යුවතියන්ගේ මනදොළ රවටන පුරුෂ මායම්

351

දේහ ලක්‍ෂණ විද්‍යාවේ ස්ත්‍රී දේහ ලක්‍ෂණ මෙන්ම පුරුෂ දේහ ලක්‍ෂණ ගැන සමබරව සඳහන් වුවද, පුරාණයේ සිට පුරුෂ දේහ ලක්‍ෂණවලට වඩා වැඩි උනන්දුවක් ස්ත්‍රී දේහ ලක්‍ෂණවලට හිමිවුණි. ඒ ස්ත්‍රිය උපතින්ම සියුමැලි, ලදබොළඳ, සුකුමාල වූ නිසාවෙනි. එබැවින් ස්ත්‍රියගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ඇති අංග වල ලක්‍ෂණ හා එහි ඇති ශුභ අශුභ සොයාබැලීමට සමාජය පුරුදු විය. මේ අතර ස්ත්‍රීන්ටම ආවේනික වූ මායම් සම්බන්ධව පුරාණයේ විසූ සෘෂිවරු සඳහන් කර ඇත. ඒ අතර මායම් 64 ක් ස්ත්‍රීන් තුළ ඇතැයි පෙන්වාදී ඇත. දේහ ලක්‍ෂණ විද්‍යාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම සමබර විෂයක් බැවින් පුරුෂයන්ටද මායම් 21 ඇති බව පෙන්වාදී ඇත. නමුත් අද වෙත්ම ස්ත්‍රී මායම් ගැන කතා කරනවා මිස පුරුෂ මායම් ගැන කතා කිරීම සිදුනොවේ. නමුත් පුරුෂ මායම් 21 ක් දේහ ලක්‍ෂණ විද්‍යාවේ සඳහන් වේ. ඒවා මෙසේය.

  1. උඩුතොල පෙරළා යටිතොල පෙන්වීම
  2. ස්ත්‍රීන්ට පෙනෙන්නට යහලුවන් සමග උසුළු විසුළු වැඩිපුර කිරීම.
  3. ස්ත්‍රිය දෙස අනුරාග ලෙස බැලීම
  4. වෙනත් යුවතියක සමග කතා කරන බව තමන් කැමති ස්ත්‍රියට ඇඟවීම
  5. ඇහිබැම හකුළුවා බැලීම
  6. කැමති යුවතිය කියන දේ අසා සිටීම
  7. තම හිසකෙස් අතින් පිරිමැදීම
  8. ඇඳ ඇති ආභරණ හඩ නැගෙන සේ සෙලවීම
  9. සිරුර ඇබරීම
  10. ඉතා සෙමින් නොදන්නා කෙනෙකු මෙන් ස්ත්‍රිය සමග කතා කිරීම
  11. තම අදහස් කෙළින් නොකියා වහෙන් ඔරෝ කීම
  12. ස්ත්‍රියට පෙනෙන්නට කුඩා දරුවෙකු සුරතල් කිරීම
  13. ස්ත්‍රියගේ උකුලෙහි ඇති දරුවා තම අතට ගෙන සුරතල් කිරීම
  14. ළඟ සිටින මිතුරා සමග දෙපිට කැපෙන වචන කීම
  15. මිතුරෙකුට හේත්තුවී ඈනුම් අරිමින් නිදිබර ගතිය පෙන්වීම
  16. ස්ත්‍රියට ඇසෙන සේ කාම ශාස්ත්‍රය වාද කිරීම
  17. ස්ත්‍රියගේ මිතුරියන් සමග වඩාත් කිට්ටු වීම
  18. ළදරුවන්ට සෙල්ලම් බඩු දී නැවත ගැනීම
  19. ස්ත්‍රිය යන එන සමූහ ගමන්වලට සම්බන්ධ වීම
  20. ස්ත්‍රියට ඇහැක් ගසා අහක බලා ගැනීම
  21. තමා කැමැති ස්ත්‍රිය ගැන සැලකිල්ලක් නැති බව ඇයට ඇඟවීම
යුවතියන්ගේ මනදොළ රවටන පුරුෂ මායම්

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු ආචාර්ය
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment