මූල්‍ය අර්බුදයකට ලක් වූ රට යළි යථා තත්ත්වයට ගේන්න රජයට හැකි වුණා – අගමැති දිනේෂ් ගුණවර්ධන

32

මේ අවුරුදු දෙක තුළ මූල්‍ය අර්බුදයකට ලක්වූ රට යළි යථා තත්ත්වයට ගෙන ඒමට රජයට හැකි වුණා යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22 දා) අවිස්සාවේල්ල මූලික රෝහලේ නව ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිණි.

ඉදිකිරීම් අවසන් වන විට මෙම සය මහල් නව ශල්‍ය වාට්ටු සංකීර්ණය ඇඳන් 600 කින් සමන්විත වන අතර නවීන ශල්‍යාගාර 8 කින් සමන්විත වෙයි. කොළඹ, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවලට සෘජුව සෞඛ්‍ය සේවා සපයන අවිස්සාවේල්ල රෝහල ගගෙන් එගොඩ සහ මෙගොඩ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවටත් උසස් සෞඛ්‍යය සේවයක් සපයනු ලබයි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා – රෝග වැළැක්වීම හා නිවාරණය මුළු මහත් සමාජයට දායාද කරන ගමනක මහා ජයග්‍රාහී පියවරක් ලෙස මෙම නව රෝහල් සංකීර්ණය ඉදිකිරීමෙන් සිදුවෙනවා. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවුණා. ශ්‍රී ලංකාව දැන් දියුණුව කරා ගමන් කිරීමේ යම් ස්ථාවර මාර්ගයකට පැමිණ තිබෙන බැවින් ඔවුන් එයට සතුට ප්‍රකාශ කළා. ඒ අනුව ඉදිරි මූල්‍ය සහයෝගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිකුත් කරන්න එකඟයි කියලා ඔවුන් කිව්වා. ඉදිරි විධායක සභාවෙදී අපි රටක් විදියට හොඳින් හැසිරී තිබෙන බව ඔවුන් ප්‍රකාශ කරයි. ආර්ථික අමාරුකම තියෙන්නේ අපිටයි, ඒ අමාරුකම නිසාම මූල්‍ය පාලනය අතින් අපි හොඳින් හැසිරුණු රටක්. බොහොම ගැඹුරින් අපේ කටයුතු කළමනාකරණය කළා. ඒ නිසා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි පියවරට යන්නට. එය මුළු මහත් රටටම ජයග්‍රහණයක්. බොහොම අමාරුම තත්ත්වයක් අපි පසුකරමින් ඉන්නේ. පළමුව අපි එයින් ගොඩ එමට හැකි විශ්වාසය ඇති කළා. එයින් පසු අද වනවිට ක්‍රමානුකූල ප්‍රගතියකට පත්වෙලා තිබෙනවා.

මූල්‍ය අර්බුදයකට ලක් වූ රට යළි යථා තත්ත්වයට ගේන්න රජයට හැකි වුණා - අගමැති දිනේෂ් ගුණවර්ධන

මේ අවුරුදු දෙක තුළ මූල්‍ය අර්බුදයකට ලක්වූ රට යළි යථා තත්ත්වයට ගෙන ඒමට රජයට හැකි වුණා. ප්‍රගතියේ බලාපොරොත්තු සෑම සමාජයක් තුළම තිබෙනවා. කිසිම සමාජයක් සියයට සියයක් කවදාවත් සතුටු වෙන්නෙ නැහැ. සතුට අනාගතයයි. ඒ සඳහා අප වැඩ කරන්න ඕනේ. එය ලෝකයේ සෑම රටකම තිබෙන බලාපොරොත්තුවක්. අපේ රට මේ අමාරු තත්ත්වයෙන් ගොඩගෙන අද ආර්ථික වර්ධන වේගයකට ගෙනවිත් තිබෙනවා. ඒ නිසා ඉදිකිරිම් පටන්ගත් රෝහල් ගොඩනැඟිලි නිම කිරීමේ අවස්ථාවට දැන් අප පැමිණ තිබෙනවා. විවිධ සේවාවන් සඳහා පැවැති අඩුපාඩුකම් සඳහා අයවැය ලේඛනයේ මූල්‍ය ප්‍රතිපාදන වැඩිකර තිබෙනවා. ඒ අතර අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිසුවිශේෂයි. අවිස්සාවේල්ල රෝහල අනිවාර්යයෙන් දියුණු විය යුතු රෝහලක් හැටියට ලකුණු කරලා අවුරුදු ගණනාවක් ගත වෙනවා.

මගේ ආදරණීය මව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට නවසිය පනස් දෙකේ මේ රෝහල ලබා ගැනීමේ ආරම්භක පියවරට හවුල් වුණ බව සිහිපත් කරනවා. මගේ ආදරණීය පියා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මෙම රෝහල සංකීර්ණය නිම කිරීමට එදා සෞඛ්‍ය ඇමතිතුමා සමග එක්ව කටයුතු ආරම්භ කළ හැටි මෙතන ඉන්න සියලුදෙනා දන්නවා.

දැනුත් මේ රෝහලේ විශාල තදබදයක් තිබෙනවා. ඒ වගේම අඩුපාඩුකම් තිබෙනවා. ඒවා සම්පූර්ණ කර ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා සමග කළ විශේෂ සාකච්ඡාවේදී එකඟතාවය පළ කළා. මා සහ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීතුමා අපේ විමධ්‍යගත අරමුදලින් රෝහලේ තවත් නවීන ප්‍රතිකාර යන්ත්‍රයක් ලබාදීමට නිර්දේශ කර තිබෙනවා. ඉදිරි මාසය හෝ දෙක ඇතුළත එය ලබා දෙන්න පුළුවන්. අනෙකුත් ප්‍රදේශවල පවතින කුඩා රෝහල්වලටත් උපරිම ප්‍රයෝජනය ගත හැකි පරිදි අවිස්සාවේල්ල රෝහල දියුණු කිරීමට අපි සියලුදෙනා එකතු වී වැඩ කළ යුතුයි. රෝහල අයිති සෞඛ්‍ය අමාත්‍යාංශයට කියලා අහක බලා ගන්නේ නැතුව නගර සභාව රෝහල අවට සම්පූර්ණ පවිත්‍රතාවය වෙනුවෙන් සහයෝගය ලබා දිය යුතුයි.

සීතාවක නගර මධ්‍යය දියුණු තත්ත්වයකට පත් කරන්න ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. එහි වැඩ කටයුතු ඉතාම ඉක්මණින් ආරම්භ කරනවා. සීතාවක නගරය අපේ රටේ තවත් කේන්ද්‍රීය නගරයක් ලෙස දියුණු කිරීම සඳහා වූ ගමනට ඒ ශක්තියත් එකතු වෙනවා ඇති. රජයේ දෙපාර්තමේන්තු පමණක් නොව සීතාවක පුරවැසි පුද්ගලික අංශයටත් ඒ අවස්ථාවන්ට සහභාගී වන්නට පුළුවන්.

මූල්‍ය අර්බුදයකට ලක් වූ රට යළි යථා තත්ත්වයට ගේන්න රජයට හැකි වුණා - අගමැති දිනේෂ් ගුණවර්ධන

අදියරෙන් අදියර නිමවෙන අවිස්සාවේල්ල රෝහල අපේ පළාතට, අපේ දිස්ත්‍රික්කයට, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක වලට සහ ගගෙන් එගොඩ සිට සමහර අවස්ථා වල පැමිණෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවටත් උසස් සෞඛ්‍යය සේවයක් ලබා ගැනීම සඳහා තවත් ජයග්‍රහණයක් බවට පත්වෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, අවිස්සාවේල්ල දිස්ත්‍රික් රොහල් අධ්‍යක්ෂ ඔසඳ වෙල්ලාල ඇතුළු රෝහල් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment