වේග බට්ටාට වෙඩි තියන්න යතුරුපැදිය දුන් සංගීත කණ්ඩායමක ගායකයා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

93

වැලිවේරියේදී වේග බට්ටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයාට වෙඩි තැබීම සඳහා යතුරු පැදියක් ලබාදී එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායක ලෙස කටයුතු කරන සැකකරුව (පැය 48 ක්) එළඹෙන 05 වැනි දා දක්වා වැලිවේරිය පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම සඳහා ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා 03 වැනිදා පස්වරුවේ වැලිවේරිය පොලිසියට අවසර ලබා දුන්නේය.

මීගමුව, අක්කර 50, සමෘද්ධිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රුසික මධුසංඛ ප්‍රනාන්දු නමැති සැකකරුව මෙසේ වැලිවේරිය පොලිසියේ රඳවා තබාගෙන විමර්ශන සිදුකිරීම සඳහා අවසර ලබා දුන්නේය.

එම වෙඩි තැබීම සිදු වූ ස්ථාන සම්බන්ධයෙන් ලබාගත් ආරක්ෂිත කැමරා දර්ශන සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව සැකකරුව පොලිසියේ රඳවා තබාගෙන විමර්ශන සිදු කිරීම සඳහා වැලිවේරිය පොලිසිය කරුණු දක්වමින් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙසේ සැකකරුව පැය 48 ක් රඳවා ගැනීමට අවසර ලබා දුන්නේය.

31වැනි වියේ පසුවන සැකකරු විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරන ‘කිරි කොල්ලා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු බවට හඳුනාගෙන ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. විදෙස්ගතව සිටින අවිශ්ක මධුශාන් හෙවත් කිරි කොල්ලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල නායකයා ගේ උපදෙස් මත සැකකරු නාඳුනන පුද්ගලයන් දෙදෙනා වෙත යතුරුපැදිය භාරදී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. එම යතුරු පැදිය කිරි කොල්ලා නමැති පාතාල නායකයාට අයත් එකක් බවත් යතුරුපැදිය තිබී ඇත්තේ සැකකරු සන්තකයේ බවත් පොලිසිය කීය.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව 02 වැනිදා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිවේරිය පොලිසියට භාර දී ඇති බවට අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් විය.

ඉකුත් මස 05 වෙනිදා වැලිවේරිය ජුබිලි මාවතේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ගම්පහ මාදැල් ගමුවේ පදිංචි නුවන් රන්ජන් හෙවත් වේග බට්ටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා තිබුණි. වෙඩි වැදීමෙන් වේග බට්ටා නමැති පාතාල සාමාජිකයාට තුවාල සිදුව තිබුණි.

එම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යතුරු පැදිය අතහැර දමා සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා ලොරි රථයකින් පලාගොස් තිබුණි.

අතහැර දමා ගොස් තිබූ යතුරු පැදිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව මෙම සැකකරුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවටද අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් විය.

එම වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු සහ වෙඩි තැබීම සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු සහ සැකකාරියක්ව අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ පසුවේ. වෙඩි තැබීම සඳහා උපයෝගි කර ගත් ගිනි අවි සහ ඊට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment