කිලෝ 200ක මත්කුඩු සමග දකුණු මුහුදේදී ඇල්ලූ ධීවර යාත්‍රා ගාල්ලට ගෙන එයි

472

දකුණු මුහුදු තීරයේ සිට නාවික සැතපුම් 130ක් පමණ දුරකදී නාවික හමුදාව විසින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාව සහ එක්දින ධීවර යාත්‍රාව ද සැකකාර ධීවරයන් දස දෙනා ද ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත සෙනසුරාදා (13දා) රාත්‍රි ගෙන එන ලදී.

මෙම ධීවර යාත්‍රාවල තිබී කිලෝ 200කට ආසන්න හෙරොයින් පාර්සල් 64ක් ද අයිස් පාර්සල් 130ක් ද සොයාගෙන ඇත. බහුදින යාත්‍රාවේ සිටි සැකකාර ධීවරයන් හයදෙනා වැලිගම, හබරාදුව, තල්පේ, ඉමදුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එක්දින යාත්‍රාවේ සිටි සැකකාර ධීවරයන් හතර දෙනා දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798 කට වැඩි බව නාවික හමුදාව කියයි. මෙහෙයුම කළ නිලධාරීන්ට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඊයේ තම කෘතඥතාව පුදකළේය.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලුතිනන් විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සමුද්‍ර ආරක්ෂක නෞකාවක් යොදාගනිමින් සිදුකරන ලද මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment