හිඟ බිල්පත් නිසා ජල මණ්ඩලයට මිලියන හයදහසක පොල්ලක්

97

මාසික ජල බිල්පත් නොගෙවීම නිසා ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට රුපියල් මිලියන හයදහසක් මේ වන විට අයවීමට ඇති බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (අය කිරීම්) ඒකනායක වීරසිංහ මහතා ඊයේ (18දා) පැවසීය. ගෙවීම් පැහැර හැර ඇති පාරිභෝගිකයන්ගේ සැපයුම් ලබන 01 වැනිදා සිට විසන්ධි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන දහසක් අයවීමට ඇති බවත් දින 14ක් ඇතුළත බිල්පත් නොගෙවන ගෘහස්ථ ඒකක සඳහා පනවා ඇති සියයට 2.5 ක අධිභාරය ජනවාරි 01 දා සිට රාජ්‍ය ආයතනවලට ද පැනවීමට මණ්ඩලය තීරණය කර තිබෙන බව ඔහු පැවසීය.

නොගෙවූ බිල්පත් හිඟය රුපියල් මිලියන 8000 දක්වා ඉහළ ගොස් තිබූ බවත් දැනුවත් කිරීම් සහ නීතිමය පියවර ගැනීම් නිසා රුපියල් මිලියන හාරදහසක් දක්වා හිඟය අඩු කර ගත් බවත් පැවසූ සාමාන්‍යාධිකාරිවරයා යළිත් රුපියල් මිලියන හය දහසක් දක්වා හිඟ බිල්පත් ඉහළ ගොස් තිබෙන බව ද පැවසීය.

ජල බිල්පත ලැබී දින 14ක් ඇතුළත බිල්පත් ගෙවූ පාරිභෝගිකයන්ගේ ඉදිරි මාසයේ බිල්පතට සියයට 1.5 වට්ටමක් ලබාදුන් බවත් දින 60ක් හෝ ඊට වැඩි කාලයක් බිල්පත් ගෙවීම් ප්‍රමාද කිරීම නිසා මණ්ඩලය දෛනික ජලය සැපයීමේ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින බවත් හෙතෙම පැවසීය.

දින 60 කට වඩා බිල්පත් නොගෙවූ සියලුම ජල පාරිභෝගිකයන්ට නිවේදන නිකුත් කර ඇති අතර කෙටි පණිවිඩ මාර්ගයෙන් ද දැනුම් දීමට මණ්ඩලය පියවර ගෙන ඇත. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස බිල්පත් ගෙවීම් ප්‍රමාද කර ඇති පාරිභෝගිකයන්ගේ විස්තර ලබාදී තිබෙන බවත් සැපයුම් විසන්ධි කිරීමට දැනටමත් උපදෙස් දී තිබෙන බවත් සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment