නන්දන වීරසිංහගේ කාව්‍ය දේහයේ වෙනස්ම ලක්‍ෂණ

265

සම්මානනීය කිවිවර නන්දන වීරසිංහගේ ජන්ම දිනය අද (13) ට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කලින් කලට වෙනස් නොවන කිසිවක් ජීව ලෝකයේ නැත. මුළු විශ්වයම වෙනස් වීම කරණ කොටගෙන ඇත්තේය. ඒ නිසා චිරාගත සම්ප්‍රදායන් කාලයේ බලවේගවලට හසුව විනාශ වී යෑම නතර කළ නොහැකි ධර්මතාවකි. ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති සාහිත්‍ය කලාකරුවෝ සිටිති. ඔවුන් අතරින් පිරිසක් චිරාගත සම්ප්‍රදාය යැයි ලෙබල් කළ සාහිත්‍යාංග ආරක්ෂා කරති. ඔවුහු ගුරු කුල අටවා ගනිති. චිරාගත සිංහල කාව්‍ය සම්ප්‍රදාය ආරක්ෂා කරන අපි සඳැස් සිව්පද කවීහු වම්හ. ඔවුහු ඊට පරිබාහිර අලුත් දෙයක් ක්ෂේත්‍රයට එනවිට භාෂා අවි අමෝරාගෙන සටනට එති. 1946 ජී. බී. සේනානායක ඇමරිකාවේ මහා කවියා වන වෝල්ට් විට්මන්ගේ Leaves of Grass පොත කියවා එහි එන Free Prose ඇසුරින් නිදහස් කවි කලාව හඳුන්වාදුන් තත්තාක්ෂණයෙහිම කොළඹ සඳැස් සිව්පද කවීහු ඊට විරෝධය පෑහ. ඒ විරෝධතාවලට නොබියව සේනානායකයෝ අදහස් දැක්වූහ. නිදහස් කවි කලාව 1946

‘පළිගැනීම’ කෙටිකතා සංග්‍රහයෙහි අතරින් පතර එන නිර්මාණවලින් ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් අවුරුදු දහයකට පසුව එනම් 1956 දී සිරි ගුණසිංහ ‘මස් ලේ නැති ඇට’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමෙන් නිසඳැස් කවි කලාව රසිකයාට හඳුන්වාඳීමට පුරෝගාමී වූයේය. ඒ වූ කලී සිංහල කාව්‍ය ක්ෂේත්‍රයෙහි ඉමහත් ආන්දෝලනයක් ඇති වූ අවස්ථාවකි.

නන්දන වීරසිංහගේ කාව්‍ය දේහයේ වෙනස්ම ලක්‍ෂණ

එකල මෙවැනි විරෝධතා නිදහස් හා නිසඳැස් කවි කලාවට එල්ල වුව ද ජී. බී. සේනානායක සහ සිරි ගුණසිංහ බටහිර කවියේ ආලෝකයෙන් සිංහල කවිය ඉහළ බුද්ධිමය තලයක් කරා රැගෙන ගියහ. ගුණදාස අමරසේකර වැනි සඳැස් කවීහු නිසඳැස් කවිය සිංහල කවි කෙතෙහි පහළ වූ වල් පැළෑටි සේ දකිති. එහෙත් මාර්ටින් වික්‍රමසිංහගේ අදහස කෙතරම් විවේචන එල්ල වුව ද අද මෙරට මුල්බැස ඇති ජනප්‍රිය ම කවි කලාව නිසඳැස් බව කිව යුතුය.

සිරි ගුණසිංහගෙන් පසු මහගමසේකර නිසඳැස් කවි කලාව වෙත අවතීර්ණ වූයේය. ඔහුගේ අතෙහිදී නිසඳැස් කවිය විශාල රසික පිරිසක් වෙත ගලා ගියේය. සේකර නොමියෙමි, ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයන්හි දී සඳැස් නිසඳැස් හි මිශ්‍ර ශෛලියක් ගොඩනංවා ගත්තේය. සේකරටත් වඩා සිරි ගුණසිංහගේ ආභාසය ලැබූ කවියා සරත් අමුණුගමය. ඔහුගේ ‘හද තුළ ආශා’ කවි සංග්‍රහයෙන් ඒ බැව් පෙනෙයි. විමල් දිසානායක සිරි ගුණසිංහගේ කවි මඟ අනුගමනය කළ ද ඔහුගේ අතෙහි ද නිසඳැස් කවියේ ගැඹුරු බව සිඳී ගියේය. පරාක්‍රම – මොනිකා කරළියට එන්නේ ඉන් පසුවය. පරාක්‍රමගේ බොහෝ කවි පන්ති දේශපාලන යථාර්ථය කියන හුදු ඝෝෂා පමණි. මොනිකා ඒ මඟෙහි සංයමයෙන් ඇවිද ගිය කිවිඳියකි. රත්න ශ්‍රී විජේසිංහ, සිරි ගුණසිංහටත් වඩා සමීප වූයේ මහගමසේකරටය. එහෙත් ආරියවංශ රණවීර හා නන්දන වීරසිංහ යන දෙදෙනා සඳෙස – නිසඳැස යන භේදය පසෙකලා කවිය කවියක් ලෙස හඳුනාගන්නට විවිධ පර්යේෂණයන්හි නිරත වූහ.

නන්දන වීරසිංහ 1984 දී ‘ගිංගඟේ විලාපය’ නම් තම කුළුදුල් කාව්‍ය සංග්‍රහය පළ කරන අවස්ථාවේ සඳැස් කවියට වැඩි නැඹුරුවක් දැක්වූයේය. එහෙත් නන්දන කිරි සුවඳැති රාත්‍රීයට එන විට සඳැස් සිව්පද ආකෘතියෙන් යම් පමණකට මිදෙන්නට උත්සාහ ගත් බවක් පෙනේ. “සත්‍යකාම නම් වෙමී’ නම් වූ නන්දන ගේ ප්‍රථම ආඛ්‍යාන කාව්‍ය නිසඳැස් කවිය පිළිබඳ කළ පර්යේෂණාත්මක අත්හදා බැලීමකි.

මහගමසේකර ප්‍රබුද්ධ කාව්‍යයෙන් ස්පර්ශ කළ සමාජ අත්දැකීම්වලට වඩා වෙනස් අත්දැකීම් ක්ෂේත්‍රයක් වෙත රසික අවධානය යොමු කිරීමට නන්දන උත්සාහ ගෙන ඇත. ඔහු නිසඳැස් කවිය වෙත දැක්වූ ඉහළම ගෞරවය මේ කවි නිරීක්ෂණය කිරීමෙන් පනෙයි. ඔහු ‘ගිරග’ට එන්නේ බටහිර කවි කලාවේ විවිධ ශානර පිළිබඳ ගැඹුරු අවබෝධයකිනි.

චන්ද්‍ර බිම්බ, රැය කරා ගමන, සහස් රැස් යට, කවි සංග්‍රහයන්හි දී නන්දන සඳැස් – නිසඳැස් – භේදය පසෙකලා කවිය කවියක් ලෙස හඳුනාගෙන ඉහළ කූටයන් ස්පර්ශ කරන්නට උත්සාහ ගත් දෙවන අවස්ථාව ලෙස සැලකීමට පුළුවන. ‘මහත් සඳ පිනි බිඳෙක’ යනු ඔහුගේ කාව්‍ය දේහයේ අපූරු වෙනස්වීමකි. මෙතෙක් සඳැස් නිසඳැස් කවියෙන් අත්දැකීම් ගොඩනැංවූ නන්දන ‘මහත් සඳ පිනි බිඳෙක’ කවි සංග්‍රහයෙහි එන කවි රචනයේදී ජපානයෙහි ප්‍රචලිත වක හෙවත් තත් කවි යනුවෙන් හඳුන්වනු ලබන සාම්ප්‍රදායික ජපන් කවියෙන් ආලෝකය ලබා ඇත.

‘වකා හෙවත් තන්කා’ යනුවෙන් ජපානයේ හඳුන්වනු ලබන්නේ හයිකු බිහිවීමට පෙර සම්භාව්‍ය ජපන් කාව්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රකට පද්‍ය විශේෂයකි. කාව්‍ය පාද පහකින් පරිපූර්ණ වූ මෙහි මුල් පේළිය මාත්‍රා පහකින් ද දෙවැනි පේළිය මාත්‍රා හතකින් ද, තෙවැනි පේළිය මාත්‍රා පහකින් ද සතරවැනි හා පස්වැනි පේළි මාත්‍රා හත බැගින් ද වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ වක හෙවත් තන්ක කවිය මාත්‍ර 31 න් පරිපූර්ණ වන බවය. ඒ නිසා වක යනු මාත්‍රා පේළි සංඝටනයෙන් නැඟෙන හඬ රටාව සහිත පේළි පහක ආකෘතියකින් පොහොසත් සෞන්දර්ශය සියුම් ලෙස කවි සංකල්පනාවලට ගොනු කෙරුණු කවි විශේෂයකි. වක ආකෘතිය සහිත ජපන් වක කවියේ සිංහල ඉංග්‍රීසි පරිවර්තනයක් මෙසේය.

Where eight clouds arise
In Lzumo an eight sided balustrade
to receive My wife
an eight – sided balustrade l’ve buitt
oh, this eight – sided balustrade

වලාකුළු අටක් නැඟ සිටින තැන
ඉසුමෙහි අට පැති ගරාදිය
මගෙ බිරිය පිළිගැනුමට
මා හැදු පැති අටේ කණු වැට
ඕ, අට පැති සිරස් කණු වැට”

නන්දනගේ බොහෝ කාව්‍ය ග්‍රන්ථයන්හි දක්නට ලැබෙනුයේ මේ ජපන් කවියේ ආලෝකයයි. ඒ සඳහා හොඳම නිදර්ශනයක් ලෙස ‘මහත් සඳ පිනි බිඳෙක’ කවි සංග්‍රහයෙන් උපුටා දක්වමි.

“මහ කඳු වැටි
සැඟවී ගිය
අඳුරේ මතු වෙයි
පහන් සිලක
ආලෝකය”

මේ ප්‍රබල චිත්තරූප නංවන පද්‍යයකි. මහා කඳුවැටි සඟවා ගත් අන්ධකාරය විඳින්නේ සියුම් පහන් සිළක ආලෝකයකි. එළිය දකින්නට නම් අඳුර විනිවිද, යායුතුමය යන දාර්ශනික චින්තාව පසක් කරන මේ කවිය සංරචන තාක්ෂණයෙන් පොහොණි වූවකි.

වාච්‍යාර්ථය ඉක්මවන ධ්වනි ගුණයෙන් පොහොසත් නන්දනගේ මේ කෙටි කවි නිමැයුම් ඔප දමන ලද මැණික් මෙන් දිදුලයි. ඒවා එකවර ආධුනික රසිකයාට වටහා ගැනීම අතිශය දුෂ්කරය. ඊට හේතුව නන්දන සම්භාව්‍ය ජපන් සාහිත්‍යයේ ප්‍රකට වකා හෙවත් තන්කා කාව්‍යයේ ආකෘතියටත් වඩා ඒ කවියේ ජීවයෙන් ප්‍රබෝධයක් ලබා තම කාව්‍ය රචනා ගොඩනංවා ඇති බැවිනි.

“රාත්‍රිය

දිගු පුළුලු සිරුරින්
සිටගෙන සිටියි අබියස

කැහැටු අතු ඉපල් මත
ලැඟ නො හිඳ අවදිව
රෑ කුරුල්ලෙක් පියාඹයි
මියුරු ඵල සොයා ඈතට”

රාත්‍රිය අන්ධකාරය පිළිබඳ චිත්තරූපමය සංකල්පයකි. කවියා පවසන්නේ රාත්‍රිය දිගු පුළුල් සිරුරකින් සිටගෙන සිටින බවය. රාත්‍රිය හා ඈතට යෑම අතර කවියා දකින්නේ අපූර්ව සත්‍යයකි. කුරුල්ලා කැහැටු අතු ඉපල් මත ලැග නොහිඳ අවදිව පියාඹයි. ඒ අරමුණු සහගතව යන

ගමනකි. මියුරු ඵල සොයා යන ගමනකි. ඒ මියුරු ඵල නෙළා ගැනීමට නම් රාත්‍රියට (අන්ධකාරය) ගෙවා දැමිය යුතුමය. නන්දනගේ මේ කෙටි කවිය පොතක් ලියන්නට තරම් අන්තර් දෘෂ්ටි සපයන්නකි. මේ කව අනෙක් අතට ගෙන බැලූවිට සිද්ධාර්ථ තාපසයාණෝ විමුක්තිය සොයා ගියේ ද මධ්‍යම රාත්‍රියේදීය. උන්වහන්සේ අරමුණු සහගතව රාත්‍රිය ගෙවා ආලෝකය විනිවිද දුටු සේක. ඒ සඳහා ඇලීම අත්හළ යුතු බව උන්වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් සනාථ කළ සේක. නන්දන ‘ලැග නො හිඳ අවදිව’ යන කාව්‍යෝක්තියෙන් ධ්වනි කරනුයේ අරමුණු සහගතව ගමනක් යෑම සඳහා බොහෝ දෑ අත්හළ යුතු බවය.

නන්දන වීරසිංහයන්ගේ කාව්‍ය දේහයේ ඊළඟ වෙනස්වීම ‘තුන් පෙති හතර පස් පෙති’ නිරීක්ෂණය කිරීමෙන් වටහාගත හැකිය. 2014 වර්ෂයේදී ආරියවංශ රණවීර සමග එකතුව සංගෘහිත කළ මේ කාව්‍ය ග්‍රන්ථය ජපන් හයිකු කවියේ ආලෝකය පෙන්වන්නකි. එහෙත් මේ කවීන් දෙදෙනා ජපන් හයිකු කවියේ ව්‍යුහය හා ගුණාංග වෙතින් එක මඟ යන බැව් මතු පිටින් බලන්නෙකුට පෙනී ගිය ද ඔවුන් දෙදෙනාගේ කවී සමීපව නිරීක්ෂණය කරන්නෙකුට ඔවුන් දෙදෙනා ඉතාම පැහැදිලිව ගමන් මාර්ග දෙකක ගමන් කරන බව පෙනී යෑමට පුළුවන. රණවීරගේ කවියේ වස්තු විෂය ක්ෂේත්‍රය හා භාෂාව නන්දනගේ කවියෙන් සපුරා වෙනස් වෙයි.

අදත් ලංකාවේ භාෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් කවි ලියන ප්‍රබලම රචකයා නන්දන වීරසිංහ ය. රණවීර භාෂාව පිළිබඳ සැලකිලිමත් වන කවියෙකු නොවේ. ඒ නිසා මේ භාෂා භාවිතය දෙදෙනා අතර ඇති ලොකු වෙනසකි. ඔවුන් දෙදෙනාගේ තුන් පෙතිවල පමණක් නොව හතර පෙතිවල ද මේ වෙනස ඇත.

අන්තිම
පහත් හළ
තුර
නිදහසේ (රණවීර)

අර මැරී යන තුර
ඉපල් නංවා අහසට
උරනවා නො වෙද තවමත්
හඳ එළිය- (නන්දන
)

රණවීර – නන්දන දෙදෙනාගේ කෙටි කවිවල භාෂාවේ හා ශානරීය ව්‍යුහයෙහි පවත්නා වෙනස පමණක් නොව, වස්තු විෂයෙහි පවත්නා වෙනස ද සමීපව නිරීක්ෂණය කරන රසිකයාට දැකීමට පුළුවන. ඒ නිසා පැහැදිලිව ම මේ දෙදෙනා කාව්‍ය මාර්ග දෙකක ගමන් කරමින් සිංහල කාව්‍ය දේහයේ පෝෂණයට කර ඇති මෙහෙවර සුවිශාලය. නන්දන ‘දිසි අදිසි’ යන හිසින් සිංහලයට පරිවර්තනය කළ ඇමරිකා හයිකු කාව්‍යාවලිය රණවීරගේ විසිරිමිණි’ නම් හයිකු කාව්‍ය පරිවර්තනයට කිසිසෙත්ම දෙවැනි වන්නේ නැත. සම්භාව්‍ය ජපන් වක කාව්‍ය ශතකය පරිවර්තනය කරමින් සංගෘහිත කළ සියයක් මොමිජි පත් “විශ්ව කවිය වෙත රසිකයා රැගෙන යෑමකි. ඒ නිසා වර්තමානයේ කවි කෙතෙහි රැඳී සිටින තරුණ පරම්පරාවේ කවීනට නන්දන රණවීර යන සොඳුරු කවීහු දෙදෙනා යම් පණිවුඩයක් නිකුත් කරති. ඒ තමන්ගේ කවි කියවීමෙන් හා ලිවීමෙන් පමණක් මෙරට කවි කලාව ප්‍රවර්ධනය කළ නොහැකි බවය. සිංහල කවිය ජාත්‍යන්තර තලය වෙත ඔසවා තබන්නට නම් විශ්වයේ චිර ප්‍රකට කාව්‍ය සම්ප්‍රදායන්හි ආලෝකය මෙරට කවීන්ට ලබාදිය යුතුය. ඒ සඳහා තමන්ට අභිමත කවි මඟක් පාදා ගැනීමට නන්දන වීරසිංහයන් මෙන් කවිය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයහි නිරතව කටයුතු කිරීම වැදගත් වෙයි.

● මහේෂ් ක්‍රිශාන්ත
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment