එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් ඇතුළු 8කට අධිචෝදනා

78

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 වසරේ මැයි මස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී ගිනි ගෙන එහි ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මිශ්‍ර වී සිදුවූ පරිසර හානියට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් අටදෙනකුට ඊයේ (22 දා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී අධිචෝදනා පත්‍ර භාරදෙන ලදී.

සිය සේවාදායකයන්ට අධිචෝදනා භාරදීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ විරෝධතා ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නීතිපතිවරයා කළ ඉල්ලීමට ඉඩදෙමින් විත්තිකරුවන්ට භාරදුන් අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණය හමුවේ කියවාදීමට නියෝග කළේය. මහාධිකරණ භාෂණ පරිවර්තකවරයා විවෘත අධිකරණය හමුවේ කියවා දුන් සියලුම චෝදනාවලට විත්තිකරුවෝ අට දෙනාම වෙන් වෙන්ව නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළහ. නීතිපතිවරයා විසින් සිය සේවාදායකයන්ට කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් තමන් ඇතුළු නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් එකී නියෝගය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රමුඛ ජනාධිපති නීතිඥවරු අධිකරණයට පැවැසූහ.

අභියාචනාධිකරණය විසින් ද සිය ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැවැසූ එම ජනාධිපති නීතිඥවරු අභියාචනාධිකරණයේ එකී තීන්දුවට එරෙහිව විත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනුකර ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් අධිචෝදනා පත්‍ර භාරදී නඩු විභාගය ආරම්භ නොකරන ලෙස ඉල්ලා සිටියහ.

2021 වසරේදී ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදුවූ එකී පරිසර දූෂණය ලෝකයේ සිදුවූ විශාලතම පරිසර දූෂණයක් වන බවත් වසර තුනක් ගතවී ඇතත් එහි අහිතකර ප්‍රතිඵල ධීවර ජනතාවට පමණක් නොව සමස්ත රටවැසියන්ටම භුක්තිවිඳීමට සිදුවී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට පැවැසීය. එකී නෞකාවේ ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් ටොන් සිය ගණනක් මේ වනවිටත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ බටහිර හා වයඹ මුහුදේ තවමත් තැන්පත් වී ඇතැයි ද අධිකරණයට පැවැසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා තවත් දශක ගණනාවක් යනතුරුත් එකී විනාශයේ අහිතකර ප්‍රතිවිපාකවලට ගොදුරුවීම වැළැක්විය නොහැකි බව ද අධිකරණයට පැවැසීය. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් එකී විනාශය පිළිබඳ ඡායාරූප මගින්ද අධිකරණයට පැහැදිලි කරදුන් අතර විනාශයට පත් කොරල්පර නැව තුළ තිබූ රසායනික ද්‍රව්‍ය සහිත ප්ලාස්ටික් කැබලි සාම්පල්ද අධිකරණයේ නිරීක්ෂණය සඳහා රැගෙන ඒමට ද පැමිණිල්ල පියවර ගෙන තිබිණි. සමුද්‍රිය ආරක්ෂණ පනත යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment