මගේ සහය රනිල්ට

520

ජනාධිපතිවරණයේ දී තම පක්ෂයේත් තමාගේත් පූර්ණ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී. වී. විග්නේශ්වරන් මන්ත්‍රීවරයා 7 දා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටි විග්නේශ්වරන් මන්ත්‍රීවරයා දැනට ශ්‍රී ලංකාවේ සිටින දේශපාලනඥයන්ගෙන් හා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයන්ගෙන් එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව ද කියා සිටියේය.

තමන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර පාර්ලිමේන්තුවේ දී වෙනම සාකච්ඡාවක් පැවැති බවත් එම සාකච්ඡාවේ දී තමන් මේ තීරණයට එළඹීමක් සිදු නොවුවත් මේ ගැන පසුව ඉතා සාධාරණව කල්පනා කොට බැලීමේදී තමන් සහාය ලබා දිය යුත්තේ ඔහුට පමණක් බව ඒත්තු යෑමෙන් පසුව මේ තීරණය ගත් බවත් සඳහන් කළේය.

මේ වන විට තමන් ගෙන ඇති තීරණය ජනාධිපතිවරයාට දැන ගැනීමට සලස්වා ඇති බව කී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ඉදිරි කාලයේ දී තමන් ජනාධිපතිවරයා හමු වී මේ කාරණය ගැන ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන බව ද කියා සිටියේය.

මේ කරුණු ගැන සලකා බලන විට ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා ම බව තම මතය බවත් ඒ ගැන විශාල විශ්වාසයක් තමන්ට පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.

උතුරු පළාතේ මෙන්ම රටේ ක්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරණයේ දී ගත හැකි වෙනත් විසඳුමක් පෙනෙන්නට නොමැති නිසා දෙමළ ජනතා සන්ධානය වන තම පක්ෂය විසින් ගන්නා ලද මෙම තීරණය අනාගතයේ දී සෙසු දෙමළ දේශපාලන පක්ෂවලට ද ගැනීමට සිදු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment