ඒරොප්පේ පෙන්වා මිනිසුන් රවටා කෝටි දෙකකට විදලා

352

අනුරාධපුරේ චීවරධාරියකුට එරෙහිව විරෝධතාවක්

සැකකාර හිමිනම ගේ ඡායාරූපයක් මාධ්‍යයට පෙන්වන අයුරු

අනුරාධපුර පූජා නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යමින් ඉහළ වැටුපකට පුද්ගලයන් එංගලන්තයට යවන බවට පවසමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවල මිනිසුන් රවටා රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වංචා කර සැඟව සිටින, චීවරධාරියකුට එරෙහිව විරෝධය පළ කරමින් පිරිසක් පෙරේදා (10දා) අනුරාධපුර වට වන්දනා පාරේ, පිහිටි එම බෞද්ධ මධ්‍යස්ථානය අසලට රැස්ව සිටියහ.

ඒරොප්පේ පෙන්වා මිනිසුන් රවටා කෝටි දෙකකට විදලා
ඉදිකර ඇති හෝටලය

බලංගොඩ අනුරුද්ධ නමින් පෙනී සිටින එම ජාවාරම්කාර චීවරධාරියා සම්බන්ධයෙන් මේ වනවිට අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇති බවත්, එම චීවරධාරියා විවිධ ප්‍රදේශවල සැරිසරමින් සැඟව සිටින බව එම පිරිස් පැවසූහ.

අනුරාධපුර පූජා නගරයේ වට වන්දනා මාර්ගයේ පිහිටි මෙම බෞද්ධ මධ්‍යස්ථානයට එප්පාවල, මාතර, මිරිහාන වැනි දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිසක් පෙරේදා පැමිණ සිටි අතර එහිදී එම බෞද්ධ මධ්‍යස්ථානයේ රැඳී සිටි තවත් තරුණ හිමිනමක් සහ පැමිණ සිටි පිරිස අතර උණුසුම්කාරී වචන හුවමාරුවක්ද ඇති විණි.

රජය සමග ඉහළ සබඳතාවක් ඇති බව කියන සැකකාර චීවරධාරියාගේ බෞද්ධ මධ්‍යස්ථානය ආසන්නයේ ඉදි කෙරෙන හෝටලයක් බවට කියන සුවිසල් ගොඩනැඟිල්ලක් නාවික හමුදා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර තිබෙන බව ඔවුහු පැවසූහ.

රට රැකියා ලබා ගැනීම සඳහා මෙම සැකකාර චීවරධාරියා හට මුදල් ලබා දුන් අය අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, රජයේ ප්‍රබල ඇමතිවරයකුගේ ඥාති පුත්‍රයකු ඇතුළු නම හෙළි කිරීමට අකමැති ප්‍රබල අය රැසක් සිටින බවත් තවත් සමහරු පොලිසියට පැමිණිලි නොදා සිටින බවත් රැස්ව සිටි පිරිස මාධ්‍ය හමුවේ අනාවරණය කළහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නම හෙළි නොකළ හිමිනමක් මෙසේ පැවසූහ. වසර හයකට ආසන්න කාලයක ඉඳලා මේ බලංගොඩ අනුරුද්ධ හිමියන් සමග සමීපව සිටියා. කිසිම සැක සහිත බවක් තේරුනේ නැහැ. එම නිසා මමත් විශාල මුදලක් ලබා දුන්නා. දැන් ඒ සල්ලි අරන් මේ හිමිනම පැනලා ගිහිල්ලා. මේ අහිංසක මිනිස්සු ගොඩක් තමන්ගේ දේපල උගසට තියලා රට රැකියාවකට යන්න සල්ලි ලබා දීලා තියෙන්නේ. රජයෙන් ඉල්ලන්නේ ප්‍රථමයෙන් මේ හිමිනමට රටින් පැනලා යන්න ඉඩ දෙන්න එපා කියලයි.

මාතර සිට මෙම ස්ථානයට පැමිණ සිටි නිලූකා සේනානායක මහත්මිය මාධ්‍ය වෙත මෙසේ පැවසුවාය.

මගේ මහත්තයා නාවික හමුදාවේ. මෙතන ඉදි කරලා තිබෙන හෝටලයේ වැඩට යොදවල තිබුණා. එත කොට තමයි හාමුදුරුවෝ හිතවත් වෙලා තිබුණේ. මාසෙකට ලක්ෂ 20ක පමණ වැටුපකට රට යවන්න්න පුළුවන් කියලා හාමුදුරුවෝ කියපු නිසා, දැඩි විශ්වාසයක් ඇති වෙලා ගේ සහ ඉඩම රත්තරන් බඩු ඔක්කොම බැංකුවට උකස් කරා රට යන්න. දැන් මාසෙකට පනස් දාහක් විතර ගෙවන්න වෙලා තියෙනවා. සල්ලි නැහැ කිසිම වත්කමක්ම නෑ වාරික වත් ගෙවන්න. දරුවා ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලකුණු අසූවක් අනූවක් ගත්ත ළමයා දැන් ගන්නෙ ලකුණු තිහක් විතර, උගන්වන්න පොත් පත් අරන් දෙන්න වත් විදියක් නැහැ.

මෙහිදී අදහස් දැක්වූ, එළිය දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රිකා කුමාරි මහත්මිය :

මගේ අතේ මේ තියෙන්නෙ සිවුරක් දාගත්ත ඒ වංචාකාරයාගේ ෆොටෝ එක. මේක මාධ්‍යයේ පෙන්නන්න හිතුනෙ තවත් කවුරු හරි මොහුට රැවටෙන්න අවස්ථාවක් තියෙන නිසයි. පිටරට යනව නම් පිළි ගත්ත ඒජන්සියක් හරහා යන්න. අපි වැටුණු වලේ ඔයාලා වැටෙන්න එපා. මේ චීවරධාරියාගේ රියැදුරා දවසක් අපේ පුතා බස් හෝල්ට් එකේ ඉන්නකොට රවටා ගෙන පන්සලට ඇවිල්ලා තමයි රට යන අදහස ඔලුවට දාලා තිබුනේ. දැන් අපේ ලක්ෂ පහළොවකට විතර ආසන්න මුදලක් අරන් හාමුදුරුවෝ පැනලා ගිහින්.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment