ලෝක කුසලාන තරගාවලිය සඳහා 32ක මූලික සංචිතයක්

580

මෙම වසරේ ජූලි මස ආරම්භ වීමට නියමිත 2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 32 දෙනකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වේ.

මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හිමිව ඇති අතර උප නායකයා ලෙස මැදපෙළ පිතිකරු චරිත් අසලංක කටයුතු කරනු ඇත.

එම 32 දෙනාගේ සංචිතය සඳහා මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද එක් කර ඇති බව වාර්තා වේ.

ලෝක කුසලානයක් ඉලක්ක කරගත් ශ්‍රී ලංකා මූලික සංචිතයක් සඳහා එක් කළ පළමු අවස්ථාවට එක්වෙමින් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ද ඒ අතර වේ.

අදාළ සංචිතය ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් තම පුහුණුවීම් මේ වන විටත් ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

මුල් පෙළ පිතිකරු ලසිත් කෲස්පුල්ලේ සහ මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ යන නවක ක්‍රීඩකයින් දෙදෙනා ද තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ලහිරු මධුසංකට ද මෙහිදී අවස්ථාව හිමිව තිබේ.

නිමා වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද මෙම සංචිතයට එක් කර ඇති අතර නවක මැදපෙළ පිතිකරු ජනිත් ලියනගේ ද මෙම මූලික සංචිතයට එක් කර තිබේ.

තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 15 දෙනකුගෙන් යුත් අවසන් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සඳහා එළැඹෙන මැයි මස 25 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබීම ද විශේෂත්වයකි.

2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ජූනි මස 2 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා මූලික සංචිතය – වනිඳු හසරංග (නායක) චරිත් අසලංක (උප නායක) කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, අවිෂ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුසංක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ළහිරු මධුසංක, ළහිරු කුමාර, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment