අවයවයක් අහිමි වෙන්නම සාජන් පුතාට පහර දුන් පොලීසියේ දෙදෙනා රිමාන්ඩ්

937

බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි තරුණයකුට දැඩි ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු අද (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මැදවච්චිය වැඩබලන මහෙස්ත්‍රාත් වසන්ත සිරි වටගොඩ මහතා නියෝග කළේය.

සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තවදුරටත් නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ මැදවච්චිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු වන මැදවච්චිය පූනෑව පලුගොල්ලෑව පදිංචි එස්. රෝහණ සමන්ත සේනානායක සහ පොලිස් කොස්තාපල්වරයකු වන මැදවච්චිය, ඇටවීරගොල්ලෑව, ඇතාකඩ පදිංචි එස්. කපිල ජගත් සෙනවිරත්න යන දෙදෙනායි.

සැකකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියා සිටියේ සැකකරුවන් විසින් සිදු කළ බව කියන පහරදීමක් හේතුවෙන් ලොරි රථ රියදුරකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතාගේ අධීක්ෂණය යටතේ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විධිමත් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බවද පොලිසිය කීවේය. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන් නොමැති බව පැවසූ පොලිසිය සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් එම නිසා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් අයැද සිටියේය.

සැකකාර පොලිස් නිලධාරීන් සිදු කළ පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති මැදවච්චිය තුලාවෙල්ලිය පදිංචි 23 හැවිරිදි තරුණයා මැදවච්චිය පොලිසියේම සැරයන්වරයකුගේ පුත්‍රයෙකි. ඉකුත් 7 දා මෙම පහරදීම සිදුව ඇත්තේ මැදවච්චිය, මන්නාරම පාරේ වැදවච්චිය ප්‍රාථමික විද්‍යාල ඉදිරිපිටදීය. පහරකෑමට ලක් වූ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කර ඔහුගේ එක් වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ පුද්ගලයෙකුට පහරදී සුළු හා බරපතළ තුවාල සිදු කිරීම සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා යටතේය.

පැමිණිල්ල වෙනුවෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ගුණරත්න මහතා පෙනී සිටි අතර, නිරීක්ෂණ පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ නඳුණි ජයතිලක මහත්මිය පෙනී සිටියාය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment