හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් . මහාචාර්ය ලියනගේ අමරකීර්ති

800

උසස් පෙළට සිංහල – 6

2023/24 වසර උසස් පෙළ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී විසින් සපයන ලිපි පෙළක් දිවයින ‘වටමඬල’ ඔස්සේ පළ කිරීමට අප විසින් තීරණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනාගත් විරාජ් ධර්ම ශ්‍රී සිංහල මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි ද උනන්දුවක් දක්වයි. ඊට අමතරව ඔහු කවියකු, විචාරකයකු ලෙසද කටයුතු කරයි.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ගේ අමුතු කතාව සහ හෘද සාක්‍ෂිය යන පොත් දෙක මිල දී ගත්තේ 2010 වසරේ දී පමණ ඔහු කොළඹ සරසවියේ දී ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට කළ දෙසුමකට සවන් දීමෙන් අනතුරුව යි. හිස වෙහෙසා පොත් කියවන්නකුට නිසි ඒ පොත් දෙක කියැවීමෙන් ලියනගේ අමරකීර්ති ගැඹුරු කියැවීමක් ඇති ශාස්ත්‍රීය ලෝකයෙන් බැහැර නො වූ අයකු ලෙසිනි එකල මට වැටැහුණේ. එහෙත් පේරාදෙණියේ දී මා ආචාර්ය උපාධිය කරන කල හමු වූ ලියනගේ අමරකීර්ති බටහිර අධ්‍යාපනයෙන් හික්මුණු අයකු ලෙස දැනුණේ ඔහු සමඟ ඉංග්‍රීසියෙන් කතා බහ කිරීමෙන් අනතුරුව යි. මා ගේ ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු හා බැඳුණු ඇතැම් කරුණු ගැන විචේචනය කිරීම නිසා මහාචාර්ය අමරකීර්ති ගේ තකු නුවණ ගැන මට ඇති වුණේ තරහ මුසු සතුටකි. මහාචාර්ය ලියනගේ අමරකීර්ති ගේ විශ්වවිද්‍යාලය යනු කුමක් ද? පොත මිල දී ගත්තේ අපේ විශ්වවිද්‍යාල ගැන නිදහසේ සිතීමට ඒ මාතෘකාවෙන් ඇති වන පෙලැඹැ වීම හේතුවෙනි. මහාචාර්ය ලියනගේ අමරකීර්ති ගේ අහම්බකාරක නව කථාව සම්මානයට පත් වීමට වඩා සතුටක් මට ඇති වුණේ විශ්වවිද්‍යාලය යනු කුමක් ද? කෘතිය කැලණියේ කතා බහට බඳුන් වීම ගැන යි. ලියනගේ අමරකීර්ති කෙටි කතාකරුවකු ලෙස දක්වන කුසලතා හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටිකතාවෙන් ද අඳුනා ගත හැකිය. මහාචාර්ය අමරකීර්ති ඊයේ පත්තරේකට කළ සංවාදයකදී කියලා තිබුණා හොඳ විචාරකයින් අපේ රටේ අඩු ය කියලා. ඒ අදහස මමත් පිළිගන්නවා, ඒත් හොඳ විචාරකයින් බිහි වෙන්න අපේ විශ්වවිද්‍යාල මෙන් ම පාසල්වල සිංහල උගන් වන ආකාරය බෙහෙවින් ම බලපානවා- බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් දන්නේ නැහැ සිංහල උපාධියට නො හැදෑරූ අය සිංහල විෂය අධ්‍යක්‍ෂ තනතුරුවල අරක් ගෙන ඉන්න බව- නිර්මාණකරණයේ යෙදෙන ආචාර්ය මහාචාර්යවරුන් උත්සාහ කරනවා නම් අපට අනාගතයේ හොඳ විචාරකයින් බිහි කර ගන්න පුළුවන් වනු ඇතැයි සිතමි.

● ලියනගේ අමරකීර්ති

1968 ජුනි මස 19 දා කුලියාපිටියේ දී ඉපැදුණු මහාචාර්ය ලියනගේ අමරකීර්ති මුලින් ම දෙමටගොල්ල රජයේ විදුහලෙන් සහ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ ය. පසු ව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ද ඇමරිකන් වින්කොන්සින් විශ්ව විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලද ඔහු පේරාදෙණිය සරසවියේ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි. මානව භක්තිය හා සිත්තරා, රළ, නන්දන උයන, මම දැන් නිදමි, මහ කන්ද පාමුල, වීරියවන්තයෝ, අටවක පුත්තු, කුරුලු හදවත, මහා පුරුෂයකුට බිරිඳක්ව, තරුණ නවකථකරුවකු වෙත, මල්බර සමය, නෙරුදාගේ ලියුම්කාරයා, එකමත් එක පිටරටක, කලාව කුමකට ද, අලු පැහැති ආරංචි, නව කවි සලකුණ යන කෘතීන් ද සහෘද සාක්‍ෂිය, අමුතු කතාව යන ශාස්ත්‍රීය ග්‍රන්ථ පළ කර තිබේ. මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාව රළ කෙටිකතා සංග්‍රහයෙන් ගත් කෙටි කතාවකි.

හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාවට පදනම් වූ සමාජ, සංස්කෘතික පසුබිම

පොල් කැඩීම පහසු රැකියාවක් නො වේ. එය පහසු රැකියාවක් නොවනුයේ අනතුරුදායක බව නිසා ම නො වේ. එතරම් වෙහෙසකර රැකියාවක නිරත ව අවංක ව ජීවත් වන අහිංසකයනට සමාජ නොසැලැකිල්ල, අවමාන අවතක්සේරුව යි ඉතා ම කර්කශ වනුයේ. පිලෝරිස් ගේ දැහැමි දිවි පෙවෙතත් ආත්ම අභිමානයත් සිය පුතුට දෙන උපදෙස් මඟින් හෙළි කරන කෙටිකතාකරුවා ඉතා සියුම්ව සමාජය ඔවුන් කෙරෙහි තබා ඇති ආකල්ප පිළිබඳ ව ඉඟි කරයි. අති මහත් බහුතරය, නිර්ධන පන්තියේ දිවි පැවැත්මත් ජීවිතය ගැට ගසා ගැනීමට දරන උත්සාහයත් අඳුනාගත හැකි මේ කෙටි කතාවට පසුබිම් වනුයේ ගැමි සාමාන්‍ය සමාජය යි. දුප්පත්කමත් සමඟ බැඳුණු අව්‍යාජත්වය පිලෝරිස් ගේ චරිතයෙන් දැක ගත හැකිය. දේශපාලනික ව වැදගත් වන කරුණක් එක වර ම කතාවට නො බැඳුණු නමුදු මෙම කෙටි කතාවට පසුබිම් වනුයේ ධන බලය සහ නිල බලය නිසා පීඩාවට පත් වන දුබල සමාජය යි. සිංහල බුදු දහමින් හික්මුණු සංස්කෘතික පරිසරය කෙටිකතාව පුරා දැක ගත හැකිය. මෙහි දී මා සිංහල බුදු දහම යැයි සඳහන් කළේ බුදු දහම සිංහලයාට අවශෝෂණය වූයේ තරමක් වෙනස් අයුරකින් වන බැවිනි. අනුන් ගේ දේ සොරා ගැනීම පන්සිල් පද රකින්නකු අනුමත නො කරන දෙයකි. එහෙත් රෝගී පියකු වෙනුවෙන් ඇප උපස්ථාන කරමින් කෑම බීම දෙමින් සලකන සොරකු ගැන අපි කෙසේ සිතමු ද? මෙම කෙටි කතාවට පසුබිම් වනුයේ සිංහල බෞද්ධ ගැමි සංස්කෘතිය යි.

හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාවේ හර

පොල් කැඩීම රැකියාව කර ගත් අයකු ආර්ථික, සමාජ හේතු මත මුහුණ දෙන ගැටලු හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාවෙහි දැකිය හැකිය. කලට්ටා යන නම පටබැඳුණු පිලෝරිස් ගේ චරිතය මුල් කර ගනිමින් බහු ආත්ම දෘෂ්ටි කෝණයෙන් මෙම කතාව දිග හැරේ. පීඩිත පන්තියේ ගුණ දහම් නොතකන ධනපතියෝ ඔවුන් ගේ පැවැත්ම මිස පීඩිත පන්තියේ පැවැත්ම නොතැකීම නිසා තව තවත් ගැටලු සමාජයේ හට ගන්නා ආකාරය හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් කෙටි කතාව ඇසුරින් පාඨකයාට පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.

හැත්තෑ ලක්‍ෂයෙන් එකෙක් . මහාචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/අත්‍ථදස්සි කනිටු විදුහල

advertistmentadvertistment
advertistmentadvertistment