අනෙක් ඒවාද ග්ලෝකල් විය යුතුයි

751

අප රට මේ වන විටත් විවිධ සැලසුම් සහ උපාය මාර්ග සකස් කරනුයේ ආර්ථිකය කෙසේ හෝ ගොඩදමා ගැනීමටයි. එහිදී දේශපාලනඥයන්ගේ කාර්යය සුළුපටු නොවේ. ඔවුහූ සෑම මැතිවරණයකදීම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන් අතරට රට ගොඩයන ආකාරය මවා පෙන්වති. ඒවාට රැවටෙන අප බුද්ධිමත් ජනතාව නොමසුරුව සිය පරමාධිපත්‍යය බලය වසර හතර පහකට සින්නක්කරවම ලියාදෙනු ලබති. අපේ ජනතාව එසේ අවසන් වතාවට සින්නක්කර ඔප්පුවකින් ලියා අත්සන් කොට දුන්නේ ‘සෞභාග්‍යයේ දැක්ම’ නමැති ලියවිල්ලටය. එය එසේ මෙසේ ලියවිල්ලක් නොව රට ගොඩදමන සම්පූර්ණ වැඩපිළිවෙළ එහි අලංකාරවත් ලෙස යෝජනා කර තිබිණි. එහෙත් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආදේශ කිරීමට යෑමෙන් පළමු වතුර පනිට්ටුව නා කෙමෙන් කෙමෙන් කාර්බලික් සබන් කැටයේ සිට වෙළෙඳපොළේ ඇති නොයෙකුත් වර්ගයේ සියලුම බෝල සබන්කැට දියකර නා හත්පොළේ ගා ගෙන අමුඩෙත් නැතිව දිවූ දිවිල්ල ගැන යළි කතා කිරීමට අවශ්‍ය නොවේ.

ඒ හා සමගාමී ව්‍යාපෘතියක් වූ ‘ගම සමග පිළිසඳර’ ද එලෙස චාටර් වී අවසානයේදී ගම පමණක් නොව මුළු රටම පිළිසඳරකට කොළඹ ආ හැටි අපට තවමත් සිහියට නැගේ. මේ කතාව නැවත කියන්නට සිදුවූයේ කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මේ හදිසියේම ගෙනැවිත් තිබෙන ‘ග්ලෝකල් ෆෙයාර්’ නමැති කටයුත්තක් හේතුවෙනි. එය අදත් හෙටත් යාපනයේදී ක්‍රියාවට නැංවේ.

මැතිවරණවලදී කුමන ආකාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශ දුටුව ද, රටේ පාලකයන් තවමත් නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියකට අඩිතාලම දානවා වෙනුවට සේවා මත පදනම් වූ ආර්ථික ක්‍රියාවලියක් කෙරෙහිම උග්‍ර බැඳියාවකින් කටයුතු කරනු පෙනේ. උතුරේ සිටින දමිළ හෝ වෙනත් ජාතියකට අයත් තරුණයකුට රට රැකියාවකට නිරුපද්‍රිතව ගොස් කීයක් හෝ හම්බකරගෙන ගෙදරට එවන මුදලේ ඩොලර් වාසිය උදෙසා මේ වැඩේ කරගෙන යන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. උතුරේ ජනතාවට විදේශ රැකියා අවශ්‍යය. ඒ පිළිබඳ තර්කයක් නැත. එහෙත් රට රැකියාවකට යෑමේදී අනුගමනය කළයුතු නියම පිළිවෙත කුමක් දැයි උතුරේ පමණක් නොව දකුණේ අයද හරි හැටි දන්නේ නැත. කොහේ හෝ අටවා තිබෙන විදේශ රැකියා ඒජන්සියකට ගොස් රට රැකියාවක් සෙට් කරගෙන ගොස් කකුල් අතපය කපාගෙන, මුළු ඇඟටම කටු අන්නවාගෙන යළි මව්බිමට යන්තම් පණ බේරා පැමිණෙනු අපි ඕනෑතරම් දැක තිබේ. අපේ රටේ ජනතාවට දැන් සෑම ක්‍ෂේත්‍රයක් ගැන කොහෙන් හෝ අහුලාගත් අල්ප දැනුම් ප්‍රමාණයක් ඇත. එහෙත් ඒවා ඉටුකර ගැනීමට රජයේ ආයතනයකට ගොඩ වූ විට පිස්සු හැදෙන සඳ දිස්වේ. යොදුන් ගණනක් ගෙවා කොළඹට බසයෙන් හෝ කෝච්චියෙන් පැමිණ කට්ට කා තෙරපී බඩගින්නේ දැවෙමින්

පසුගිය කාලය පුරාවටම පාස්පෝට් ඇතුළු විවිධ ආකාරයේ පෝලිම්වල ගත කරන තරුණ, වැඩිහිටි අඳෝනා කවදා අවසන් වේ දැයි කීමට තරම් ජගතෙක් මේ රටේ පහළ වී නැත්තේය. එසේ නම් මනුෂ තමන්ගේ ෆෙයාර් එක යාපනයේ මුටුවේලි වෙත ගෙන යන්නා සේ අනෙකුත් අමාත්‍යාංශ ද ගමට නගරයට පැමිණ අහිංසක ජනතාවගේ කාලාන්තරයක් තිස්සේ කැකෑරෙන ප්‍රශ්න, ගැටලු වලට රජය උත්තර දිය යුතු වේ. කැබිනට් ඇමැතිවරයකුට ඒ සඳහා වේලාවක් කලාවක් නොමැත්තේ නම් එම අමාත්‍යාංශවලට සමගාමීව පිහිටුවා ඇති රාජ්‍ය ඇමැතිතුමකු විසින් හෝ මැදිහත්ව මෙම කටයුතු කරදීම අගනේය. මනුෂගේ ග්ලෝකල් යනු ලෝකල් ග්ලෝකල් කිරීමය. එනම් දේශීය දේ විදේශීය වශයෙන් කර පැමිණීමට උපදෙස් ලබාදීමය. මනුෂගේ අමාත්‍යාංශය පමණක් නොව අනෙකුත් සියලු අමාත්‍යාංශ ද ග්ලෝකල් වීමට දැන්වත් සූදානම් විය යුතුය. මන්ද අපට දෙවැනි වටයේදීවත් සේවා සැපයීමේ ආර්ථිකයක් හා සමගාමීවම නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමුවීමේ අතිශය වැදගත් පිම්ම පැනිය යුතු බැවිනි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ඇත්තේ සුළුපටු කාර්යයක් නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment