරීමේ ස්ථාවරයේ රැඳී සිටියහ.

දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ප්‍රමුඛ දෙවැනුව කී ‘ස්ටාලින්වාදීන්’ කණ්ඩායම සමසමාජ පක්ෂයෙන් නෙරපා හරින ලදී. එම පිරිස ඉතා කෙටි කාලයක් ඇතුළත නව බලවේගයක් වශයෙන් 1943 ජූලි 03 වැනිදා ‘ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය’ ආරම්භ කළහ. පීටර් කේනමන් මහතා එම පක්ෂයේ ප්‍රථම ලේකම්වරයා විය.

එකල සමසමජා පක්ෂයේ නිල ස්ථාවරය කුමක් ද යන්න පිලිප් ගුණවර්ධන විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසීය. මෙය යටත්විජිතවාදීන් සහ අර්ධ යටත් විජිතවාදීන් අතර යුද්ධයකි. එබැවින් ඕනෑම ආකාරයක යුද්ධයකට සහභාගි වීම අපි ප්‍රතික්ෂේප කරනවා.”

ඒ අනුව යුද්ධයට එරෙහිවීම නිසා බි්‍රතාන්‍ය අධිරාජා්‍යවාදීන් විසින් සමසමාජ පක්ෂයේ නායකයන් සිරගත කිරීමට ලක් කරන ලදී. පසුව එම පිරිස බෝගම්බර සිර ගෙදරින් පලාගොස් ඉන්දියාවේ සැඟවී එරට ‘බොල්ෂෙවික් ලෙනින් පක්ෂය’ තුළ ද කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන්ය.

සමසමාජ පක්ෂයේ බෙදීම නිසා සිදුවූයේ ලංකාවේ තිබූ එකම සමාජවාදී පක්ෂය දෙකඩවී අධිරාජ්‍යවාදීන්ගෙන් පූර්ණව රට නිදහස් කර ගැනීමේ විමුක්ති සටන දෙකඩ වීමයි.

ලංකා සමසමාජ පක්ෂය මෙතෙක් දෑකැත්ත, මිටිය, රතු කොඩිය ඉදිරියේ තබාගෙන එහි සෙවණේ ගමන් කළ නමුත් එතැන් පටන් එම ලාංඡනයට ‘4’ හතරේ ඉලක්කම ද එකතු කර ගත්හ. ඔවුන් සෝවියට් විරෝධී ට්‍රොට්ස්කිගේ නායකත්වය පිළිගත්තේය.

“ලෝකයේ එක රටක පමණක් සමාජවාදය ඇති කළ නොහැක. සෝවියට් සංගමයේ වැඩපිළිවෙළ වැරදියි. ලොව පුරා එකවර නොනවතින විප්ලවයකින් සමාජවාදය බිහි කළ යුතුය.” යන්න එතැන් පටන් සමසමාජයේ අදහස විය.

‘උද්‍යොගයේ උල්පත’ ලියැවෙන්නේ ලංකා සමසමාජ පක්ෂයේ මුල් දෙකඩ වීමෙන් පසුව සිදුවූ දෙවැනි උපත සමගිනි. ඒ සඳහා එහි කතුවරුන් දෙදෙනා සිරගතව සිටියදී ලැබූ අද්දැකීම් ද, අධිකරණයේ මුහුණ දුන් නඩු විභාගයන් ද, එවකට පැවති දේශීය හා විදේශීය දේශපාලන තත්ත්වයන් ද හේතුවී තිබේ.

‘උද්‍යොගයේ උල්පත’ ට ‘ඇසැප්’ යන අන්වර්ථ නාමයෙන් 1946 පෙබරවාරි 08 වැනිදා හැඳින්වීම ලියා තිබෙන අතර එහි මෙසේ දැක්වේ.

“උද්‍යොගයේ උල්පත යනු, අවිස්සාවේල්ල – රුවන්වැල්ල යන ඡන්දදායක කොට්ඨාස දෙක වෙනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පෙනී සිටිමින් ඍජු වූද, එඩිතර වූද මේ රට විප්ලවකාරී ක්‍රියාමාර්ගයක් අනුව පීඩිත පන්තියේ විමුතිය උදෙසා ක්‍රියා කිරීමේ ‘අපරාධයට’ සිර කරන ලදුව අධිරාජ්‍ය බන්ධනාගාරයේ දේශපාලන සිරකඳවුරින් පැනයෑම ගැන කරනු ලැබූ චෝදනාවන්ට පිළිතුරු සේ, ඩී. පී. ආර්. ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා යන සහෝදරයන් විසින් 1944 පෙබරවාරි 08 වැනිදා මහනුවර මහෙස්ත්‍රාත් උසාවිය ඉදිරියේ කළ ප්‍රකාශයන් ඇතුළු කොට කෙරුණු පොත් සිඟිත්තේ නම වෙයි.”

අද අප රටේ පීඩිත පන්තිය මහත් ගෞරවයෙන් ද ආඩම්බරයෙන් ද සකලනු ලබන නම නම් ‘ලංකා සමසමාජ පක්ෂය’ යි. ශත වර්ෂ කීපයක් මුළුල්ලේ උදාසීනව සිටි මෙරට වැසියන් අතරේ අද යම් කිසි දේශපාලන උද්‍යොගයක් ඇත්නම්, එය ලංකා සමසමාජ පක්ෂයේ අකලංක ව්‍යාපාරයේ විශිෂ්ට ප්‍රතිඵලය නිසා බව ඉඳුරාම කිව යුතුයි.

පක්ෂයේ මූලාරම්භයේ පටන්ම එයට මාර්ග දේශකත්වය ලැබුණේ පිලිප් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා යන සහෝදරයන් දෙදෙනාගෙන් බව ඉතා ප්‍රකටය. එහෙයින් පීඩිත පන්තිය විසින් සදානුස්මරණීයවූ ලංකා සමසමාජ පක්ෂය, එය අද ලබා ඇති විශ්ව කීර්තිය ගොඩනඟාලීම සඳහා මේ සහෝදරයන් දෙදෙනාගෙන් ලබාගත් සේවාව ඉතා මහත් බව නිසැක කොට පළ කළ හැකිය.

සහෝදර පිලිප් ගුණවර්ධන එදා මහනුවර උසාවියේදී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව කළ මේ ප්‍රකාශය අතිශයින් ඍජුය. එඩිතරය, ශාස්ත්‍රීයය, අධිරාජ්‍ය නම් පුරුෂයාගේ කන් සත් පිපිරෙන සේ ගසන ලද මේසා රිදුම් දෙන කම්මුල් පහරෙක ප්‍රතිරාවයක් ඒ ඉතිහාසයෙහි වෙන තැනකින් සොයාගත නොහැකි තරම්ය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යය සර්ව සාධාරණය, සර්වතොභද්‍රය යනු, සමස්ත ලෝකයේම බුද්ධිදාස තත්ත්වයට පැමිණි මෝඩයන් විසින් පිළිගන්නා ලද්දකි. එබඳුවූ බි්‍රතාන්‍ය අධිරාජ්‍යය දිවා කාලයේ බොරු සාක්කි දීමෙන් ද, රාත්‍රී කාලයේ හොර අත්සන් තැබීමෙන් ද ගොඩනඟන ලද්දකැයි සහෝදර පිලිප් ගුණවර්ධන කියයි.

මේ අධිරාජ්‍යයේම විජිත වැසියකු වී මෙබඳු කලෙක, මෙබඳු අධිරාජ්‍ය උසාවියක, මේ තරම් අධිරාජ්‍ය ගැති නිලධරයන් ඉදිරියේ සත්‍යය නග්න කොට දක්වමින් කරන ලද මෙයට වැඩි තරම් වන් උදාර ප්‍රකාශයක් ඇද්ද?

පසුගිය යුද්ධයේ ප්‍රතිඵල මෙසේ මෙසේ වෙතැයි කියමින් නන් සැටියේ අනාගත වාක්‍යයන් පළ කළාහු බොහෝ දෙනෙකි. මේ ප්‍රකාශයෙහි සහෝදර පිලිප් විසින් ද, අනාගතය පිළිබඳ ඔහුගේ දර්ශනය දැක්විණි.

‘උද්‍යොගයේ උල්පත’ යැයි මේ පොත් පොඩියට නම් කරන ලද්දේ ‘මිලිටන්ට්’ සඟරාවේ මේ කියමන අනුවම බවට කිසිදු සැකයක් නැත. අත්‍යර්ථයෙන්ම ගැළපෙන නමකි.

මාක්ස්වාදයෙහි විශේෂඥයකු වූ සහෝදර පිලිප් ගුණවර්ධන වැනි ශාස්ත්‍රීය විප්ලවවාදියකුගේ ද, දේශපාලන විiාවෙහි විශේෂඥ වූ ඇන්. ඇම්. පෙරේරා වැනි ශ්‍රේෂ්ඨ මහා පඬිවරයකුගේ ද මෙබඳු ප්‍රකාශ සංග්‍රහයක හැඳින්වීමක් කරන්නට අපට ඉඩ ලැබීම අපගේ (ළඟදී මතුවූ) පිනක් නිසා යැයි සිතමු. සමස්ත ලෝකයේම පීඩිත පන්තියට විමුක්තිය ලබා ගැන්ම සඳහා කරන සටනේදී මේ ප්‍රකාශයන් සියලු කල්හි දිය නොසිඳෙන උල්පතක් මෙන් උද්‍යොගය උපදවතැයි ඉඳුරා පළ කෙරෙමු.

හුදෙක් කම්කරු පන්තියට පමණක් නොව අධිරාජ්‍යවාදයට ගැතිව දීනව, බැගෑ වී සිටින බවට නියාලු දේශපාලකයන්ට ද, එසේම අප රට කෘතක විප්ලවවාදීන්ට ද මෙයින් ලබාගත හැකි ධෛර්ය ඉතා මහත් බව කිව යුතුය.”

උද්‍යොගයේ උල්පත කෘතියේ ආරම්භයේ සටහන්ව ඇත්තේ, 1940 ජූනි 18 දින ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, එඩ්වන්ඩ් සමරක්කොඩි ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමයි. 1942 අප්‍රේල් 7 වනතුරු එලෙස ඔවුන්ව සිරගතව තබාගෙන සිටීමත් එදින මැදියම් රැයේ බන්ධනාගාර මුරකරු සොලමන්ගේ උපකාර ඇතිව සිරෙන් පලායෑමත්, ඉන්දියාවේ වසරක් පමණ සැඟව සිටියදී 1943 ජූලි 15 වැනිදා සමසමාජ නායකයින් 21 දෙනකු අත්අඩංගුවට ගැනීමත් එම වසරේ දෙසැම්බරයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව සිදුවූ සිද්ධිදාමයන්ය. 1944 වසර බදුල්ල බන්ධනාගාරයේ ගත කරන ඔවුන්ට 1945 මැයි 30 දා නිදහස හිමිවිය.

“ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස්ගත් පැසිස්ට් වෘකයා” වශයෙන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ යථාර්ථය නිර්දය ශාස්ත්‍රීය විචාරයක් ලෙස එන්. එම්. පෙරේරා මහතා ඉදිරිපත් කරන්නේ අංක, වයි 20813 දරන අංකය හිමි සිරකරුවා වශයෙන් වීම සුවිශේෂය. කොල්ලකාරී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ස්වරූපය නග්නකොට දැක්වීම” මැයෙන් දැක්වෙන සම්පූර්ණ ප්‍රකාශය සුදු නඩුකාරයා ඉදිරිපිට ප්‍රකාශ කර ඇත්තේ පිලිප් ගුණවර්ධන නමැති සිරකරුවා විසින් බව ද ‘උද්‍යොගයේ උල්පත’කෘතියේ සටහන්වී තිබේ.

● සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment