පඬුකරඳ ගස සහ අබුසිම්බල් ආදර්ශය

1164

මනුෂ්‍යයාගේ පැවැත්ම සඳහා සංවර්ධනය සහ ස්වභාව ධර්මය යන දෙකම අත්‍යවශ්‍යය. වානරයා නමැති ක්‍ෂීරපායී සත්ත්වයා මනුෂ්‍යයා බවට පරිණාමය නොවූයේ නම් සංවර්ධනය නමැති සාධකය කිසිසේත් අවශ්‍ය වන්නේ නැත. එහෙත් සංවර්ධනය යනු ශිෂ්ටාචාරයේ උපරිම අවස්ථාව වේ. ඒ අතර මේ කියවන පාඨකයා වැදගත් යමක් දැනගත යුතුය. ඒ වූ කලී සංවර්ධනය සහ ස්වභාව දහම යන දෙක එක අවස්ථාවකදී ගැටෙන බවයි. මෙසේ ගැටෙන විට භූමිකම්පා පවා හටගනී. පරමාණු බෝම්බය යනු විනාශකාරී මෙවලමකි. එහෙත් එය සංවර්ධනයේ අතුරු ඵලයකි. න්‍යෂ්ටික බෝම්බ මුහුද යටදී පුපුරවා කරන ලද පරීක්‍ෂණවල අතුරු ඵලයක් වශයෙන් සාගර පත්ලේ පිහිටි භූ තැටි කම්පනය වූ බවත් එමගින් සුනාමිය වැනි විනාශකාරී ස්වභාවික ප්‍රහාර හටගත් බවත් දැනගන්නට තිබේ. පසුගියදා සංවර්ධනය සහ ස්වභාව දහම යන දෙක ගම්පහ දාරළුවේදී එකට ගැටිණි. මේ කතාව ඒ ගැනය.

එම ගැටුමේදී ලෝකයේ දුර්ලභම ශාකයක් වන පඬුකරඳ ගසක් කපා ඉවත් කිරීමට සිදු විය. පඬුකරඳ යනු ලෝකයෙන් තුරන් වූ ශාකයක් ලෙස සැලකෙන ලංකාවට පමණක් ආවේණික වූ ශාකයකි. මෙහි කරල් බෝංචි කරල් හා සමාන වන අතර ගස අඩි 40ක් දක්වා උසට වැඩෙයි. මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේදී එහි ගම්පහ – දාරළුව පසුකර යන කොටසට පඬුකරඳ ගසකින් බාධා වී තිබිණි. එවකට තිබූ ආණ්ඩුව කියා සිටියේ මේ පඬුකරඳ ගස කපා මධ්‍යම අධිවේගී ගමන් මාර්ගය සෑදිය යුතු බවය. පඬුකරඳ ගස නොකපා මාර්ගය විතැන් කර ඉදිකිරීම් කටයුතු කළොත් අමතරව රුපියල් බිලියන 15ක් වැය වන බව ඉංජිනේරුවෝ කීහ. ගස කපනවාට පරිසරවේදීහු මහත්සේ විරුද්ධ වූහ. ඒ අනුව විකල්ප යෝජනාවක් මතු විය. එනම් මේ ගස ප්‍රවේසමෙන් උදුරා වෙනත් තැනක පැළ කළ යුතු බවය. මෙය ස්ථිර වශයෙන්ම කළ හැකි දෙයකි. දැනට ගෝල්ෆේස් එකේ තිබෙන විශාල ගස් සියල්ලම වෙනත් ප්‍රදේශවලින් මුල පිටින්ම ගලවාගෙන ඇවිත් සිටුවන ලද ඒවාය. ඒවාට පොහොර සහ වතුර දමා සාත්තු කළ විට යළි පැළවීමට පටන්ගනී. පඬුකරඳ ගස වැනි ගසක් ගලවා නැවත සිටුවීම සඳහා පුද්ගලික අංශයට භාරදුනහොත් රුපියල් දෙලක්‍ෂයක් පමණ වැයවේ. එය ආණ්ඩුවෙන් කළොත් වැය වන්නේ ඉතා අඩු මුදලකි. මේ අනුව පඬුකරඳ ගස උදුරා නැවත සිටුවීමේ විකල්පය සිදුකරන බව ජනතාවට දැනුම්දී තිබිණි. ඒ අනුව එතෙක් ආණ්ඩුවෙන් ගේම ඉල්ලමින් සිටි පරිසරවේදීහු නිහඬ වී තවත් ගේමක් සොයා සිය ගමන ඇරඹූහ. මේ අතර පසුගියදා පඬුකරඳ ගස කපා දමන ලදි. දැන් අපි මේ ගසේ වැදගත්කම ගැන තවදුරටත් කතා කරමු. පඬුකරඳ ගසේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ කෲඩියා සෙලනිකාය. එය ශ්‍රී ලංකාවේ කියූ ඉපැරණි නම වන සෙලාන් යන්නෙන් බිඳී ආවකි. 1911 වන විට මේ ශාකය මිහිමතින් සම්පූර්ණයෙන් වඳවී ගිය බව දැනගන්නට තිබේ. එහෙත් 2019 දී ගම්පහ දාරළුවේදී මේ ගසක් සොයා ගැනීමට හැකි විය. එම ගසේ පත්‍ර සමඟ වෙනත් ගස්වල පත්‍ර සසඳමින් කරන ලද සමීක්‍ෂණයේදී තවත් පඬුකරඳ ගස් 15ක් විවිධ තැන්වලින් හමුවිය. මේවායින් වැඩිහරියක් පිහිටියේ දාරළුවේ දුම්රියපළ ආශ්‍රිතවය. මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් මේ ගස කපා දැමීමට 2021දී තීන්දු කළ නමුදු ගම්පහ වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය විසින් ගස කැපීම නවත්වන ලදි. 2021 පෙබරවාරි 10 වැනිදා භික්‍ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ මේ ගසට සිවුරක් පොරවා ගියහ. ගස්වලට සිවුරු පෙරවීම කොතරම් දුරට යුක්තිසහගත ද යන්න අපි නොදන්නෙමු. සිවුරක් පොරවා ගරු කළයුතු එකම ශාකය ලෙස අප දකින්නේ ශ්‍රී මහා බෝධින් වහන්සේ ය. බුදුවරයකු පිට නොතැබූ වෙන වෙන වල් ගස්වලට සිවුරු පෙරවූ අය ගැන සොයා බැලීම මහනායක හිමිවරුන්ගේ වගකීම වෙයි. පඬුකරඳ ගස් 200ක් ලංකාවේ විවිධ තැන්වල රෝපණය කරන බව ආණ්ඩුව වෙනුවෙන් මාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන කියා තිබේ. නූතන තාක්‍ෂණයට අනුව පටක රෝපණ ක්‍රමයට ඕනෑම ගසක් බෝකරගත හැක. අපට තිබෙන ප්‍රශ්නය නම් පඬුකරඳ පැළෑටි 200ක් දැනටමත් අලුතින්ම රෝපණ කර ඇත්තේ ද නොඑසේ නම් එය තවමත් අහසේ පවතින කතාවක් ද යන්නය. ඊජිප්තුව මැදින් ගලන නයිල් නදිය ඒ රටේ ශුද්ධ වූ දියදහර වේ. මේ නයිල් නදියේ එක් ඉවුරක අබුසිම්බල් නමැති දේවාලයක් පිහිටා ඇත. මේ දේවස්ථානය සාදා තිබුණේ ක්‍රි.පූ. 1264දීය. එනම් මීට අවුරුදු 3200කට පමණ පෙරය. රැම්සේස් රජු සිහිපත් කිරීම සඳහා තනි වැලි ගලක නෙළන ලද මේ දේවාලය ටොන් මිලියන කිහිපයක් බරය. මේ අතර එක්දහස් නවසිය පනස් ගණන්වලදී ඊජිප්තුව සංවර්ධනය කිරීම සඳහා විදුලිබලය අවශ්‍ය විය. ඒ වෙනුවෙන් නයිල් නදිය හරහා වේල්ලක් බැඳීමට තීරණය කරන ලදි. මේ වේල්ලෙහි නම අස්වාන්ය. වේල්ල බැඳීමෙන් පසු ගංවතුර අවස්ථාවලදී නයිල් ඉවුරේ තිබූ අබුසිම්බල් දේවස්ථානය සම්පූර්ණයෙන්ම යටවන්නට පටන් ගත්තේය. එය වැලි ගලින් නෙළන ලද්දක් නිසා නයිල් ගඟේ ජලයෙන් ඛාදනය වීමට පටන් ගත්තේය. එවිට යුනෙස්කෝ සංවිධානයේ අරමුදල් සහ විශේෂඥ දැනුම යොදවා මෙම දේවාලය කැබලිවලට කපා උස් කඳු මුදුනක සවිකරන ලදි. දේවාලය කුට්ටි කිරීමට පමණක් වසර 4ක් ගත විය. දේවාලය යළි ගොඩනැඟීමට තවත් වසර 4ක් ගියේය. ඒ සඳහා වියදම වර්තමාන මුදලින් ඩොලර් මිලියන 500ක් පමණ වේ. මේ දේවාලය අදටත් නිරුපද්‍රිතව නයිල් ගඟ අසල කඳු මුදුනෙහි ස්ථානගතව තිබේ. බෝවතැන්න ජලාශය ශ්‍රී ලංකාවේ සාදන විට ඓතිහාසික නාලන්දා ගෙඩිගෙය එම ජලාශයට යටවීමට නියමිතව තිබිණ. අබුසිම්බල් දේවාලයේ ආදර්ශය අනුගමනය කළ මේ රටේ ශිල්පීහු නාලන්දා ගෙඩිගෙය කැබලිවලට කපා වෙනත් තැනක සවි කළහ. එය ද තනිකරම කැපූ ගල්වලින් සාදන ලද්දකි. දාරළුවේ පඬුකරඳ ගස සම්බන්ධයෙන් මෙබඳු පියවරක් ගත්තේ නම් මේ සියලු පාර්ශ්වවල වාසියට හේතුවකි. එහෙත් දැන් සිදුවී ඇත්තේ දේශපාලන වශයෙන් පවා ප්‍රයෝජන ගත හැකි අවාසියකි.

advertistmentadvertistment
advertistmentadvertistment