කොටසකගේ සහායෙන් විශාල වැඩ කොටසක් කළා නම් සියලු‍දෙනා සහාය දුන්නොත් රට කොතැනද?

57

ජනාධිපති රනිල් වික්‍රමසිංහ උරුමය නිදහස් ඔප්පු ප්‍රදානයේදී අසයි

පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලු‍දෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට කියා සියලු‍ දෙනා සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේබව සඳහන් කර සිටියේ උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමට පෙරේදා (05දා) පස්වරුවේ රන්ගිරි දඹුලු‍ ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි. සංකේතාත්මකව ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු විය. දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ “විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු විය. නව්‍යකරණය කරන ලද ක්‍රීඩාංගණ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

කොටසකගේ සහායෙන් විශාල වැඩ කොටසක් කළා නම් සියලු‍දෙනා සහාය දුන්නොත් රට කොතැනද?

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අද අප මෙතනට රැස් වී සිටින්නේ මේ රටේ ජනතාව ඉඩම් අයිතිය ලබාගැනීමට කළ අරගලය අවසන් කිරීමටයි. ඒ වගේම අද අප මේ සහභාගී වන්නේ විප්ලවීය අවස්ථාවකට. ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීම අද සිදු වෙනවා. මම මෙය විප්ලවයක් කියා හඳුන්වන්නේ ඒ නිසයි. මෙම විප්ලවය භුක්ති විදින්නේ රටේ ජනතාව. මේ ඉඩම් අයිතිය ලැබුණු විට ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ. මන්ත්‍රීවරු, නිලධාරීන් පසුපස ගිහින් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඉඩම තමන්ට අවශ්‍ය පරිදි සංවර්ධනය කළ හැකි අතර කිසිවෙකුට ඊට බලපෑම් එල්ල කරන්න බැහැ. තමන්ට ලැබෙන මෙම අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස මම සියලු‍දෙනාගෙන් ඉල්ලනවා. මෙම අයිතිය තමන්ට පමණක් නොව තමන්ගේ දරුවන්ටත් හිමි විය යුතුයි. මෙයින් නිසි ප්‍රයෝජන ලබාගන්න ඔබ කටයුතු කළ යුතුයි. ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව ගණනාවක් ඇති වී තිබෙනවා. අද මේ රටේ කිසිදු විප්ලවයක් නොමැතිව ජනතාවට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.

බොහෝ දෙනෙක් සිතුවේ මෙය කළ නොහැකි දෙයක් ලෙසයි. නමුත් අපේ ආණ්ඩුව ඒ තීරණය ගෙන කටයුතු කළා. විශේෂයෙන්ම ගොවිතැන් කළ අයට මෙන්ම නිවාස ඉදිකර ගත් සියලු‍දෙනාට ඒ ඉඩම් අයිතිය හිමි වෙනවා. ගොවිතැන් කටයුතුවල නිරතවන ඔබ සියලු‍දෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට පසුගිය මහ කන්නයේත්, යල කන්නයේත් ඔබෙන් ලැබුණු සහයෝගය අමතක කරන්න බැහැ. අස්වැන්න සාර්ථක වුණා. ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. ඒ වගේම මේ ඉඩම්වල නිවාස ඉදිකරගත් පිරිස ඉන්නවා. මම ඔවුන්ටද ස්තුතිවන්ත වෙනවා. මේ සියලු‍දෙනාට අපේ ස්තුතිය පිරිනමන්නේ මේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම මගින්. මෙය ඓතිහාසික අවස්ථාවක්. සිංහල රජ සමයේත් ඔප්පු ක්‍රමයක් තිබුණේ නැහැ. ප්‍රභූවරුන්ට, නිලමේවරුන්ට සන්නස් මගින් ඉඩම් ලබා දුන්නා. අනෙක් අයට වගා කටයුතු සඳහා ඉඩම් ලබා දුන්නා. ජනතාවට ස්ථීර ඔප්පු තිබුණේ නැහැ. මුඩු බිම් පනත යටතේ මේ සියල්ලම රජයට අයත් වුණා.වතු වෙනුවෙන් ඇතැම් ඉඩම් සුදු ජාතිකයන්ට පවරා දුන්නා. ජනතාවට කිසිවක් හිමි වුණේ නැහැ.

ඩී.එස්. සේනානායක මැතිතුමා 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ගොවිතැන් කටයුතු සඳහා ජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගත්තා. වියළි කලාපවල ජනතාව පදිංචි කළා. ඒ සමග වී වගාව ආරම්භ කළා. වැඩියෙන්ම කුඹුරු තිබුණේ තෙත් කලාපයේ එම කුඹුරු දියුණු කිරීමට පිලිප් ගුණවර්ධන මැතිතුමා කුඹුරු පනත ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරයෙන් තවත් අක්කර ලක්ෂ ගණනක් ජනතාවට ලබා දුන්නා. දැන් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. පසුගිය කාලයේ ගයන්ත කරුණාතිලක මහතා මේ වැඩපිළිවෙළ ආරම්භ කළ අවස්ථාවේ අලු‍ත් නීතියක් ගේනවා කියලා එතුමාට විරුද්ධව නඩු දැම්මා. නමුත් මෙවර අලු‍ත් නීති බලන්න ගියේ නැහැ. රජයේ ඉඩම් ආඥා පනතින් සුදු ජාතිකයන්ට ඉඩම් ලබා දුන්නා නම්, ආයෝජකයන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා නම් ජනතාවට එම අයිතිය ලබා දීමට නොහැකි ඇයි?

අපි ආරම්භ කළ මේ ගමන ඉදිරියට ගියහොත් 2025 වසරේ දී 5%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපි සියලු‍දෙනා එකතු වුණේ රට බේරගන්න. එහිදී අප පක්ෂ දේශපාලනයක නිරත වුණේ නැහැ. එහෙම වුණා නම් මෙම සාර්ථකත්වය ලබා ගන්න බැහැ. මම සියලු‍දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩකටයුතු කරගෙන යාමට අප සමග එකතු වෙන්න කියලයි. පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමක් ලෙස මෙතරම් විශාල වැඩකොටසක් කළ හැකි නම් පාර්ලිමේන්තුවේ සියලු‍දෙනා එකතු වුණොත් මොනවද කරන්න බැරි කියලා සියලු‍දෙනා සිතිය යුතුයි. අප එම මාර්ගයේ යා යුතුයි.

ඉදිරියේදී මේ රට දියුණු කිරීමට අවශ්‍ය තවත් නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලු‍දෙනා එකතුව ඉදිරියට යමු. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හරහා දැවැන්ත කෘෂි විප්ලවයක් රටේ සිදු වෙනවා. අපිට නැවත ණය වෙන්න බැහැ. අපට නැවත හිඟන ජාතියක් වෙන්න බැහැ. අපේ අභිමානය ආරක්ෂා කරගත යුතුයි. අපි සියලු‍දෙනා එක්ව මේ ගමන යා යුතුයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාද සභාව ඇමතූ අතර මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රංජිත් සියඹලාපිටිය, රෝහණ දිසානායක, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්. චන්ද්‍රසේන, වඩිවේල් සුරේෂ්, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, නාලක කෝට්ටේගොඩ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන්ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහ ඉඩම් ඔප්පුලාභීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment